2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ගිනිකෙළි කර්මාන්තයට අලි කෙළියක්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

වෙනදනම් මේ වෙනකොට අපි ලක්ෂ එකහමාරක බිස්නස් එකක් කරලා තියෙන්නේ. ඒ වුණාට මේ පාර දැන් කඩේ දාලා දවස් පහ හයක් වෙනවා. තාමත් අපිට ලොකු බිස්නස් එකක් හරියට කරගන්න බැරි වුණා.

2019 නව වසර උදාවීමට ඇත්තේ තවත් දෙදිනකටත් අඩු කාලයකි. ලෝකයේ බොහෝ රටවල නව අවුරුදු උදාවන අකාරය එකිනෙකා පරයමින් සමරනා අයුරු අපි විවිධ අවස්ථාවල ඕනෑ තරම් දකිමු. දෑස පිනා යන මල්වෙඩි හා ගිනිකෙළි සංදර්ශනවලට ලක්ෂ ගණනින් මුදල් වියදම් කොට අහස් කුස සිසාරා යන අයුරු ද අප ඕනෑ තරම් දැක ඇත. 
මෙරට සිටිනා බොහෝ දෙනකු ද නව අවුරුද්ද උදාවට ලක ලෑස්ති වෙන අයුරු අප කොළඹ නගරය අවට කළ සංචාරයකදී දැකගත හැකි විය. රෙදිපිළි සහ ආහාර වෙළෙඳ සැල්, ජනතාවගෙන් පිරී ඉතිරී යනවිට ගිනිකෙළි අලෙවියට තබා ඇති වෙළෙඳසැල් තුළ පෙර වසරවල මෙන් පාරිභෝගිකයන් නොමැති අයුරු අපට දැකගත හැකි විය.

පෙර වසරවල ගිනිකෙළි අලවිසැල් පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී ගිය ද මෙම වසරේදී එවැනි තත්ත්වයක් දැක ගැනීමට නොහැකි වීම කාටත් ගැටලුවකි. ගිනිකෙළි අලවිසැල් තුළ පාරිභෝගිකයන් හිඟවීම හේතු සොයා දේශයේ අපි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සංචාරයක් ඇරඹුවෙමු.

පුන්‍ය රාජා - කිරුළපන

ගිය අවුරුදුවල වගේ නෙවෙයි මේ අවුරුද්දේ සැලකිය යුතු බිස්නස් එකක් කරගන්න තාමත් අපිට  නොහැකි වෙලා තියෙනවා. ඇත්තටම තවමත් 50%ක බිස්නස් කරගන්න බැරිවෙලා. මීට කලින් අවුරුදුවල අපි ළඟ තියන සෑම වර්ගයේ ගිනිකෙළි භාණ්ඩ ටික විකුණාගැනීමට පුළුවන් වුණා. ඒ වුණාට එළඹෙන 2019 වසර අවුරුදු උදාව සැමරීමට බොහෝ දෙනෙක් තවමත් මේ අරගෙන නැහැ. සමහර දිනවල රුපියල් 500කවත් බිස්නස් එකක් කරගන්න බැහැ. මේ බඩු අයිටම් ඔක්කොම අපි ගේන්නේ මීගමුවෙන්. ඒත් අත්පිට මුදලට නෙවෙයි. ඉතුරුවෙන බඩු නැවත බාර දෙන පදනම මත තමයි අරගෙන එන්නේ. මම තව ගෝලයෙන් එක්ක තමයි මේ බිස්නස් එක කරගෙන යන්නේ. නමුත් සමහර දිනවල ගෝල පඩි බේරලා කෑමට ගියාම අතිනුත් පාඩුයි. ඉතුරු බඩු බාර දෙන්න ගියාම ඒ බඩු ගන්න තැන්වලින් අපිට දොස් කියනවා නැවත බඩු රිටන් කරනවට. ඇත්තටම ලබන අවුරුද්දේ ඉඳන් මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්කමක් තියෙයිද කියන සැකයත් මතුවෙලා තියෙනවා මේ වනවිට.

අරුණ ශාන්ත - ගම්පොල

යුද්ධය තියන කාලෙවත් අපිට මේ තරම් බිස්නස් අඩුවෙලා තිබුණේ නැහැ. ඒ වුණාට දැන් අවුරුදු දෙක තුනක ඉඳලා බිස්නස් එක හොඳටම කඩා වැටිලා. පසුගිය දිනවල තිබුණ වැස්සත් ඒකට ගොඩක්ම බලපෑවා. ඒ වුණාට මිනිස්සුන්ගේ ආර්ථිකයත් එක්ක බඩු ගන්න ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ ඔක්කොම අපි ළඟ තියන අයිටම් අපි අරගෙන ආවේ කිඹුලාපිටියෙන්. ඔවුන් කියන්නෙත් වෙඩි බෙහෙත් අර්බුදයක් තියන නිසා තව අවුරුදු දෙකක් තුනක් යනවිට මේ කර්මාන්තය වසා දැමීමට සිදු වෙයි කියලා. මේ පාර නත්තලට වුණත් කලින් වගේ ලොකු බිස්නස් එකක් කරගන්න හම්බුණේ නැහැ. දැන් අවුරුදු දහයකට වැඩි කාලයක් මේ කාලෙට අපි මේ බිස්නස් එක කරනවා. ඒ වුණාට අනිත් හැම අවුරුද්දටම වඩා මේ අවුරුද්දේ තමයි බිස්නස් එක අඩුම. කොහොමත් මේ කියන අර්බුද එක්ක තව අවුරුදු දෙක තුනක් යනකොට මේ විදිහට ගිනිකෙළි කර්මාන්තය නැත්තටම නැතිවෙලා යයි කියලා හිතනවා.

ලක්මාල් - කිරුළපන

බිස්නස් ගැනනම් කතා කරන්න කිසිම දෙයක් නැහැ. බිස්නස් පාඩුයි. මේ දහයයි දහය ටෙන්ට් එකට දවස් දහයකට රුපියල් 7500ක් ගෙවන්න ඕන. නගර සභාවට දවස් දහයකට බිම් කුලිය 4860ක් ගෙවන්න ඕනෙ. ගෝලයන්ට පඩි ගෙවන්න ඕනේ. කෑම දෙන්න ඕන. මේ සියල්ල කරගන්න අතිනුත් ණය වෙන්න වෙනවා. ඒ තරමටම බිස්නස් එක අඩුවෙලා තියෙන්නේ. වෙනදට පුංචි ළමයින්ට මේ නිලා, රතිඤ්ඤා අරගෙන දෙන්න වැඩිහිටියන් ආවා. නමුත් දැන් එහෙමත් නැහැ. පිටරටවලින් ගේන නිෂ්පාදන මොනවත් නැහැ. අපි ළඟ ඔක්කොම තියෙන්නේ ලංකාවේ නිපදවන ඒවා. සියයට 50ක් ගෙවලා ඉතුරු ටික බිස්නස් එක ඉවර වුණාම  ගෙවන්න තමයි  මේ බඩු අරගෙන එන්නෙත්. මේ විදිහට ගෙනාපු බඩු වැඩි හරියක් ඉතුරු වුණාම නැවත ඔවුන්ගෙන් මේ විදිහට  බඩු ගන්න බැහැ. ඇත්තටම මිනිස්සුන්ට තියන ආර්ථික අපහසුතා සමඟ මේ කර්මාන්තය එන්න එන්නම කඩා වැටෙක තත්ත්වයක තමයි තියෙන්නේ.

ජාතික රෝහලේ ප්‍රධාන පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා ගිනිකෙළි අනතුරුවල අඩුවක් අපිට දැකගන්නට ලැබුණා. ඉන් පසු අප්‍රේල් මස 13, 14 යන දෙදිනත් සැලකිය යුතු ලෙස ගිනිකෙළි අනතුරුවල වැඩිවීමක්  දක්නට ලැබුණේ නැහැ. කොහොමත් වසරින් වසර ගත් කල ගිනිකෙළි අනතුරුවල අඩු වීමක් දක්නට ලැබෙනවා. ජනතාව ගිනිකෙළි භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි. එසේ සැලකිලිමත් වීම මඟින් මෙම අනතුරු අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා.

සටහන - හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ