2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

රත්තරනින් රජ මාලිගේ වහල තැනූ බෘෘනායි සුල්තාන්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 326

මයික්‍රොසොෆ්ට් ලොක්කා බිල් ගේට්ස් වෙළෙඳපොළ කරළියට පැමිණෙනතුරු ලෝකයේම අංක එකේ සල්ලිකාරයා හැටියට බොහෝ කාලයක් නම් දරා සිටියේ සුල්තාන්ය. සිය රටේ ස්වභාවික ධන නිධානයක් වූ තෙලේ බලයෙනි. ලෝක තෙල් මිල ඇදවැටීමත් සමඟම සුල්තාන්ද සල්ලිකාර ලැයිස්තුවේ තුන්වෙනි තැනට ඇද වැටුණේය. කෙතරම් ඇද වැටුණත් සුල්තාන් තෙල් ජාවාරමෙන් සෑම තත්ත්පරයකදීම ඩොලර් 100ක ආදායමක් උපයන බවත් එය වසරකදී බිලියන 2ක් වන අතර කලින් ඩොලර් බිලියන 40ට වැඩි අගයක් ගෙන තිබූ ඔහුගේ වත්කම පසුව 2008 දී ඩොලර් බිලියන 20ක් වූ බව පෙන්වා දුන් ෆෝබ්ස් සඟරාව ඒ මොනවා වුවත් ඔහු ලොව ධනවත්ම රාජකීයයන් අතර 4 වෙනි තැනටද නම් කර තිබුණි.

තෙල් උණන තරමටම සල්ලි උණා ආවත් නැතත් අපේ කාලයේ මේ සුල්තාන් අත දිගහැර වියදම් කරන්නටද පසුබට වූයේ නැත. ඒ නිසාම ඔහු මිහිමත සිට සුරසැප විඳිනා තැනැත්තන් කිහිපදෙනා අතර තවමත් අංක 01 ලෙස සිටින්නේය.

මේ සුල්තාන් වෙන කිසිවෙක් නොව බෘෘනායි රාජ්ජයේ පොල්මඃකාර අයිතිකාරයා හැටියටද සැලකෙන සුල්තාන් හාජි හස්සනාල් බෝල්කියාහ්ය. ඔහු ජීවත්වෙන්නේ ඔහුටම අනන්‍ය වූ සැබෑම රාජකීය ජීවන විලාසිතාවකට අනුවය. 

වතාවක් ලන්ඩන් ගිය සුල්තාන් පවුලේ බවලත් උදවිය ලන්ඩනයේ ඇස්ප්‍රේ රන් මාළිගයේ සුකුරුත්තම් රන් වැඩ දැක පිස්සු වැටුණෝය. කෙතරම් පිස්සු වැටුණාද කියතහොත් රන්බඩු මිලදී ගැනීමෙන් නොනැවතී ඔවුහු රන්බඩු ආයතනයම ගෙඩිපිටින් මිලට ගත්හ. ඩොලර් මිලියන 375ක් ගෙවා සුල්තාන් සිය පවුලේ බවලත් උදවිය වෙනුවෙන් මිලයට ගත් මේ ආයතනය පාරම්පරිකව එංගලන්ත රජ පවුලටද රන් අබරණ සපයන ආයතනයයි. කොටින්ම එය හැඳින්වෙන්නෙ “රැජණගේ රන්කරුවෝ” යන අභීධානයෙනි. ඉතින්, සුල්තාන්ගේ සල්ලිකාර හයිකාරකම ගැන තවත් නිදසුන් කුමටද?

එක් වතාවක් එංගලන්තයේ චාර්ල්ස් කුමරු හා පෝලෝ ක්‍රීඩාවකට එක්වූ සුල්තාන් තමන්ගේ පෝලෝ සපත්තු කුට්ටම පිට්ටනිය මැදටම ගෙන්නා ගත්තේ හෙළිකොප්ටරයකිනි. සුල්තාන් කොපමණ සල්ලිකාරයෙක්දැයි තහවුරු කරන අනෙක් කාරණාව නම් ඔහුගේ රාජකීය කොණ්ඩා කැපිල්ලයි. ඇසූ දුටු කාගේත් ඇස් උඩ ඉන්දන මුදලක් ඔහු සිය හිසකෙස් සකසා ගන්නට වරකට වියදම් කරයි. ඒ ඩොලර් 21000කි.

මේ තරම් තද වියදම්කාරයෙක් වන සුල්තාන් තම රටේ ජනතාවටද හිතමිතුරන්ටද තමන් සේම මුදලින් අඩුවක් කර නැත. රජයට කිසිමදාක ආදායම් බදු නොගෙවන ජනතාවක් සිටින්නේ ඔහුගේ රටේය. ජනතාවට සියලු මුලික පහසුකම් රජයෙන් සුඛෝපභෝගී මට්ටමින් ලැබෙන නිසාම සුල්තාන්ගේ රටේ ආරවුල් උද්ඝෝෂණ කිසිදා නැත. ඔහුට ආරවුලක් ඇත්නම් ඇත්තේ ඔහුටත් එහා ගිය ජේත්තුකාර වියදම්කාරයෙකු වූ සිය සොහොයුරු ජෙෆ්රි සමඟය.

මේ මොනවා වුවත් සුල්තාන් අසල්වැසි රාජ්ජයන්හටත් කප්රුකක් බඳුය. 97-98 කාලයේ ආසියාව මුල්‍ය අර්බුදයකට මුහුණ දෙන විට සිංගප්පූරුවේ සහ මලයාසියාවේ කොටස් වෙළඳපළ සහ මූල්‍ය වත්කම් ආරක්ෂා කරගන්නට සල්ලි දුන්නේ සුල්තාන්ය. ඔහු තමන් සතු ඉඩකඩම් දේපල විකුණා ලබාගත් ඩොලර් මිලියන 300ක මුදල් ලබා දී එදා ආසියාවේ පළමු පෙලේ වෙළඳ ආර්ථිකය ගොඩ ගත්තේය.

රාජකීයත්වය යනු කෙබඳුදැයි අසන්නෙකුහට පෙන්නාදිය හැකි විශිෂ්ටතම ජීවමාන නිදසුනද සුල්තාන්ය. 1984දී සිය රටට නිදහස උදාවූ කළ සුල්තාන් තමන්ටම කියා අලුත් මාලිගයක් තමන්ම තෑගි දී ගත්තේය. එහි වටිනාකම ඩොලර් මිලියන 350කි. ඉස්තානා නුරුල් මාන් ලෙස නම්කර ඇති මේ මාලිගය ලොව ඇති සුවිසාලම රජ මාලිගයයි. වර්ග අඩි මිලියන දෙකක වපසරියක් පුරා පැතිර ගිය මෙහි ඇති ස්ථූපයක හැඩය ගත් ගෝලාර්ධ වහළය මුළුමනින්ම කැරට් 22 රනින් ආලේපිතය. කාමර 1788ක් ඇති මේ මහා මාලිගයේ සේදුම් සහ නාන කාමර පමණක් 257කි. මාලිගයේ විදුලි සෝපාන සියල්ලද රන් ආලේපිතය. සුල්තාන්ගේ ප්‍රියතම පෝනින්හට සුව පහසුව සලසන ඉස්තාලයද වායුසමනය කර ඇති එකකි. කලකට පෙර මෙහි පෝනින් 200ක් වූ බව කියයි. මාලිගයේ උත්සවශාලාව වරකට අමුත්තන් 5000කට ඉඩ පහසුව සැලසිය හැකි වූවකි. එයට යාබද පල්ලියට 1500කට රුස්විය හැකි අතර පිහිණුම් තටාක 5ක් එය සතුය. මේ හැර සුල්තාන් සතු මාලිගා සහ සැප නිවාස ලන්ඩන් නිව්යෝර්ක් ඇතුළු ප්‍රධාන නගර රැසක් ආශ්‍රිතව පවති. ලාස්වේගාස්හි අන්තර්ජාතික මට්ටමේ පිහිණුම් තටාකයක්ද සහිත අක්කර 11.2ක වතුයායකි. එහි ඇත්තේ වෙන්ව පිහිටි ගොඩනැඟිලි 8ක් සහිත නිවාස පන්තියකි. ස්පා සහ සැලූන්, රාත්‍රි විනෝදශාලා, වෙළඳසල්, ප්‍රධාන ආහාර සැපයුම් ආයතන සහිත එය වෙනම නගරයක් වැනිය. ළඟපාත ඇත්තේ ලෝ ප්‍රකට මහ හෝටල කැසිනෝ ශාලා ආදියයි. ලෝ පරසිඳු නළු නිළියන් ඇතුළු සුවිශේෂී පුද්ගලයෝ වසර පුරා මේ නිවසේ හිඟ නැත. ලන්ඩනයේ ඇති සෙන්ට් ජෝන්ස් නිවාස පන්තිය වසර 200ක් පැරුණි වෙස්ට්මිනිස්ටර් ගොඩනැගිලි පන්තියටම අයත් වූවකි. ස්පාඤ්ඤ පන්නයට අයත් මිලියන 38ක්වූ බෙවර්ලි හිල්ස් බංගලාව සුල්තාන් වඩාත් ප්‍රියකරන තැනකි. මේ මහා බංගලාව අසලම මැඩෝනා, ජැනට් ජැක්සන්, පැමෙලා ඇන්ඩර්සන් වැනි සුප්‍රකට හොලිවුඩ් තරු වෙසෙති.

නවීන වාහනවලට පිස්සු වැටී සිටින්නෙකු වන සුල්තාන්ගේ භූගත ගරාජය වතිකානුවටත් වඩා විශාලය. එහි පමණක් අලුත්ම පන්නයේ සුපිරි කාර් 800කට වැඩි ප්‍රමාණයක් ගාල්කර තිබේ. මේ හැර ඇත්තටම සුල්තාන් සතුව ඇති වේගවත්ම වටිනාම දුර්ලභම සහ ඔහුටම පමණක් තැනූ කාර් එකතුව 7000ටත් වැඩිය. ඒවා බිලියන 5කටත් වැඩි වටිනාකමකින් යුතුය. එහි රෝල්ස් රොයිස් රථ පමණක් 604කි. මර්සිඩීස් බෙන්ස් රථ 574කි. ෆෙරාරි Ferrari රථ එකතුව 452කි. Koenigeggs 134කි. LM රථ 962කි. Dauer Porsche රථ 6කි. ෆෝමියුලා 1 McLaren රථ 11කි. ලැම්බෝගිනි 21කි. ඇස්ටන් මාර්ටින් රථ 11කි. සුපිරි පන්නයේ අලුත්ම ජගුවාර් රථ ගණනාවකි. සුල්තාන් සතුව රන් ආලේපිත උත්සව රථයක්ද තිබේ. තමන්ටම කියා තනාගත් සුපිරි පන්නයේ ලොව හොඳම ජෙට් යානා ඇති රාජ්‍ය නායකයා හැටියටද සුල්තාන් ප්‍රසිද්ධය. like Boeing 747-400 සහ Airbus 340-200 මාදිලි ඒඅතරට අයත්ය. සුල්තාන්හට සැප සදන  මුහුදු විනෝද යාත්‍රාද ගණනාවකි. රේස් අසුන් පෝලෝ පෝනින්ද සිය ගණනකි.

සුල්තාන් සහ පවුලේ උදවියට නැටුම් ගැයුම් සංදර්ශන අරුමයක් නොවේ. සිය 50 වැනි උපන්දිනය විශේෂ ගෘහස්ත ක්‍රිඩාංගණයක මහා බාලක් සුල්තාන්  සංවිධානය කර තිබුණි. ප්‍රධාන ප්‍රසාංගිකයා මයිකල් ජැක්සන් විය. ඔහුට සුල්තාන් ඩොලර් මිලියන 17ක් ගෙවූ බව ප්‍රකටය. විට්නි හූස්ටන් මේ ප්‍රසංගයට කැඳවා ගෙන එන්නට ගිය සුල්තාන් ඇයට කිසි මුදලක් සටහන් නොකළ හිස් චෙක්පතක් දී කැමැති ගාණක් ලියාගන්නට යැයි කිවේලු. හූස්ටන් ලියාගත් වටිනාකම ඩොලර් මිලියන 07ට වැඩි බව පසුව වාර්තා විය. මේ බාලට එල්ටන් ජෝන්, ඩයනා රෝස්, ස්ටීව් වොන්ඩර්, බොන් ජෝවි සහ ටීනා ටර්නර්ද බ_නායි බලා පැමිණියහ. සිය උපන්දිනය සමරා පැවැති මේ බාලට පැමිණි අමුත්තන්හට ඇතෙක් බරට තෑගි බෝග දී ඇත්තේ සුල්තාන්මය. ඒ සඳහා ඩොලර් බිලියන 17ක් වැයකර තිබේ. පවුලේ උදවියට නෑ හිතමිතුරන්ට මෙන්ම සුවිශේෂී ආරාධිතයන්ටද ලැබුණේ සුළුපටු තෑගිබෝග නම් නොවේ. සමහරුන්ට නිවාස සහ ඉඩකඩම්ය, සමහරුන්ට ස්වර්ණාභරණය, තවත් අයට Porsche කාර්රථය, සිහිනෙන්වත් නොසිතන මට්ටමේ මුදල් තෑගි ලද අයද බොහෝය. ළඟම නෑ හිතවතුන් මෙන්ම රජයේ නිලධාරීන්ද ඒ අතර වූහ. සුල්තාන්ගේ එක් බිරියකගේ පියාට පමණක් ඩොලර් මිලියන 18ක් ලබාදි තිබුණි. තවත් ඩොලර් මිලියන 1.5ක් බැඩ්මින්ටන් උපදේශකටය.

සුල්තාන් හොඳම සෙල්ලක්කාර ජීවිතයට වැටෙන්නේ සිය බාල සොහොයුරු ජෙෆ්රි සමඟ එක්වූ විටය. දෙන්නා එක්ව බ_නායි රටේ බන්දාර්සේරි මහ නගරයේ ප්‍රධාන මාර්ග දෙවනත් කරමින් ෆෙරාරි රථ තරග පවත්වන්නේය. එසේත් නැතිනම් යොට් විනෝද යාත්‍රාවල නැගි මුහුද පුරා සවාරි යමින් බාල් නටන්නේය. දෙන්නාම වහ වැටුණ පෝලෝ ක්‍රීඩාවට වරක් ගුවනින් පෝනින් සිය ගණනක්ද ආර්ජන්ටිනා කණ්ඩායමද ගෙන්වා ගත්තේ දෙනාගේම ළඟම හිතවතා චාර්ල් කුමරු සමඟ හොඳ තරගයක් නරඹන්නට හිතාය. කුඩා දරුවන් පාට පාට අරුමෝසම් එකතු කරන්නාක් මෙන් මේ දෙන්නා ලෝකේ පුරා ඇති හෝටල් සහ ඉඩකඩම් තම අයිතියට ගන්නේ තරගයට මෙනි.

ලන්ඩනයේ Dorchester පැරිසියේ Hotel Plaza Athenee, New York Palace, ලොස් ඇන්ජලීස් වල Hotel Bel-Air සහ The Beverly Hills Hotel, ඔවුන් එසේ මිලදී ගත් සිය ගණනක් වූ ව්‍යාපාර සහ ආයතන අතර වෙති. දෙනාගේ තවත් සුපිරි විනෝදාංශයක් වන්නේ සිය ගණනක් වූ සිය සහචර පිරිස පිරිවරා සාප්පු සවාරි යාමය. ඉහළම සන්නාම සහිත සාප්පු වෙත යන දෙදෙනා පිටතට එන්නේ මුළු සාප්පුවේම බඩු මිලදී ගෙනය. නැතිනම් ලන්ඩනයේ  Asprey රන්බඩු සාප්පුවට කළාක් මෙන් ආයතනය ගෙඩි පිටින්ම මිලට ගෙනය. Armani සහ Versace සාප්පුවල අලෙවි වාර්තා පෙන්වා දෙන්නේ එකම වර්ණයේ එකම විලාසිතාවේ ඇඳුම් කට්ටල සිය ගණනක් මිලදී ගත් අන්දමය.

සුල්තාන් 1965දී සිය තරුණ කාලයේ විවාහ වූයේ සිය ඥාති සොයුරිය සමඟය. 1967දී රටේ නායකයා බවට පත්වූ ඔහු රජු ලෙස ඔටුනු පැළඳියේ 1968දීය. පසුව දික්කසාද වූ සුල්තාන් නැවත විවාහ විය. සුල්තාන් බේල්කියා සහ ඔහුගේ සහෝදර ජෙෆ්රිද භාර්යාවන් සිව් දෙනෙක් තබා ගැනීමේ ආගමික නිදහස අභිබවා තමන්ට රිසි රිසි තැන්වල දරු පවුල් ගණනාවක්ම නඩත්තු කරති. ඒ හැර ලෝකයම පීරාගොස් ඔවුන්ගේ අන්තඃපුර සඳහා නෑඹුල් නැවුම් සුරූපිනියන් දිනපතාම එක්කර ගන්නටද සුල්තාන් අමතක කර නැත.

►සුගත් පී කුලතුංගආරච්චි