2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ඉස්කෝලේ නමින්ම බුකියට පැන්න පැනියා

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 167

ප්‍රනීත් කරුණාරත්න බුකියේ සුප්‍රකට පැණියා ඔහුය. පැණියා දුන් ආතල් බුකීවාසීහු සෑම සියලුදෙනාම හොඳින් දනිති. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු වයස අවුරුදු 26ක තරුණයෙකි. නමින් ගමින් ඔහුව දන්නා අය විරල නමුත් පැණියා ලෙසින් ඔහුව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. අද ඔහු ලංකාවේ ප්‍රකට මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරයි. අප සෝෂල් මීඩියා දැන හඳුනාගත් මුල්කාලයේ පටන්ම පැණියා යනු පට්ට පොරකි. සෝෂල් මීඩියා වැඩ්ඩෙකි. එනිසාම ප්‍රනීත්ගේ කතාව අද බුකී වැඩ්ඩන්ගේ පත්තර කතාවෙන් අපි ඔබට කියමු.

ප්‍රනීත් බුකියේ තමන්ගේ ඉඩකඩ වෙන් කරගන්නේ 2010 වර්ෂයේ දීය. එහෙත් පැණියා බුකී පිටුව නිර්මාණය වන්නේ 2013 වර්ෂයේ මාර්තු මාසයේදී පමණය. බැලූ බැල්මට එම ඉතිහාස කතාව ඉතා කෙටි වුවත් මෙරට සමාජ ජාලවල නැගීමට සාපේක්ෂව එය දීර්ඝ ඉතිහාසයකි. මුල්කාලයේ ප්‍රනීත් තම මුහුණු පොතේ ගිණුමෙන් විවිධ ආතල් පෝස්ට් දමා ඇත. ඒ අනුව ප්‍රනීත්ට පේජ් එකක් හදන ලෙස යෝජනාකර ඇත්තේ අඳුරන මල්ලි කෙනෙක් විසිනි. අද බුකියේ පඳුරක් පඳුරක් ගා‍ෙණ් පේජ් ඇති පදමට තිබුණද එදා තිබුණේ ඉතා අතලොස්සකි. පැණියා ආරම්භය සටහන් වී ඇත්තේ එවන් පසුබිමකය.

බුකියේ ඉහළ පහළ යනවිට බොහෝ බුකීවාසීන් පැණියාගේ ටෝක් දැක තනියම මොහොතකට හෝ සිනාසී ඇත. එදා මෙන්ම අදත් සිත් අලවන සුළු මේ පෝස්ට් දුටුවිට විටෙක සිතන, විටෙක මුවින්ම අසන පැනයක් තිබේ. මූට මේවා කොහෙන් එනවද දන්නේ නෑ? අපි පැණියාට පණදුන් ප්‍රනීත්ගෙන් එම ප්‍රශ්නයම ඇසුවෙමු.

මගේ දේවල් තමයි දැම්මේ. හැබැයි ඒ කාලේ හිතුණු දේවලුයි දැන් හිතෙන දේවලුයි වෙනස්. ඔය ඉස්කෝලේ, ඊට පස්සේ කාලේ, දන්නේ නැද්ද ඉතින් ඔය කෙල්ලෝ ගැනයි අනම් මනම් එක එක ටෝක්. දැන්නම් පොලිටිකල් වගේ දේවල් කතාබහ වෙන තැනක ඇවිල්ලා තියෙන්නේ.

අරුම පුදුම ටෝක් දී බුකීවාසීන්ගේ ජනාදරයට පත් පැණියා ඒ නම ලැබුණු අයුරුද කිව යුතුය. ඔහුගේ නම ප්‍රනීත් වූ නිසාවෙන් පාසල් කාලයේ පටන් පැණියා යන කාඩ් එක වැදී තිබිණි. මිතුරන් අතර පැණියා වූ නිසාවෙන් ඔහු තම පිටුවට පැණියා යන්නම යොදාගෙන තිබේ. අපි කතාබහ අතරතුර ඇදුණු නම් පිළිබඳ හබය නිසා පැණියා වූ ප්‍රනීත්ගෙන් මෙසේ ඇසූවෙමු.

ඇත්තටම පැණිය ද?

ඇත්තටම පැණියා නෙවෙයි. නම හින්දා තමා එහෙම වුණේ. ඒ නිසා තමයි මම පැණියා කියලා දැම්මේ.

ඔහු අපට සිනහවකින් පිළිතුරු දෙයි. කෙසේ හෝ පැණියා කියන්නේ කවුද? එය කාලයක් බුකීයේ වාසීන් බොහෝ දෙනෙකු කුතුහලය ඇති කළ පැණයකි. බුකියේ පේජ් හිමි බොහෝ දෙනා කලක් තම අනන්‍යතාවය හෙළි නොකළ බව කිව යුතුය. එසේ හෙයින් කලක ගුවන්විදුලි මාධ්‍යයෙන් හඬ පෞරැෂයක් හරහා නිවේදකයන් පිළිබඳව මහජනයා මවාගත් ප්‍රතිරූපයට හා සමානව පැණියා වැනි පේජ් කෙරෑ තරැණයන් පිළිබඳව මුල්කාලීන බුකීවාසීන් විවිධ ප්‍රතිරෑප මවාගෙන තිබුණි. ඒ නිසාවෙන්ම අද අපේ කතාවේ නායකයා වන ප්‍රනීත් කරුණාරත්න නම් දක්ෂ අපූරු තරුණයා ඇත්තටම පැණියෙක් යැයි සිතා සිටි බුකීවාසීන් එමටය.

ඔහු උසස් පෙළ හදාරා සිටින වකවානුවේ ඇරුඹි පැණියා පේජ් කෙරැවාව ක්‍රමයෙන් රටේ හිට් විය. නමුත් එය කෙසේ සිදුවූවක් ද කියා පහදන්නට ඔහුට නොදනී. පේජ් එකේ දැමූ නිර්මාණාත්මක පෝස්ට් හරහා ක්‍රමයෙන් එම ජනප්‍රියත්වය පැණියා වෙත ලැබුණි. කෙසේ හෝ පේජ් එකට ලයික් ගැනීමට මුල් කාලයේදී කට්ටක් කෑමට සිදුව තිබේ. යාළුවන්ට කියා ලයික් කරවා ගනිමින් තවත් විටෙක ශෙයාර් කරවා ගනිමින් ලයික් එකතු කරගැනීමට යම් කැපවීමක් සිදුකිරීමට සිදුවිය. අද නම් පේජ් එකකට ලයික් සහ ජනප්‍රියත්වය ලබාගැනීමට වැය කළ යුත්තේ මුදල්ය. නමුත් මුල්කාලීනව බුකියේ පේජ් එකක් හිට් කරවා ගැනීම යනු සුළුපටු කාර්යයක් නොවීය. අද තරම් ජන ගණත්වයක් එම වකවානුවේ බුකියේ නොවීය. කෙසේ හෝ කට්ටක් කා පැණියා ආ ගමනේ අද තුන් ලක්ෂ පනස් දහසකට අධික ලයික් ප්‍රමාණයක් පැණියා බුකී පිටුව සතු වෙයි.

පැණියා දුන් රජ ටෝක් නිසා තර්ජන ගර්ජන එහෙම ආවේ නැද්ද?

පෞද්ගලිකව නම් එහෙම මුකුත් ප්‍රශ්නයක් වෙලා නෑ. මෙහෙමයි, ඉතින් මං හිතන්නේ නෑ ෆේස්බුක් එකේ ඒවාට තර්ජන ගර්ජන කරයි කියලා. ඒ වෙලාවට ඕනෑ නම් ෆේස්බුක් එකෙන් බණිනවා. මටත් එහෙම මැසේජ් එහෙම ඇවිල්ලා තියනවා. ඕවා වැඩිය ගණන් ගන්නා ඕනා දේවල් නෙවෙයි ඉතින්.

ප්‍රනීත් නොහොත් පැණියා බුකී පිටුව අරඹන්නේ තනිවමය. ඔහු මේ දක්වා එය සිය ශක්තියෙන් ඉදිරියට රැගෙන විත් තිබේ. 2015 වර්ෂයේ පැවැති සෝෂල් මීඩියා ඩේ සම්මාන ප්‍රදානයේ දී මෝස්ට් පොෆියුලර් පේජ් එකට හිමි සම්මානය පැණියා පිටුවට හිමිව ඇත. පසුකාලීනව කාර්යබහුල වීමත් සමඟ පිටුවේ වැඩවලින් තරමක් ඈත්වූ බව ප්‍රනීත් කියයි. එදා තරම් නැතත් අදත් පැණියා පෝස්ට් දමයි. ඒවාට පදනම් වන්නේ කාලීන සිදුවීම්ය.

බුකියේ ඇඩ්මින්ලා අතර ඇති ගැටුම් ආදිය බොහෝමයක් ආතල් පිණිස බව පැණියා අපට කියයි. ඉස්සර සිරාවට ඇතැම් ගැටුම් පැවතියද අද ඒවා බොහෝමයක් ආතල් පිණිසමය. එමෙන්ම බුකියේ හොඳ නරක දෙයාකාරයකින් සමාජයට බලපාන බව ඔහු පවසයි. පසුගිය කාලයේ ජාතිවාද පැතිරීම වැළැක්වීමට තාවකාලිකව පැනවූ සමාජ ජාල තහනම එදාට සාපේක්ෂව යහපත් බව ඔහු තවදුරටත් කියයි.

එමෙන්ම අද වනවිට පේජ් කෙරුවාව හොඳ ආදායමක් ලැබිය හැකි දෙයක් බවද අවසානයේදී කියැවිණි. එහෙත් නිරන්තරයෙන්ම පේජ් අහිමි වීමේ අවදානමක් බුකිය තුළ පවතී. ඒ නිසා එය දැනගෙන වැඩකිරීම යහපත්ය. ප්‍රනීත්හට පේජ් කෙරුවාවෙන් යහපතක් මිස අයහපත් සිදුවී නැත. ඔහුගේ සාර්ථකත්වය පිටුපස පැණියා බුකී පිටුව වෙයි. ඉතින් අදට පැණියාගේ බුකී කතාව අපි අහවර කරමු. පැණියා යනු වෙනස් මාවතකින් ජීවිතය ජයගත් අපූරු නිර්මාණශීලී තරුණයෙකි. පැණියා ලෙස ඔබ හඳුනාගන්නේ ඔහුගේ ප්‍රතිරූපයෙන් එක් කොටසක් බැව් ලියා තබමු.

I චමිඳු නිසල් ද සිල්වා