2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

පරණ කාලයේ අලුත් ආණ්ඩු ආර්ථික ගේම් ගහයිද?

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන වෑයම හමාර කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවා තිබේ. දින පනස් එකක කාලයක් තිස්සේ පැවැති අර්බුදය එක්තරා ආකාරයකට අවසන් වී ඇති අතර දැන් රට අභිමුවෙහි ආර්ථික අභියෝගය මෝදු වෙමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අධිකරණ තීන්දුවකින් තහවුරු කරගත් ආකාරයට ආර්ථිකයේ පවතින එකිනෙක හා පැටලී ඇති වියවුල් ලිහා ගැනීමට සහාය දෙන ආයතනයක් නැත. සමහරවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි දී මග පෙන්වීමක් කරන්නට බැරි නැත. අධිකරණ තීරණය හා සමානව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පිළිගැනීමට රටත් ජනතාවත් සූදානම්ද යන්නද බරපතල ගැටලුවකි.

සන්ධාන ආණ්ඩුව හමාර වනවිට 2019 වසරේ අයවැය සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. එයට අනුව දළ වශයෙන් 2019 වසරේ දී මෙරට අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල වියදම සඳහා රුපියල් බිලියන 2,281ක් අවශ්‍ය වෙතැයි ගණන් බලන ලද බව අමතක කළ යුතු නැත. පැත්තකට තබා ඇති අයවැය විසර්ජන පනතේ තිබුණ ඉලක්කම් අනුව 2019 වසරේ දී රජයේ ණය සේවා ගෙවීම් වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 2,057 ක් අවශ්‍ය බව ප‍්‍රකාශ වෙයි. රජයේ වියදම පියවා ගැනීම සඳහා අලුතින් දේශීය හා විදේශීය වශයෙන් රුපියල් බිලියන 1,944 ක් ලබා ගැනීමට ඉලක්ක කර තිබුණි. 2,057 ක් ගෙවා 1,944 ක් ආපහු ඉල්ලා ගන්නා රටක පැවැත්ම කෙබඳු එකක් දැයි තේරැම් ගැනීම අපහසු නැත. ඉකුත් දින පනස් එක තුළ රට තුළ පැවැති අසංවිධානාත්මක භාවය ඉදිරියේ ආර්ථිකය තවත් අඩාල වූ බව සැකයක් නැත. දේශීය හා විදේශීය වශයෙන් බලවත් පිඩනයක් හටගෙන තිබුණි. එසේ තිබියදී එම දින කිහිපය තුළ ප‍්‍රකාශයට පත් කරන ලද සහන හෙයින් රජයේ ආදායම තවත් පහළ ගිය බව සැකයක් නැත. එයින් පෙන්වන පළමු කාරණය ලබන අවුරුද්ද සැලසුම් කළ පසුබිමට වඩා තවත් නරක පැත්තකට හැරී ඇති බවය.

රජයේ ආදායමෙන් සියයට 97ක් කලින් ලබාගත් ණය වෙනුවෙන් පොලිය හා වාරික වෙනුවෙන් වෙන් කරන්නට සිදුවී ඇති බව භාණ්ඩාගාර තොරතුරු දක්වයි. රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වියදම රජයේ ආදායම සමග සැසඳුවහොත් සියයට 45ක් බවද අනාවරණය වන ඉලක්කමකි. රජයේ ආදායම කෙසේවත් ප‍්‍රමාණවත් නොවන බව එයින් අඟවයි. අලුත් ආණ්ඩුවට අලුතින් යමක් කරන්නේ කෙසේද? 

ලබන වසර අලුත් ආණ්ඩුවට තීරණාත්මක එකකි. පසුගිය කාලය තුළ ගමන් කළ ආර්ථික සමාජ ප‍්‍රතිපත්තිවලින් බැහැර නවතම ප‍්‍රවේශයකට යා යුතුය. සන්ධාන ආණ්ඩුව තිබියදී එක්සත් ජාතික පක්ෂය එහි එක ප‍්‍රධාන පාර්ශවයකි. පසුගිය කාලය තුළ ආර්ථික වේගය සීමා කරන ක‍්‍රමවේදයක් අනුගමනය කළේය. එහි අරමුණ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පාලනය කිරීමයි. විදේශ වෙළෙඳාමේදී බලවත් ගැටලුවක් වූ ආනයන වියදම පාලනය කරගැනීම එයින් අපේක්ෂා කෙරිණි. අනෙක රාජ්‍ය අය වැය පාලනයයි. ආදායම තර කරගනු සඳහා බදු සංශෝධන කළේය. ඛනිජ තෙල් මිල සූත‍්‍රය හඳුන්වා දුන්නේය. විදුලිය බිල වෙනුවෙන් ද මිල සූත‍්‍රයක් හඳුන්වා දීමට යෝජනා වී තිබුණි. ශ‍්‍රී ලන්කන් ඇතුළු රජයට අයත් ව්‍යාපාර ගණනාවක කොටස් අලෙවිකර රජයේ ආදායමට බැර කරගැනීමේ අපේක්ෂාවක සිටියේය. එම අදහස් වලින් අලුත් ආණ්ඩුව ඉවත්වීමක් අපේක්ෂා කළ හැකිද?

පැවැති සන්ධාන ආණ්ඩුව ආර්ථිකය අරභයා අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හස්තය පැවැති බව නොරහසකි. සන්ධාන ආණ්ඩුව බලයට පත් වූ වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් අයැදුම් කළේය. එවකට මතුවෙමින් තිබුණ ගෙවුම් ශේෂය සම්බන්ධ ගැටලු යටපත් කර ආර්ථික ස්ථාවරත්වය උදෙසා එකී ණය සංචිතය සෑහෙන ශක්තියක් බවට පත් විය. 2019 වසර මැද දක්වා වාරික හතකින් එම සංචිතය ලබා ගැනීමට ගිවිසුමක් අත්සන් කර තිබුණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ඉකුත් සැප්තැම්බර් 13 වැනි දා මෙරටට පැමිණි අතර ආණ්ඩුවේ ප‍්‍රධානීන් හා රජයේ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එහි හයවැනි වාරිකය ගෙවීමට නිර්දේශ කළේය. ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදලකි. හදිසියේ සිදුවූ දේශපාලන වෙනස හෙයින් එකී වාරිකය අත්හිටුවීමට මූල්‍ය අරමුදල තීරණය කළේය. නැවත එය බලගැන්වීමට නම් පැරණි අවබෝධතාවය නැවත අලුත් කිරීම හැර අන් මගක් නැත. ආර්ථිකයේ වේගය අඩුකරන, බදු නංවන, මිල සූත‍්‍ර හඳුන්වා දෙන, පොහොර ඇතුළු සහනාධාර පාලනය කරන හා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකකරණ යෝජනා හැර අලුත් යමක් අරමුදලෙන් නොලැබේ. නම්‍යශීලී විනිමය සහ උද්ධමන අනුපාතයක් පවත්වාගත යුතු බව ද මූල්‍ය අරමුදලේ යෝජනා අතර විය. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහකඩ අඩු කරන හා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට පහළොවක් දක්වා නංවා ගත යුතු බව දක්වන ලද අතර වෙළෙඳ සහ ආයෝජන අංශවල ප‍්‍රතිසංස්කරණ කරන සේ දන්වා තිබුණි. සමහර අවස්ථාවක දීර්ඝ සාකච්ඡාවකින් පසු එම වෙනස්කම් ඇති කරන්නට තවත් කෙටි කාලයක් සහිතව සම්පූර්ණ ආධාර වැඩසටහන අලුතින් සකස් කරන්නට යෝජනා කර ගැනීමට අලුත් ආණ්ඩුවට බැරිකමක් නැත. එයින් ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයක් උදා නොවේ.  

දේශපාලන අර්බුදය හෙයින් රටේ ආර්ථිකය අඩාල වී තිබේ. 2019 වසරේ අපේක්ෂා කරන සංවර්ධන ඉලක්කය බිඳ වැටී ඇත. 2019 වසරේ මුල් කාර්තුව තුළ රජයට දේශීය හා විදේශීය ණය සෑහෙන ප‍්‍රමාණයක් ගෙවන්නට නියමිතව තිබේ. විදේශීය ණය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පළමු මාස හතර තුළ ගෙවන්නට නියමිතව ඇත. මෙම ණය ගෙවන්නට විදේශ සම්පත් හිඟ බව සැකයක් නැත. අලුතින් සංවර්ධන බැඳුම්කර නිකුත් කර විදේශ විනිමය සොයා ගන්නට ආණ්ඩුවට සිදුවී තිබේ. එම බැඳුම්කර වලට අය කරන පොලිය සියයට 8-10 දක්වා ඉතාම ඉහළ පොලී අනුපාතයක් දක්වා වැඩිවිය හැකි බව මූල්‍ය විචාරකයන්ගේ මතයයි. ජාත්‍යන්තරව ගන්නා ණය පොලිය ඉහළ යනවිට එයින් ඇති කරන පීඩනය ශ‍්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකය හා උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇතිකරනු නිසැකය. අද පවතින විනිමය අනුපාත තවදුරටත් අවප‍්‍රමාණය වුවහොත් ජීවන වියදම කරන බලපෑම එපමණ හොඳ එකක් නොවේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි විශ්වාසය තහවුරු කරන වැඩ පිළිවෙළක් සඳහා අලුත් ආණ්ඩුව සැලසුමක් සකස්කරන්නට අවශ්‍යය. ආපසු හැරී බලනවිට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති මත පිහිටා ආර්ථික සැලසුම් තුනක් පසුගිය වසර තුන තුළ සකස් කර ජනතාව හමුවේ තබා ඇත. වසර 2025 සඳහා වන දර්ශනය අවසානයේ දී ඉදිරිපත් කළ සැලසුම වශයෙන් තිබේ. මේවායෙන් ලබාගත හැකිව තිබුණ පිටිවහල අවසන්ය. 

ආණ්ඩුවට අලුතින් හිතන්නට කාලයක් නැත. බරපතළම ගැටලුව එයයි. පළාත් සභා මැතිවරණය පවත්වන්නට අවශ්‍යය. ලබන වසරේ ජනාධිපතිවරණයක් තිබේ. මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති ප‍්‍රවණතාව ද සෑහෙන එකකි. ඉක්මන් නොවුණහොත් තවත් වසර දෙකක් කල් තිබේ. අත ළඟට පැමිණි ඇති මැතිවරණවලින් ප‍්‍රමාණවත් ජයග‍්‍රහණ ලබා හොඳ සමාජ අත්තිවාරමක් උපයා ගැනීමට නම් පොදු ජනතාව තෘප්තිමත් කළ යුතුය. මහා භාණ්ඩාගාරයේ ඉලක්කම් පෙන්වන්නේ ආර්ථිකයේ ඇති දුබලතා හැර අනෙකක් නොවේ. ඒවා අභිබවා ජනතාවට සහන දෙන අතිවිශාල අවදානමක් ගැනීම ආණ්ඩුවට කළ හැකි එක දෙයකි. ආර්ථිකයේ දුබලතා පැත්තකින් තබා බලවත් ජන ශක්තිය උපයා ගැනීමට නම් මූල්‍ය අරමුදල කරන තරවටුව පැත්තකින් තබා රටේ හැටියට තීරණ ගැනීමට සිදුවිය හැකිය. ඒවායෙන් සහන ලැබෙනු ඇත. ස්වභාවය නොදන්නා ජනකොටස් එවැනි තීන්දුවක් දී අලුත් ආණ්ඩුව යහපත් ප‍්‍රවේශයක යැයි හිතන්නට ද ඉඩ තිබේ.   


 ගාමිණී සරත් ගොඩකන්ද