2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ජේසු බිළින්දා වෙනුවෙන් හැදූ ලංකාවේ මුල්ම පල්ලිය

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 432

කළුතර නගරයේ සිට සැතපුම් දෙකක් පමණ දකුණින් පිහිටි කලමුල්ල ගම්පියස කතෝලික බැතිමතුන්ගේ ගම්මානයක් විය. ශුද්ධ වූ ජුසේවාස් පියතුමා මෙම මීසමේ නිර්මාතෘවරයාණෝ වූහ. 1687 වසරේදී ගෝවේ සිට ලංකාවට පැමිණි ජුසේවාස් පියතුමා ලංකාවේ නෙයෙකුත් පළාත්වල සංචාරය කරමින් කතෝලිකයන් පිළිබඳව සොයාබැලීය.

1697 වසරේදී ජුසේවාස් පියතුමා පුත්තලම් ඇළ මාර්ගය දිගේ ගමන් ගත් පාරුවක නැගී කළමුල්ල වෙරළුගස් මංකඩ තොටුපළට පැමිණියේය.

වර්තමානයේදී මෙන් එකල එතරම් යානවාහන නොතිබුණි. එකල ප්‍රධානතම ගමනාගමන සහ භාණ්ඩ ප්‍රවාහන මාර්ගය වූයේ මේ ඇළ මාර්ගයයි. මෙම ඇළ අඩි තිස්පහක් පළලින් යුත් පාරු දෙකක් පහසුවෙන්ම මාරැවිය හැකි වූ අතර ඇළකන්ද අඩි දහඅටහමාරක් වූ බරකරත්ත දෙකක් පහසුවෙන් මාරුවිය හැකි ඇළ මාර්ගයක් විය.

කලමුල්ල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන රැකියාව වූයේ කුළුබඩු නිෂ්පාදනයයි. ඒ අතරේ කුරුඳු ඉතා සුලබ කුළුබඩු නිෂ්පාදනයක් විය. 

1697 දෙසැම්බර් මස විසිහතර වෙනිදා ජුසේවාස් පියතුමා පාරුවකින් කල්මුල්ලට පිවිසියේය. ඔහු කාටත් හොරා වරෙන්තිරාළ නොහොත් ඇළ තොටුපළ බදු එකතු කරන්නා පිළිබඳව සොයාබැලීය. අවසානයේදී ඔහු වරෙන්තිරාළගේ නිවස සොයා ගත්තේය. කල්මුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති සුවිශාල නිවස වරෙන්තිරාළගේ නිවස විය. ඔහු නමින් බෝදියාබදුගේ වලෙන්තිනු පෙරේරාය.

රාත්‍රිය උදා විය. මුළු පරිසරයම පැවැතුණේ අන්ධකාරයේය. ජුසේවාස් පියතුමා යාචයකුගේ වෙස් ගත්තේය. වැරහැලි ඇඳගත් පියතුමා ඝන අන්ධකාරයේම වරෙන්තිරාළගේ ගෙතුළට ගොඩවැදුණේය. ඒ වනවිටත් වරෙන්තිරාළගේ නිවසෙන් යාඥා හඬක් ඇසෙමින් තිබිණි. ජුසේවාස් පියතුමාගේ වරෙන්තිරාළගේ නිවසෙන් කෑමට යමක් ඉල්ලීය.

“යාචකයෙක් ලෙසින් ගෙයින් ගෙට පැමිණි නුඹ හරි වාසනාවන්ත මනුස්සයෙක්. අද රෑ තමයි අපි අදහන අපේ කිතු සමිදාණන්ගේ ඉපදුණු දිනය සිහිකරන්නේ. මෙහේ ඉන්නේ උන්වහන්සේ අදහන මිනිසුන්. ඒනිසා නුඹ කොහේවත් යන්න ඕනෙ නැහැ. මේ නිවසේදී නුඹට රාත්‍රී කෑම ලබාදෙන්නම්." යැයි වරෙන්තිරාළ ඉතා සන්තෝසයෙන් ජුසේවාස් පියතුමාට පැවසීය.

ටික වේලාවකින් වරෙන්තිරාළ ඇතුළු නිවසේ සැවොම කිතු සමිදාණන්ගේ පිළිරුව අභියස දණගසා යාඥා කළහ. ඔවුහු ජපමාලය ජප කළෝය. මේ අතර ආලින්දයේ සිටි යාචකයාගේ වෙස්ගත් ජුසේවාස් පියතුමා සඟවා ගෙනසිටි තම ජපමාලය ගෙන තම ආගම සිහිකළේය. මේ යදින්නාගේ විලාසය දැකි වරෙන්තිරාළ පුදුමයට පත්විය. ඔහු ජුසේවාස් පියතුමාගේ ළඟ දණවැටුණේය. 

ජුසේවාස් පියතුමන් ළඟ තිබූ සිරිකුරුසය දුටු වරෙන්තිරාළ ඇතුළු පවුලේ සැම ඉතා කලබලයට පත්වූහ. අවසානයේදී ජුසේවාස් පියතුමන් තමන් කවුදැයි හඳුන්වා දුන්නේය.

“ගරු පියාණෙනි... දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩමවාලීමට මේ පව්කාර ගෘහය සුදුසු නැත. ඒ සඳහා විශේෂ මණ්ඩපයක් මම නොපමාව පිළියෙල කරන්නම්." යැයි පවසමින් ගෙහිමියා ඉතා ඉක්මනින්ම මිදුලට බැස ඔහුගේ සේවකයින් ඒකාරාශීකොට ගෙන ඔවුන් හා එක්ව “පාළුවත්ත" නම් භූමියේ පොල් අතු මඩුවක් සාදා සුදු වියන් බැඳ මඩුවක් සෑදුවේය. රාත්‍රිය ගෙවන්නත් ප්‍රථම එම මඩුව සාදා අවසන් කෙරිණි. මේ අතර ජුසේවාස් පියතුමන්ගේ පැමිණීම සැලවීමත් සමඟ කලමුල්ල කතෝලික ජනතාව සැවොම වැලනොකැඩී මඩුව ඉදිරිපිටට රැස්වූහ. සැවොම පෙරහැරකින් වරෙන්තිරාළගේ නිවසේ සිට කුඩා මඩුව වෙතට ජුසේවාස් පියතුමන්ව රැගෙන ආවෝය.

මඩුව කරා පැමිණි පියතුමත් එහිදී දිව්‍ය යාගය සිදුකළේය. නත්තල් දිව්‍ය පූජාව සිදුකළ ජුසේවාස් පියතුමන් මෙම ස්ථානය ජේසු බිළිඳුන් නමට දෙව්මැදුරක් ගොඩනගන්න යැයි පවසා “මෙම මඩුව ජේසු බිළිඳුන්ගේ නාමයෙන් සදාකල් පවතීවා." යැයි ප්‍රර්ථනා කළේය. සති තුනක පමණ කාලයක් කල්මුල්ල ප්‍රදේශයේ ගතකළ ජුසේවාස් පියතුමන් ඇත්දළවලින් නෙලන ලද කුඩා දේවමාතා හා සාන්ත අන්තෝනි ප්‍රතිමා දෙකක් වලෙන්තිරාළට තිළිණකොට කලමුල්ල වැසියන්ට ද ආශිර්වාදකොට මහනුවර බලා නික්ම ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රථම “ජේසු බිළිඳු දෙවස්ථානය" නත්තල් මඩුවකින් එක්දහස් හයසිය අනුහතේ දෙසැම්බර් ඔය විසිපස්වෙනිදා පාළුවත්තේදී ගොඩනගන ආරම්භ විය. එතැන් සිට කලමුල්ල කතෝලික ජනතාව මෙම මඩුවට පැමිණ දෙවියන්ට යාඥා කිරීම ඇරැඹූහ. 1706 මෙම පොල්අතු මඩුව වෙනුවට කටුමැටි වරිච්චි පල්ලියක් ලෙසද ඉන්පසුව 1816 දී කටුගල් පල්ලියක් ලෙසද නිර්මාණය විය.

වරිච්චි බිත්ති වෙනුවට කටුගල් යොදා නිර්මාණය කළ මෙම පල්ලිය දිගින් අඩි තිස් දෙකක් ද, පළලින් අඩි විසි හතරකින් ද යුක්තවේ. මෙහි මහ දොරකඩ ඇතුළු දොරවල් හයකි. පළු දෙකට බෑවුම් වූ පියස්ස සිංහල උළු සෙවිලි කර තිබිණි.
කාලයක් යද්දී දේවස්ථානය ගරා වැටෙමින් පැවතිණි. වසරක් පසා පල්ලියේ පැවැති උත්සවයෙන් දින කිහිපයකට පෙර පල්ලි පියස්සේ මුදුන් ලීය පුපුරා ගියේය. එයින් කිසිවක් කරගත නොහැකිව කලමුල්ලේ ජනතාව මෙයට පිළියමක් සොයා පල්ලියේ පියතුමන් මුණගැසුණේය. සෑම වසරකම පාහේ පවත්වනු ලබන “අහස් නැගීමේ" දර්ශන විලාශය එවරද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගම්වැසියන්ට අවශ්‍ය විය. මේ නිසා මේ සඳහා සුදුසු පල්ලියක් සාදාගැනීමට ගම්වාසීන්ට අවශ්‍ය විය. ඒ අනුව පියතුමන්ගේ ආරාධනය පිළිගෙන පැමිණි අන්තෝනි කුදේරු හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් පසුව අල්තාර කුටිය පමණක් නිමකළ දේවස්ථානයද මේ වෙනුවෙන් යොදාගෙන තිබේ. ඒ අනුව ජේසු පිළිඳුන්ගේ අලුත් දෙව්මැදුර 1918 දී අභිසෙස් ගැන්වූ අතර ජේසු බිළිඳුන්ගේ දෙව්මැදුර 2018 වසරේ මැයි මස දහවෙනි දින සියවස් පූර්ණ ජුබිලිය සමරන ලදී.

ජුසේවාස් පියතුමන්ගේ ආගමනයත් සමඟ කලමුල්ල ගම්මානය කුඩා ගෝව යන නමින්ද හැඳින්වීය. අදටත් කලමුල්ල ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ කතෝලික බැතිමතුන්ය. ජේසු බිළිඳු දෙව්මැදුරේ ඇති ප්‍රතිමා ඉතා සුවිශේෂී වේ. ඉන්දියාවේ ට්‍රැවැන්කෝරයෙන් ගෙන්වන ලද අඩි හතරක් උසැති ජේසු බිළිඳුන්ගේ ප්‍රතිමාවක්, 1972 වසරේදී චෙකෝස්ලෝවැකියාවේ ප්‍රාග් නගරයෙන් ගෙන්වන ලද ජේසු බිළිඳුන්ගේ කුඩා පිළිරුව, 1845 සිට අහස් නැඟුණ විලාශය පෙන්නුම් කළ නැගිට වදාරණ සුරුවම සහ ලීයෙන් නෙලන ලද ජේසුතුමන්ගේ ජීවමාන ප්‍රමාණයේ ස්වර්ගරෝහණ ප්‍රතිමාව (මෙම ප්‍රතිමාව 1910 සිට පෙරහැරේ ගෙනයනු ලබයි.) මේවා අතර සුවිශේෂී වේ.

ලංකාවේ සුවිශාල දේවස්ථාන කිහිපයක් අතරින් ඉතා සුවිශේෂී දේවස්ථානයක් වන වර්තමාන ජේසු බිළිඳු දේවස්ථානය දිග අඩි සීයයකි. පළල අඩි හැත්තෑවකී. උස අඩි අනූඅටකි. 

වර්තමානයේදී කලමුල්ල ජේසු බිළිඳු දේවස්ථානය බාර පියතුමා වන්නේ ඉන්ද්‍රා රත්නසිරි පියතුමන්ය. ක්‍රිෂ්ණක ඩිලාන් පියතුමා මීසම් සහයක පියතුමාත් ලෙස කටයුතු කරයි. වර්තමානයේදී මෙම දේවස්ථානයේදී සෑම බ්‍රහස්පතින්දාවකම සවස හයට ජේසු බිළිඳු නුවානය පවත්වයි. ජේසු බිළිඳු නුවානය සමඟම දිව්‍ය පුජාවද පැවැත්වේ. සෑම මසකම පළමුවන බ්‍රහස්පතින්දා දිනකම දිව්‍ය පූජාවට එන ජනතාවට ආශිර්වාද තෛලයකින් ආලේප කරමින් ආශිර්වාද කරයි. මෙම මීසමට අයත් නොවන කතෝලික ජනතාවද මෙම පූජාවට පැමිණ ආශිර්වාද ලබාගැනීම දක්නට ඇත.

මෙවර නත්තල් දා ජේසු බිළිඳු දේවස්ථානයේ නත්තල් පූජාව 24 වැනිදා රාත්‍රී එකොළහයි හතළිස් පහට ආරම්භ කිරීමට නියමිතය. ජුසේවාස් පියතුමන්ගේ පැමිණීම සංකේතවත් විම නිසා පූජා මෙහෙයෙන් පසුව නත්තල් නාට්‍යයක් සහ කැරොල් ගායනය සිදුකරයි. මේ සඳහා ජේසු බිළිඳු දේවස්ථානයේ ගායනා කණ්ඩායම සහ දහම් පාසල් දරුවෝ සම්බන්ධ වෙති.

ජේසු බිළිඳු දෙව්මැදුර කලමුල්ල මීසමට අයත් දෙව්මැඳුරකි. ජේසු බිළිඳු දේවස්ථානයට කතෝලික පවුල් පන්සිය තිහක් පමණ අයිති වේ. දේවස්ථානයේ බොහෝ වැඩකටයුතුවලට කටුකුරුන්ද යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ සුසානි ෆොන්සේකා කන්‍යා සොහොයුරියගේ දායකත්වය ලබාදේ.

ලෝ පුරා කිතුණුවන් දෙසැම්බර් මස විසි පස්වෙනිදා පහන් කරන්නේ සෑම දේවස්ථානයකම නාදවන සීනු හඬත් ඉටිපන්දම් එළියෙනුත්, ජේසු බිළිඳාගේ උපත සමරමින් කරනු ලබන වතාවත් සමඟමය. 
ඔවුහු ගීතිකා ගායනා කරමින් මුළු ලෝවටම ආදරය, කරුණාව බෙදාදෙති. මෙවර නත්තල කල්මුල්ල කිතුණුවන්ද ජේසු බිළිඳා දේවස්ථානයේදි සැමරීමට සූදානම් වේ.

දේව මව් කුසේ - ජීවිතේ ලබා
බිහිව ගව හලේ - දුකට පා තබා
බාලවිය ගෙවූ - දේව බිළිඳුනේ
දුගී අපට අපේ පැතුම් - ලබා දෙනු මැනේ

දේව බව ඔබේ - මනු බවෙන් වසා
මෙලොව වැඩ විසූ - මිනිස් අප නිසා
දිව්‍ය බිළිඳුනේ - දිළිඳු ගවලෙනේ
අසනු අපේ යැදුම් - තබන ඔබේ දෙසවනේ
(ජේසු බිළිඳු නුවානය - පිවීසීමේ ගීතිකාව)

 දිශානි ජයමාලී කරුණාරත්න
සේයාරූ සුමුදු හේවාපතිරණ

විශේෂ ස්තුතිය
ඉන්ද්‍රා රත්නසිරි පියතුමා
මිසම් බාර සේවක
ක්‍රිෂ්ණක ඩිලාන් පියතුමා
මීසම් සහයක