2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

වල් ඉතුරු කරලා ගොයම මැරූ අලුත්ම වල්නාශකය

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 168

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවි ජනපදයට අයත් සේවාගම, මොණරතැන්න, කාලිංග ඇළ යායවල මෙවර මාස් කන්නයේ වී වගාකළ ගොවීන් විශාල පිරිසකට අමුතුම තාලේ අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවිය. එනම් ගොයමේ වල් නසන්නට යෙදූ වල්නාශක වර්ගයක් හේතුවෙන් ගොයම විනාශ වී වල්පැළ ඉතිරිවීමේ, කනගාටුදායක තත්ත්වයයි. 

පෙර කී යායවල මෙලෙස වල් මර්දනය සඳහා වල්නාශක ඉසිනු ලැබ විනාශයට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 600ක් පමණ වෙතැයි ගොවීහු කියති. අතේ මිටේ මුදල් ඇතිව නොව ණය තුරුස් වී ගොවිතැන් කර දැන් තමන් කබලෙන් ලිපට වැටී සිටින බව බොහෝ ගොවීහු පැවසූහ.

කෘෂිකර්මාන්තය ජීවනෝපාය ලෙස කරන අතිබහුතරයක් වෙසෙන අප රටේ වෙළෙඳපොළේ තත්ත්වයෙන් බාල කෘෂිරසායන, පොහොර වර්ග අලෙවි කෙරෙන බවට පොළොන්නරැවේ මේ ගොවියන්ගේ කතාන්තරය කදිම නිදසුනකි.

පොළොන්නරුව, මොණරතැන්නේ කේ. ප්‍රේමසිරි 

අපි අඳ ක්‍රමයට කුඹුරු ගොවිතැන් කරන අය. අපිට කියලා කුඹුරැ ඇත්තේ නෑ. වී අස්වනු නෙලලා, ගොයම් කපලා, පාගලා කුඹුර අයිති අයට අඳ කොටස දෙන්න ඕන. මේ විදියට අපි ගොවිතැන් කරන්නේ අතේ මිටේ සල්ලි තිබිලා නෙවෙයි, ණය තුරුස් වෙලා. නමුත් වෙන කරන්න දෙයක් නෑ. ජීවත්වෙන්න මාර්ගයක් නෑ. මේ වතාවේ මම වගාකරපු කුඹුරැ අක්කර 10කට වී වපුරලා දින 07කින් වල්නාශක යෙදුවා. ලීටරයක් රුපියල් 7400 ගාණේ ලීටර් 7 ½ක් මේ කුඹුරට යොදලා තිබෙනවා. දැන් ගොයමට දවස් 23ක් වෙනවා. එක වල්ගහක්වත් මැරිලා නෑ. නමුත් ගොයම මැරිලා. අවුරුදු 30-40ක් තිස්සේ වී ගොවිතැන් කරනවා. නමුත් කිසිම දවසක මේ වගේ වින්නැහියක් වෙලා නෑ. මේ වෙනකොට රැපියල් ලක්ෂ තුනහමාරක් විතර කුඹුරට වියදම් කරලා තිබෙනවා, පොහොර, බිත්තරවී, සීසෑම් ආදී සියලු වියදම් එක්ක. අපිට මේ පාඩුව කොහොමටවත් විඳගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා මේ වල්නාශක බෙදාහැරලා විකුණන සමාගම අනිවාර්යයෙන්ම අපිට වන්දි දිය යුතුයි.

පලුගස්දමනේ ටී.ඩී. නිමල් විජේරත්න

මෙවර මාස් කන්නයේ වී වගාකර ඇති කුඹුරැ ප්‍රමාණය අක්කර 05කි.

දැන් මගේ කුඹුරේ ගොයමට වයස මාසයක් වෙනවා. තවම එක වල්ගහක්වත් මැරිලා නෑ. තෙල් ඉහලා බලාගෙන ඉන්නවා. නමුත් ගොයම මැරිලා. මේ විදියේ දෙයක් කිසිම දවසක සිද්ධවෙලා නෑ. අලුත්ම වල්නාශක වර්ගයක් කියලා තමයි අපිට මේ තෙල් හඳුන්වලා දුන්නේ. කීප වතාවක් යොදන්න ඕන නෑ, එක සැරෙන්ම වල් මැරෙනවා කිව්වා. දැන් වල් මැරෙන එක කෙසේවෙතත් කුඹුරේ ගොයම නම් මැරිලා තියෙනවා.

මොණරතැන්න බෙදුම්ඇළ ගොවි සංවිධානයේ උප සභාපති බී. ලලිත් කුමාර මහතා

මේ වල්නාශක වර්ගය අපිට හඳුන්වලා දුන්නේ පළවැනි වතාවට. ගමේ පන්සලේ ධර්මශාලාවේ ලොකු රැස්වීමක් තියලා තමයි කෘෂිරසායන සමාගම ඒ හඳුන්වාදීම කළේ. හොඳින් වල් මැරෙන විදිය පුළුල් තිර දාලා චිත්‍රපටිත් අපිට පෙන්නුවා. ගොවි සංවිධානයේ සාමාජිකයන් 200ක් විතර සහභාගී වුණා. කෘෂිකර්ම නිලධාරීනුත් ආවා. දැන් ඒ කාට කාටත් කටඋත්තර නෑ. කෘෂිරසායන සමාගමේ මහත්තුරැ කිව්වේ මුලින්ම මේ ගැන කියනකොට බයවෙන්න එපා, ගොයම සරැවට හැදෙනවා කියලා. දැන් සරැවට හැදෙන්න තියා එක ගොයම් ගහක්වත් පේන්නවත් නෑ. දැන් ඉතින් අපිට මේ කුඹුරැවල නැවත අලුතින් වී වපුරන්න කාලයක් නෑ. මඩපොහොර, යූරියා, බිත්තරවී, මේ ඔක්කොම කුඹුරට යොදලා ඉවරයි. ණය තුරුස්වෙලා ගොවිතැන් කරලා දැන් අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.

පලුගස්දමන, මොණරතැන්න යායේ සෝමසිරි කෑරගල 

ගොවිතැන් කරන්න ගත්තු තාක් මෙච්චර කාලෙකට මේ වගේ දෙයක් වෙලා නෑ. එක වල්ගහක්වත් නෑ. ගොයම ඔක්කොම මැරුණා. ණය තුරුස්වෙලා දැන් අපි හෙම්බත් වෙලයි ඉන්නේ. ලීටරයක් රුපියල් 7400 ගාණේ අපි තෙල් අරගත්තේ. අලුතින්ම හඳුන්වලා දෙන අලුත් තෙල් වර්ගයක් කියලා කියපු නිසා හැමෝම වගේ ගත්තා. දැන් අන්තිමේ අපිට යන එන මං නැතිවුණා.

පොළොන්නරුවේ මහ ගොවි ජනපදයේ ගොවීන් මෙවර මාස් කන්නයේ වී වගාකර අනපේක්ෂිත කරදරයකට මුහුණපා තිබෙන කාරණය නම් වී වගාවේ වල් මර්දනය සඳහා යොදන ලද වල්නාශකයක් නිසා වල් වෙනුවට ගොයම විනාශ වී යාමයි.
දිවයිනේ සුප්‍රකට කෘෂිරසායන ගෙන්වා බෙදාහරින සමාගමක් වන අදාළ සමාගම පොළොන්නරුවේ ගොවීන්ට ඒ වල්නාශක වර්ගය මුදලට අලෙවිකර ඇත්තේ නවතම හඳුන්වාදීමක් ලෙසිනි. ලීටරයක් රුපියල් 7400ක් තරම් වන ඉහළ මිලකින් යුත් ඒවා වී වගාවට යෙදිය යුත්තේ වපුරා දින 07-10ක් අතර එකම එක වතාවක් බවට ගොවි ජනතාව දැනුම්වත් කර ඇත. ඒ අනුව ගොවීන් වියපැහැදම් කර වී වපුරා ආගන්තුක වල්නාශකය යොදන ලද්දේ වෙනදාටත් වඩා ගොයමේ වල් මර්දනයක් අපේක්ෂාවෙනි. එහෙත් සිදුව ඇත්තේ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් යැයි ගොවීන් කියා සිටිනුයේ හැඬූ කඳුළින් යුතුවය.

අප මේ ගොවි දුක් මැසිවිල්ල පිළිබඳව පොළොන්නරැව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී. උපාලි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත තවත් ක්ෂේත්‍ර නිලධාරීන්, කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු කණ්ඩායමක් සමඟ ගොස් අදාළ කුඹුරු පරීක්ෂාවට ලක්කළ බවයි.

ගොවි ජනතාව පවසන පරිදි ඔවුන්ගේ මෙවර මාස් කන්නයේ වගාකරන ලද වී වගාවේ විශාල ප්‍රමාණයක් ඒ වල්නාශක යෙදීමෙන් පසුව විනාශයට පත්වී තිබෙන අතර ඇතැම් කුඹුරුවල ගොයම් මුළුමනින්ම හානියට ලක්වී ඇතිබව සිය නිරීක්ෂණයේදී තහවුරු වූ බවත් ඒ මහතා කීය.

පසුව මේ පිළිබඳව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අදාළ නිලධාරීන් දැනුම්වත් කළ බවත් ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වල්පැළෑටි සම්බන්ධ විද්‍යාඥයන්ටද මේ දැනුම් දීමෙන් පසුව ඔවුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා (20) පොළොන්නරැවට පැමිණ වල්නාශක ඉසීමෙන් පසුව ගොයම විනාශයට පත්වූ කුඹුරැ පරීක්ෂාවට ලක්කර විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ බවත් කීය. ඔවුන්ගේ ඒ පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල සම්බන්ධ වාර්තාවක් ඉදිරි දිනවලදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදෙනු ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කීවේය.

ආගන්තුක වල්නාශකය යෙදීමෙන් පසුව වල්පැළෑටි වෙනුවට ගොයම විනාශ වූ කුඹුරැ පරීක්ෂා කර බැලීමට පසුගියදා පොළොන්නරැවේ අදාළ ප්‍රදේශවලට පැමිණි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පේරාදෙණිය, ගන්නෝරුව එළවළු පර්යේෂණ මධ්‍යස්ථානයේ පැළෑටි විද්‍යාඥ, අනුරුද්ධිකා අබේසේකර මහත්මිය සහ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලසන්ත රත්නවීර මහතා ප්‍රමුඛ පරීක්ෂණ කණ්ඩායම මේ අකරතැබ්බයට පත්වූ ගොවීන් බොහෝ දෙනකු හමුවී ඔවුන්ගේ විනාශ වූ වගාවන්ද පරීක්ෂාවට ලක්කර තිබෙන බව අපට දැනගන්නට ලැබිණි.

සිදුවී තිබෙන හානියට නිශ්චිත වශයෙන්ම හේතුව එක්වරම නිගමනය කළ නොහැකි බව අප කළ විමසුමකදී ඒ නිලධාරීහු පැවැසූහ. ඇතැම් වගාවන්වල ගොයම මුළුමනින්ම විනාශ වී ඇති බවත් තවත් ඒවායේ ගොයමේ වර්ධනය බාලවී තිබෙන බවද පෙනෙන්නට තිබූ බවද ඔවුහු කීහ. කෙසේ නමුත් මේ වල්නාශකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී වගාවේ වල්පැළෑටි මර්දනය කිරීම සඳහා සුදුසු බවට නිර්දේශ කරන ලද්දක් බවත් එය පොළොන්නරැවේ වී ගොවීන්ට හඳුන්වා දී ඇත්තේ ප්‍රථම වතාවට මෙවර මාස් කන්නයේදී බවත් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලසන්ත රත්නවීර මහතා ප්‍රකාශ කළේය. එය ගොවීන්ට හඳුන්වාදීමට පෙර පර්යේෂණ කිරීම සඳහා තෝරාගෙන තිබෙන දිස්ත්‍රික්ක අතර පොළොන්නරුවද වන බවත් රත්නවීර මහතා කීය.

ගොවියාගේ හිතමිතුරා ඇතැම් කෘෂිරසායන වර්ග බව කියැවෙන වෙළෙඳ දැන්වීම් කලකට පෙර උදේ හවා ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ ප්‍රචාරය වනු අපට අසන්නට ලැබිණි. එකල අපේ රටේ ගොවි ජනතාව වැඩි පිරිසක් ඒ කෘෂිරසායන ඉඹලා පිළිගෙන බෝග වගාවන්ට යෙදූ බවද අපි දනිමු. නමුත් කාලයාගේ ඇවෑමෙන් විශේෂයෙන්ම කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල ජනතාව හඳුනානොගත් දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී බුරුතු පිටින් අකාලයේ මියයන විට ඒ පිළිබඳව පර්යේෂණ කළ විශේෂඥයන්, වෛද්‍යවරුන්, පර්යේෂක කණ්ඩායම් කෘෂිරසායන, රසායනික පොහොර ආදියෙහි අඩංගු කැඩ්මියම් (බැරලෝහ) වකුගඩු රෝගය ඇතිවීමට ප්‍රබල හේතුවක් බවට අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බලන කල කෘෂිරසායන වර්ග හෝ ඒවා බෙදාහරින සමාගම් කිසිසේත්ම ගොවියාගේ සැබෑ මිතුරකු නොවන බවට තේරැම්ගත යුතුව ඇත.

කෙසේ නමුත් පොළොන්නරුවේ ගොවියන් විශාල පිරිසකට මෙවර මාස් කන්නයේදී වී වගාවේ වල් මර්දනය කිරීම සඳහා සුදුසු බවට හඳුන්වා දී තිබෙන වල්නාශක වර්ගය ගොයම් ගසට එතරම් හිතකර නොවන බව පෙනී යයි. ගොයමත් සමඟ වැඩෙන වල්පැළෑටි මර්දනය නොවී ගොයම පමණක් සහමුලින්ම මැරී විනාශ වී ගොස් තිබෙන අන්දම අපිද දෑහින් දුටුවෙමු.

කෙසේ නමුත් වල්නාශක යෙදීමෙන් පසුව වී වගාව විනාශ මුඛයට ගිය ගොවි ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් අදාළ කෘෂිරසායන සමාගම් මගින් ලබාදිය යුතු බවය. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්, වගකිවයුතු අංශද විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඒ ගොවි ජනතාව කියා සිටිති.

I සටහන සහ ඡායාරූප: කරුණාරත්න ගමගේ