
වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයකුගෙන් රුපියල් පනස් දහසක අල්ලසක් ලබාගැනීමේදී කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කොටුවී තිබුණේ පසුගිය 19 වැනිදා පස්වරුවේදීය. වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා නැවත සේවයේ පිහිටුවීම සඳහා පොරොන්දු වූ මුදලින් කොටසක් අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ස්ථානාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.
ගෙවුණු කාල වකවානුව තුළදී රජයේ ඉහළ නිලතල දරන නිලධාරීන් කිහිප පෙළක්ම අල්ලස් ලබාගැනීමට තැත්කිරීමේදී කොටුවී තිබුණේ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය රට හමුවේ දියකර යවමිනි. රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් උගත් බුද්ධිමත් විනයගරුක පිරිසක් බවට ජනතාව විශ්වාස කළද මෙකී අල්ලස් සිද්ධීන් සමඟ මේ ඇතැමුන් සොරුන්, දූෂිතයන් හා වංචාකරුවන් බවට හංවඩු ගැසී අවසන්ය. රාජ්‍ය පරිපාලන සේවයේ දෙවැනි ප්‍රධාන තනතුර වූ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී මෙන්ම රාජ්‍ය සංස්ථා සභාපතිකමත් රජයේ ඉහළ තනතුරුය. එවැනි පිරිස්ද අල්ලස් ගැනීමේදී කොටුවී තිබියදී ඒ ගොඩට එක්වූ අලුත්ම තනතුර පොලීසියට එරෙහිව පොලීසියෙන් අල්ලස් ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය.
කොළඹ හැව්ලොක් පාරේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පරිශ්‍රයේදී එහි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කොටුවී තිබුණේ කිසිවිටෙකත් විශ්වාස නොකළ පසුබිමකය. අත්අඩංගුවට ගත් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබුණේ සැකකරු ලබන ජනවාරි 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසය.
කොට්ටාව ප්‍රදේශයේ පදිංචි විජිත වීරසිංහ මහතා පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සේවය කළේය. ඔහු මාස දෙකකට පමණ ඉහතදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළවය. එම උසාවි නියෝග ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස් පරීක්ෂකවරයා ඇප මත නිදහස් වී තිබුණේ නොවැම්බර් 18 දිනය.
එහෙත් සිද්ධිය හේතුවෙන් පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 6 දිනය. කෙසේවෙතත් වැඩ තහනමට ලක්වූ අය නැවත සේවයේ පිහිටුවන ලෙස අභියාචනයක් යොමුකර සිටියද එය ප්‍රතික්ෂේප වී තිබුණි. මේ සඳහා කිහිප වතාවක් ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ස්ථානාධිපතිවරයා මුණගැසී තිබිණි.
අවසන් වතාවට ඔහු ස්ථානාධිපතිවරයා මුණගැසී තිබුණේ දෙසැම්බර් 5 වැනිදාය. එහිදී මූලස්ථාන ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්ෂකවරයාගේ සේවය යළි පිහිටුවීමට යෝජනාවක් කර තිබුණි.
"මම අලුතෙන් වාහනයක් ගත්තා. ඒකෙ ලීසිං වාරිකයයි රක්ෂණයයි ජී.පී.එස්. එකයි ගන්න ලක්ෂ එකහමාරක් යනවා. ඒ ගණන මට දෙනවා නම් ඔයාගේ වැඩේ කරලා දෙන්නම්."
ස්ථානාධිපතිවරයාගේ මෙම යෝජනාව පිළිබඳ කල්පනා කළ පොලිස් පරීක්ෂකවරයා අදාළ මුදල රුපියල් 100,000 දක්වා අඩුකර ගිවිසගෙන තිබුණි. එම මුදලින් රුපියල් 50,000ක් අත්තිකාරම වශයෙන් ලබාගැනීමට ස්ථානාධිපතිවරයා තීන්දු කර තිබිණි. එම මුදල බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ කාර්යාල පරිශ්‍රයේදී ලබාගැනීමට එකඟත්වයක්ද ඇතිකරගෙන තිබිණි.
පොලිස් පරීක්ෂක විජිත් වීරසිංහ වන තමාගෙන් ස්ථානාධිපතිවරයා බලහත්කාරයෙන් අල්ලස් මුදලක් ලබාගන්නට උත්සාහ ගන්නා බව එකී නිලධාරියාට වැටහී තිබිණි. එය දැනගත් ඔහු ඊට එරෙහිව ක්‍රියාත්මක වූවේය. සිද්ධිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබුණේ ඉන් පසුවය. එතැන් සිට පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා කටයුතු කර තිබුණේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් අනුවය.
පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ස්ථානාධිපතිවරයා රුපියල් පනස්දහස ලබාගැනීමට පසුගිය 19 වැනිදා පස්වරුවේ වේලාවක් යොදාගෙන තිබුණි. අදාළ වෙලාවට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පරිශ්‍රයේ රැඳී සිටියෝය. පොලිස් පරීක්ෂකවරයාගේ රුපියල් 50,000ක අල්ලස් මුදල ලබාගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුබවීරගේ රුවන් ජීවේන්ද්‍ර ඩයස් නැමැත්තා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කොටුවී අත්අඩංගුවට ගැනුණේ ඒ අවස්ථාවේදීය. එම සැකකරු බදුල්ල පින්අරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර තිබුණේ පැමිණිලිකරු සේවා දායකයෙන් රුපියල් 150,000ක් ලබාගෙන තිබූ බවත් නැවත ඉන් 50,000ක මුදලක් තම සේවාදායකයා විසින් ලබාදෙන ලද මොහොතේ එය අල්ලස් මුදලක් වශයෙන් ප්‍රකාශ කර ව්‍යාජ පැමිණිල්ලක් සටහන් කර ඇති බවත්ය.
ඒ පිළිබඳ ලිඛිත සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කළ හැකිදැයි විමසා සිටි අවස්ථාවේ නීතිඥවරයා පවසා තිබුණේ ඒ මොහොතේ එය ඉදිරිපත් කළ නොහැකි බවත් ගනුදෙනුවට අදාළ පොරොන්දු නෝට්ටුපත්‍රයක් තිබෙන බැවින් එය ඉදිරි වාරයකදී ඉදිරිපත් කරන බවත්ය.
මේ අනුව කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත වැටලීම සිදුකර තිබුණි.
සමන්ත ප්‍රදීප් විල්තෙර