
මේ වසරේ මැයි මාසයේදී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ධනංජය ද සිල්වාගේ පියා ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවස අසලදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මේ ඝාතනය රටම ගැස්සෙන ඝාතනයක් වූයේ එක් පැත්තකින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ධනංජය ද සිල්වාගේ පියා වීමත්, එසේම මියගිය ඔහු ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වීමත් නිසාය. මේ නිසා මෙම ඝාතනය රටම ගිනිගත් පුවතක් විය.
රන්ජන්, රෝහණ, අංජු සහ ලන්සියා සිටියේ එකටය. මේ හතරදෙනාම චණ්ඩිකම් කළ අය බවට චෝදනා ලබා තිබිණි. මේ අතර රෝහණ හෙවත් රොහා කුඩු ජාවාරමට අත දැමූ අතර ඒ සඳහා රන්ජන්ගේ උදව් උපකාරද ලැබී තිබිණි. අවසානයේ ලන්සියා සහ ඔහුගේ සහෝදරයා වන අංජු රොහාගෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් හදාගත් අතර ඔවුන්ද කුඩු ව්‍යාපාරයට අත ගැසුවෝය. මේ නිසා දෙපිරිස සිටියේ නයි වෛරයෙනි.
මේ අතර දිනක් ලන්සියාගේ මස්සිනා වන විශේෂ බළකා සෙබළෙකුහට රොහා බැණවැදීම නිසා එදින ලන්සියා සහ රොහා අතර බහින්බස්වීමක් සිදුවිය. මේ බහින්බස්වීම දුරදිග ගොස් අවසානයේ නතර වුණේ හෙරොයින් නඩුවකට මුහුණදීම සඳහා ලන්සියා මහර අධිකරණයට පැමිණි අවස්ථාවේ රොහාගේ පාර්ශ්වයෙන් ඔහු වෙඩිතබා ඝාතනය කිරීමත් සමඟය.
මේ හේතුවෙන් රංජන්ටද මේ ගැන චෝදනා එල්ල විය. ඒ සැකකරැවන්ට ආරක්ෂාව ලබදුන් බව කියාය. අවසානයේ මෙම ඝාතනයට රොහා කොටුවිය. පසුව රොහා බන්ධනාගාර ගත වූ අතර අංජුගේ පාර්ශවය විසින් රොහා ඝාතනයට තවත් මෙහෙයුමක් දියත් කළේය. ඒ රොහා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ වෙඩිතබා ඝාතනය කරන්නටය. ඒ සඳහා අංජුලා ගල්කිස්ස අධිකරණයේ ආසන අස්සෙහි ආයුධ සඟවා තැබුවේය. එහෙත් එවකට කඩුවෙල සමයං බන්ධනාගාර බස් රථයේ වෙඩිතබා ඝාතනය කිරීම නිසා අධිකරණයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. මේ නිසා අධිකරණයේ සඟවා තිබූ ගිනි අවි දෙක පොලීසියට සොයා ගැනීමට හැකි විය. මේ නිසා එදා රොහා සිය ජීවිතය අනූනවයෙන් බේරාගත්තේය.
රොහා සිරගතවීමත් සමඟ රොහාගේ හෙරොයින්වල මුදල් සහ එම ව්‍යාපාර පවත්වාගෙන ගියේ රංජන් බව අංජුලාගේ කන වැකී තිබුණි. ඒ නිසා අංජුලා රන්ජන්ලාගේ පවුලේ අයට රතු නිවේදන නිකුත් කළහ. ඒ ජීවිතේ පරිස්සම් කරගන්නා ලෙස අවවාද සමඟය. එහි උඩින්ම සිටියේ රංජන්ගේ වැඩිමල් පුතාය. ඒ වනවිටත් ධනංජය ගල්කිස්ස නිවසෙන් ගොස් සිටි අතර එහි සිටියේ පවුලේ අය පමණි. කෙසේ වෙතත් රොහාගේ වැඩවලින් ඉවත්වන ලෙස රංජන්ට කිහිපවතාවක් අනතුරැ අඟවා තිබිණි. එහෙත් අවසානයේ අංජුලා විසින් රංජන්ට වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. මේ නිසා රටම කැළඹී ගියේ රංජන් ධනංජයගේ පියා වීමත් සහ ඔහු නාගරික මන්ත්‍රීවරයකු වීම නිසාය.
කෙසේ වෙතත් අපේ කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. නාගරික මන්ත්‍රීවරයකු වූ පමණින් රංජන්ගේ නිවසට මේ හරහා පොලීසිය ආරක්ෂාව යොදවා තිබිණි. ඒ වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය හරහාය. එහෙත් පුදුමය නම් ඔහුට ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 10 දෙනා බැගින් පොලිස් නිලධාරීන් 20 දෙනකු යොදවා තිබීමය. මේ ආරක්ෂාව ජනාධිපති අගමැති ආරක්ෂාව හා සමාන ආරක්ෂාවක් විය. මෙලෙස ආරක්ෂාවක් ලබා දී ඇත්තේ එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයකු හරහාය. ඔහු විසින් පහළ නිලධාරින්‍ට දැන්වූ පසු උදෑසන 10 දෙනෙක් සහ රාත්‍රියට 10 දෙනෙක් බැගින් රාජකාරියේ යෙදවූ බව සඳහන් වේ.
කෙසේ වෙතත් මෙලෙස ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව අතර මහත් අවුලක් ඇති විණි. ඒ මෙලෙස ආරක්ෂාව ලබාදීම නිසාය. මේ හේතුව නිසා ප්‍රදේශවාසීන් පවා සිටියේ මර බියෙනි. මෙම පොලිස් ආරක්ෂාවත් සමඟ රංජන්ගේ නිවස අධි ආරක්ෂක කලාපයක් විය. කිසිවෙක්ට ඒ අසලින් යන්නටවත් දුන්නේ නැත. රංජන්ගේ නිවස පමණක් නොව ඔහු ඥාති නිවෙස් පවා ආරක්ෂාවට ඇතුළු විය. ඇතැම් ඥාති නිවෙස්වල අයට පවා ආරක්ෂාව ලබා දී තිබුණේය. කෙසේ වෙතත් මේ ඥාතීන් අතර ඇතැම් අයටද මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වු බව වාර්තා වුණි. එවැනි නිවෙස්වල ඉදිරියේ පවා හිටගෙන සිටියේ පොලිස් ඇඳුමින් සිටි නිලධාරීන්ය.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ආරක්ෂාව හේතුවෙන් රංජන්ගේ පවුලේ ඇතැම් ඥාතීන් සහ මිතුරන් නිදහසේ අනීතික දේ කළ බවය. ධනංජය එම නිවසේ පදිංචිව නොසිටියදී මේ ආකාරයෙන් විශාල ආරක්ෂාවක් යෙදවීම කුමන කරුණකට දැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කර සිටිති. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර මේ වනවිට ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ මේ ආකාරයෙන් ආරක්ෂාව යෙදවීම නීති විරෝධී කියාය.
පාතාල ගැටුමකින් මියගිය පමණින් මෙලෙස ආරක්ෂාව ලබාදෙනවා නම් අදට පාතාලය නිසා මරණ බයෙන් සිටින කී දෙනෙකුට ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂාව ලබාදිය යුතුද? අවි ගත්තෝ අවියෙන් නසී නම් ඒ අවි ආරක්ෂා කරන්නට පොලීසියට බලය පැවැරැවේ කවදා සිටද? ඒ නිසා මේ පිළිබඳ සොයාබලා මෙලෙස නීතිය කඩේ යවන පිරිසට දඬුවම් කළයුතු නොවේද?
පාතාලයේ රොහා තවමත් කූඩුවේ සිටිමින් කූරැ ගනින්නේ කෙසේ හෝ අංජුගේ මිනිය දකින්නටය. අංජු හීන දකින්නේ රොහාගේ මිනිය දකින්නටය. දෙදෙනාගේ ගැටුමට රංජන් මැදිවූයේ පාතාලයේ සම්බන්ධතා නිසාය. කෙසේ වෙතත් මේ ඝාතනය ගැන පරීක්ෂණ සිදුකරන්නේ රහස් පොලිසියෙනි. එසේම මෙතරම් ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ඔවුන් හෝ කිසිවිටෙක දැනුම්දීමක් සිදු නොකර ඇති බව වාර්තා වුණි.
එසේ නම් මේ බලය අයුතු ලෙස භාවිතා කළ පොලිස් ලොක්කා කවුද? ඔහු මෙහෙම කළේ කාගේ උවමනාවකටද? යන්න ප්‍රදේශවාසීන්ට පමණක් නොව ආරක්ෂක අංශවලටද ඇති ගැටලුවකි.
I අසංක කළුබෝවිල