තංගල්ල, කුඩාවැල්ල ධීවර ගම්මානයට හිරු උදාවී හෝරා දෙකක්වත් ගතවී තිබුණේ නැත. උදා හිරු කිරණින් ආලෝකමත් වී තිබූ නිසා ධීවර ගම්මානයටම ගෙනැවිත් තිබුණේ අමුතුම ආකාරයේ සුන්දරත්වයකි. කුඩාවැල්ල ධීවර ගම්මානයේ තිබූ ඒ සුන්දරත්වය හා අසිරිය වියැකී යාමට ගතවූයේ නිමේෂයකි. නොහඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එක්වරම කුඩාවැල්ල ධීවර ගම්මානයේ පිහිටි ධීවර වරායට කඩා වැටී ඔවුන්ගේ අතේ තිබුණ ස්වයංක්‍රීය ගිනි අවි වලින් නොකඩවා මුදාහරින ලද උණ්ඩ වැලකින් ප්‍රදේශයම හෙල්ලුම් කා ගියේය.
උදාහිරු කිරණ කළු වලාවන් අතරේ සැඟව ගියේය. තංගල්ල ප්‍රදේශයම භීතියෙන් ඇළලී ගියේය. ගිනි අවිවලින් නොනවත්වා වෙඩිහඬ නිකුත් වූවේය. ගිනියම් වී ගිය වෙඩි උණ්ඩ සිරුරු පසාරු කරගෙන යාම හේතුවෙන් හතර දෙනෙක් ඒ ස්ථානයේම ඇද වැටී මියගොස් තිබුණ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා සිටියහ. රකුසු වෙස්ගත් එක් ඝාතකයෙකු බිම වැටී ජීවිතය යදිමින් වතුර පොදක් ඉල්ලා කෙඳිරි ගාමින් සිටි අයකු සමීපයට ගොස් ඔහුගේ හිසට වෙඩි තැබීය. ඔහුගේ හිස කුඩු පට්ටම් වී ගියේ එම උණ්ඩයෙනි.
මෙසේ ඝාතනයට ලක් වී තිබුණේ කුඩාවැල්ල ධීවර වරායේ මාළු ව්‍යාපාරිකයක් වන මහින්ද නම් පුද්ලයාගේ පුතෙක් වූ එහි ව්‍යාපාරික ආධිපත්‍ය ගොඩනගාගෙන සිටියේ යැයි කියන ලතීෂ් උදය කුමාර (37) නැමැත්තාය. ඔහු ප්‍රසිද්ධියට පත්ව සිට ඇත්තේ රණා නැමැති අන්වර්ථ නාමයෙනි.
ගිනියම් වූ වෙඩි උණ්ඩ වලින් බේරීම සඳහා ධීවර වරායේ සිටි පිරිස් හිස් ලූ ලූ අත දිව ගිය අතර, තවත් සමහරුන් වරායේ නැංගුරම් ලා තිබූ බහුදින යාත්‍රා සහ බෝට්ටු තුළට බැස සැඟවී ඇත. තම ඉලක්කය සපුරා ගත් ලේ පිපාසිත ඝාතකයෝ ඔවුන් ආ යතුරු පැදියේම නැගී පලා ගියේ කිසිම බාධාවකින් තොරවය.
වෙඩි ප්‍රහාරයට ගොදුරු වී බරපතළ තුවාල ලැබ සිටි හත් දෙනෙක් ඇතුළත් කර තිබුණේ තංගල්ල මහ රෝහලට, නාකුළුගමුව රජයේ රෝහලට සහ මාතර මහ රෝහලටය. මෙයින් එක් අයෙකු පසුවන්නේ අසාධ්‍ය තත්ත්වයෙනි. යතුරු පැදියකින් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ලෙස ෆුල් පේස් හෙල්මට් හිස් ආවරණ පැළඳ පැමිණි දෙදෙනෙකු ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් සහ එම්.එම්. 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. වෙඩි ප්‍රහාර 40-50 අතර ප්‍රමාණයක් එල්ල කර තිබිණි. වෙඩි ප්‍රහාර එල්ලකළ වෙඩික්කරුවන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදියේම නැගී නිරුපද්‍රිතව පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
තංගල්ල ධීවර වරායේ මාළු ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින දෙපාර්ශ්වයක් අතර පවතින ආරවුලක් මත මෙවැන්නක් සිදුවී ඇති බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ. ආරවුලක් පවතින එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය ඝාතනය කිරීමට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවද පොලීසියට තොරතුරු ලැබී ඇති බව කියයි.
තංගල්ල ධීවර වරායේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින මහින්ද නැමැති මාළු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඝාතනය කිරීම එල්ලය කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. එම මාළු ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනාද ධීවර බෝට්ටු කිහිපයකම හිමිකරුවන් වන අතර වෙඩි ප්‍රහාරයෙන් මහින්ද නැමැත්තාගේ එක් පුතෙක් මියගොස් ඇත. පොලීසිය පවසන ආකාරයට ඔහුගේ (මහින්දගේ) අනෙක් පුතා දිවගොස් සැඟවී ජීවිතය බේරාගෙන ඇත්තේ බෝට්ටුවක් තුළ සැඟවෙමිනි.
තංගල්ල කොට්ඨාසයේ වැඩ බලන පොලිස් අධිකාරි අභයරාජ ගම්ලත් මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සැලවූ මොහොතේම ධීවර ගම්මානයට ගොස් මෙම සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කුඩාවැල්ල ධීවර වරායේ මාළු ව්‍යාපාරයේ බල ආධිපත්‍ය තමන් සතුකර ගැනීමට මහින්ද ඔහුගේ පුතුන් තිදෙනා ඇතුළු පාර්ශ්වයද, කුඩු ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන මාළු ව්‍යාපාරිකයාද අතර කාලයක සිට බල අරගලයක් හටගෙන තිබූ බවට තොරතුරු පොලීසියට දැනගැනීමට ලැබී ඇත. එම බල අරගලයේ අවසන් ප්‍රතිඵලය වූයේ මහින්දගේ පුතෙක් ඇතුළු සිව්දෙනෙකුට මරු කැඳවමින් තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකරමින් සිදුවූ වෙඩි ප්‍රහාරයයි.
ඝාතකයන්ගේ ඉලක්කය වී ඇත්තේ මාළු ව්‍යාපාරික මහින්ද හා ඔහුගේ පුතුන් දෙදෙනාය. එහෙත් ඝාතකයන්ට බිලී බා ගැනීමට හැකියාව ලැබුණේ මහින්දගේ එක් පුතෙකු පමණි.
වෙඩි කා මියගිය මහින්දගේ පුතාගේ මාළු ව්‍යාපාරයේ ගිණුම් කටයුතු සිදුකළ ලිපිකරුවාද ධීවර කාර්මිකයෙක්ද මියගිය සිව්දෙනා අතර වූහ. වෙඩිකා මියගිය අනෙක් තැනැත්තා දෙල්ගොඩ පදිංචිව සිටි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයකු වූ කංකානම් ගමගේ සුදත් චානක (40) නැමැත්තෙකි. චානක ධීවර වරායට පැමිණි ඇත්තේ මාළු මිලදී ගැනීමටය. වෙඩි වරුසාවට මැදි වී තුවාල ලැබූ හත් දෙනාගෙන් හතර දෙනෙකුම මාළු මිලදී ගැනීමට ධීවර වරායට පැමිණි සිටි අය වෙති. වෙඩි කා මියගිය අනෙක් දෙදෙනා වනුයේ ජයසිංහ මානාච්චිගේ සමීර (40) සහ රණවීර පටබැඳිගේ යසිත් නිවංක (23) නැමැත්තෙකි.
මාළු ව්‍යාපාරිකයෙක් වන මහින්දගේ පුතුන් තිදෙනාම බහුදින යාත්‍රා 21 ක අයිතිකරුවෝ වෙති. වෙඩි කා මියගිය ලතිෂ් උදයකුමාර හෙවත් රණාගේ ප්‍රහාරයකින් විරුද්ධ පාර්ශ්වයේ අයෙක් සදාකාලික අබාධිතයකු බවට පත්ව ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත. මෙම සිද්ධියෙන් පසු දෙපාර්ශවය අතර පැවති විරසකය තවත් වැඩි වී ඇති බවට තතු දත් අය පොලීසිය සමග පවසා තිබේ. සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම දකුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා විසින් විශේෂ පොලිස් කණ්ඩායම් 11 ක් පත්කර ඇත.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක්ද මේ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
දකුණු සහ සබරගමුව පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන තංගල්ල සහ හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්සණය යටතේ තංගල්ල කොට්ඨාසයේ වැඩ බලන පොලිස් අධිකාරි අභයරාජ ගම්ලත් මහතාගේ විශේෂ උපදෙස් මත තංගල්ල මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් චන්ද්‍රසිරි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය