2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

රජකාළේ කාන්තා ආභරණ

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 2356

අපේ පැරණි පුරාවස්තු සහිත අනුරාධපුරයේ ජේතවනාරාම සහ අභයගිරිය ආශ්‍රිත කැණීම්වලින් ආභරණ ගැන සාධක රාශියක් හමුවී තිබෙනවා. පැරණි බිතුසිතුවම් සහ මූර්තිවලින් පැරණි ආභරණ ගැන සාධක ලැබෙනවා. ඒවා අධ්‍යයනය කිරීමෙන් එම ආභරණ වර්ග ගැන අවබෝධයක් ලැබීමටත් අපට ඉඩ ලැබෙනවා.

අප සමඟ එලෙස අදහස් දැක්වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය මාලිංග අමරසිංහය. මහාචාර්ය මාලිංග ලක්දිව ආභරණ පිළිබඳව අධ්‍යයනය කර ලියූ ලක්දිව ආභරණ ඉතිහාසය නම් කෘතිය ලබන සතියේ නිකුත් වීමට නියමිතය.

ප්‍රාග් ඓතිහාසික යුගයේ බෙලිකටුවලින්, අස්ථි කැබලිවලින් කළ ආභරණ පසුව වටිනා ලෝහ වන රන්, රිදී ආදියෙන්ද මැණික්වලින්ද නිර්මාණය කෙරැණි. කාන්තාවන් මෙන්ම පිරිමින්ද ආභරණ පළඳිති. නමුත් සමාජයේ ආභරණවලින් වඩාත් රූසපුව අලංකාර කර ගත්තේ කාන්තාවෝ වෙති.

ලක්දිව ආභරණ කර්මාන්තය පිළිබඳව සලකා බලන කල අමුද්‍රව්‍ය වශයෙන් දක්නට ලැබෙන මූලද්‍රව්‍ය කිහිපයක්ම හඳුනාගත හැකිය. ඉන් ප්‍රධාන වන්නේ රන් ලෝහයයි. අනුරාධපුරයට තුන් යොදුන් එපිටින් පිහිටි ආචාරවිටි ගමෙහි ස්වර්ණ බීජ උපන් බව මහාවංශය සඳහන් කරයි. අම්බට්ඨකොළ නම් දනව්වෙහි රිදී ඉල්ලමක් පිළිබඳවද මහාවංශයේ සඳහන්ය. අම්බට්ඨකොළ නම් රිදීගමය. තඹ ලෝහය ද සෑහෙන ප්‍රමාණයකට ආභරණවලට යොදාගෙන තිබේ. රන්වලින් සහ තඹවලින් වැඩකළ ලෝකරුවකු ගැන සිහලවත්ථුවේ සඳහන්ය.

ඉසුරුමුණියේ පෙම් යුවළ, සීගිරි චිත්‍ර, තිවංක පිළිමයේ චිත්‍ර ආදියෙන් පුරාණ ආභරණ ගැන තොරතුරු ලබාගත හැකියි. කාන්තාවන් භාවිත කළ විවිධ මෝස්තරයේ ආභරණ මේ චිත්‍ර හා මූර්තිවල දැක්වෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර වන පූජාවලිය, සද්ධර්මාලංකාරය, උම්මග්ග ජාතකයේත් ආභරණ ගැන සඳහන්. ඒ කාලේ සුසැට ආභරණ වර්ගයක් ගැන සඳහන්. මේ සුසැට ආභරණ කාන්තාවන් විසින් වෙනමත්, රජවරු විසින් වෙනමත් භාවිත කළ බවට තොරතුරැ මූලාශ්‍රවල සඳහන් වෙනවා. මහාචාර්ය මාලිංග පැවසුවේය.

ඉබ්බන්කටුවෙන් විශිෂ්ට පබළු මාලයක්

ක්‍රි.පූ. 350 - 750 අතර අතීතයට කාල නිර්ණය කර තිබෙන දඹුල්ල අසල පිහිටි ඉබ්බන්කටුවෙන් හමුවුණු පබළු මාලය ඉතා අලංකාර ආභරණයකි. එකල මිනිසුන් ආභරණ කෙරේ දැක්වූ කැමැත්ත කෙතරම්ද යන්නට එය නිදර්ශනයකි.

මහා ශිලා සංස්කෘතිය පැවති ඉබ්බන්කටුව සුසානය කැණීමෙන් ගල්, ලෝහ, මැටිවලින් තැනූ පබළු හමුවී තිබේ. ඔනික්ස්, කානිලියන් සහ ටෙරාකොටා පබළුද ඉන් හමුවී ඇත. එලෙසම රන්, වීදුරු සහ වෙනත් ගල් වර්ග පබළුද හමුවේ. අප නොදියුණු යැයි සිතා සිටින පූර්ව ඓතිහාසික මිනිසා තුළ කෙතරම් දියුණු වින්දන ශක්තියක් පැවතියේද යන්න මේ ආභරණවලින් පැහැදිලි වේ.

පොම්පරිප්පුව සහ අනුරාධපුරයේ ගෙඩිගේ පූර්ව ඓතිහාසික කැණීම්වලින්ද මේ ආකාරයේ පබළු හමුවී තිබේ.

ඓතිහාසික යුගයට අයත් ආභරණ

අද රන් ආභරණ සාප්පුවලින් මිලදී ගත්තා සේම අනුරාධපුර, පොළොන්නරු යුගවලදී සල්පිල්වල රන් ආභරණ සාප්පු තිබෙන්නට ඇත. අනුරාධපුර මහාපාලි දාන ශාලාව අසල ලංකාරාම දාගැබ, දක්ඛිණ ථූපය, මහියංගනය, පොළොන්නරුව, දැදිගම කොටවෙහෙර, උතුරේ තිරැකේතිශ්වරම් ආදී ස්ථාන කැණීම්වලදී ආභරණ රාශියක්ම හමුවී තිබේ.

සීගිරියේ කර්ණාභරණය

ක්‍රි.ව. අටවැනි සියවසේදී සිංහල කාන්තාවන්ගේ ආභරණ පිළිබඳව හොඳම නිදසුන වන්නේ සීගිරියෙන් හමුවිණැයි සැලකෙන කුණ්ඩලාභරණයයි. ඉතා අලංකාර මෙම කරාබුව තනි රනින් නිමකොට ඒ මත මැණික් ගල් 15ක් පමණ අල්ලා තිබේ. එහි දිග අඟල් 3 කි.

පුරාණ කාන්තාවන් අත්වල රිදී වළලුද ඇඟිලිවල මුදු හා පයේ මුදු ආදියද ගෙලෙහි පබළු මාලයක්ද පපුව පුරා රත්රන් හෝ රිදී මාලයක්ද කනෙහි ගල් බැඳි කුණ්ඩලාභරණයක්ද පළඳින බව රොබට් නොක්ස් පවසා තිබේ. අනුරාධපුර යුගයේ පැළඳි ආභරණ ගැන විස්තර කළ මහාචාර්ය මාලිංග මෙසේද කීවේය.

මෙවුල්දම කියන්නේ කුඩා ගැහැනු දරැවන්ගේ ඉනෙහි පැළඳි බෝ පත්‍රයක් වැනි ආභරණයක්. එය වැඩිහිටි කාන්තාවන්ද පැළඳි බව පැවසෙනවා. සීගිරි චිත්‍රවල හමුවන තාලිපොට කියන ආභරණය බොහෝවිට පළඳින්නේ විවාහක කාන්තාවන්. තාලිපත්‍ර කියලා තවත් ආභරණයක් තිබෙනවා. එහිදී තල් කොළයක් හැඩයට හදපු රෝල් කළ රන් තහඩුවක් තමයි කනෙහි සිදුරට ඔබා තිබෙන්නේ. එහි බරට කන එල්ලීම සිදුවෙනවා.

කිරීට

කිරීට යනු කෙස් කළඹ අලංකාර කිරීමට භාවිත කළ ආභරණයකි. සීගිරි ලළනා රූපවලද ඉහළට කොට බඳින ලද කෙස් කළඹවලින් සරසා ඇති බව පෙනේ. මල්වලට අමතරව හිසෙහි ඉහළ කොටසේ ඔටුන්නක හැඩයට තැනූ සැරසිල්ලක් බැඳ තිබේ. මැණික් ආදියෙන් විසිතුරැ කළ එය කිරීටයයි. 12 වැනි සියවසේදීත් කාන්තා හිස් අලංකාර කිරීමට කිරීට භාවිත කළ බව පොළොන්නරැවේ තිවංක පිළිමගෙයි සිතුවම්වලින් පෙනේ.

කොණ්ඩා කූරු

කොණ්ඩා කූරු දක්නට ලැබෙන්නේ පසුකාලීන රාජ යුගවලදීය. කොණ්ඩය ගැලවීයාම වැළැක්වීමටත් හිසෙහි පිටුපසට අලංකාරයක් එක්කිරීමටත් කැටයම්වලින් අලංකාර කළ කොණ්ඩා කූරැ භාවිත කෙරිණි. මේ සඳහා භාවිත කර ඇත්තේ රිදී ලෝහයයි.

පනා

හිසෙහි පනා පැළඳීම කාන්තාවන්ගේ තවත් අලංකරණ විධියකි. පුරාණයේ මෙම පනා අලංකාරව තනා තිබෙන්නේ ඇත්දත් වලිනි. මෙම පනා මහනුවර යුගයේදී නාම පනා වශයෙන් හඳුන්වා තිබේ.

නාගවඩම්

පෙනය විහිදවූ නාගයකුගේ ස්වරූපයෙන් යුත් වළල්ලකි. ගෙතූ කොණ්ඩය මත එය නොපෙනෙන සේ පළඳින නයෙකුගේ ස්වරෑපය ඇති ආභරණයකටද මේ නම යෙදේ.

සික

ලීයෙන් සැදූ රන් රිදී කැටයමින් යුතු අර්ධ කවාකාර ශීර්ෂ පළඳනාවකි. සීගිරි සිතුවම්වල මේ ආභරණය දැක්වේ.

ගෙලමුතු මාල සහ ගලමුතු මාල

ගෙලෙහි බඳින ලද මාලයක් මින් අදහස් කෙරේ. එය මුතුවලින් සකසා තිබේ.

පදක්කම්

අද පෙන්ඩන්ට් ලෙස හඳුන්වන මෙය මාලපොටකින් එල්ලෙන මැණික් අල්ලන ලද ලෝහ කැබැල්ලකි. සීගිරි සිතුවම් අතර පදක්කම් පැළඳූ ස්ත්‍රීන් හමුවේ. මහනුවර යුගයේදී භාවිත කළ පදක්කම් අපේ කෞතුකාගාරවලදී දැකගත හැකිය.

රන්පෙති මාල

රත්රන් පෙති සහිත මාලයකි. පුරාණයේ සිට භාවිත වී ඇති මෙම ආභරණය මහනුවර රාජධානි සමයේදී වඩාත් ජනප්‍රිය වී තිබේ. පසු කාලයේදී මෙම ආභරණය පවුම් මාල නමින් හඳුන්වා තිබේ.

සිද්දතුදම්

සුදු අබ ඇට තරම් කුඩා ප්‍රමාණයේ පබළු ඇටවලින් කළ මාලයකි.

සිව්කොත් මාල

උල් සතරකින් යුතු පෙති අල්ලා තනන ලද මාලයක් සේ පෙනේ. ඇතැම්විට පෙති හතරක් සහිත මල් එකිනෙක ඇමිණූ ආකාරයක් දිස්වන්නට ඇත.

අංගදාභරණ

වැලමිටෙන් ඉහළ බාහුවේ පළඳන වළල්ලකි. 

ගිගිරි වළලු

කුහර සහිත මේ වළලු ඇතුළට කුඩා ලෝහ ගුලි දමා ඇති නිසා ඉන් හඬක් නිකුත් වේ. 

පපුවෙහි පැළඳි ආභරණ වශයෙන් අවුල්හර, ඔරවසුන් ද උදරයෙහි පැළඳි ආභරණ ලෙස උදර බන්ධනද සැලකේ. උරහිසෙහි පැළඳි පුරාණ ආභරණ රාශියක්ද පවතී. එකාවැල, දෙවුරමාල, ඒවා වේ. අද අතෙහි පළඳින ආභරණ සීමිත වුවද එදා ආභරණ රාශියක් දෑත අලංකාර කිරීමට යොදාගෙන තිබේ. අංගදාරණ, කේයුරාභරණ, නාගවඩම්, බාහුමුතු, බාහුදණ්ඩි, ගිගිරි වළලු, කයිපෝට්ටු, මණිකයිවඩම්, මණි වළලු, පත්‍ර වළලු, මිණි බණ්ඩි, කබ, බණ්ඩි වළලු ඒ අතර වේ.

ඇඟිලිවල අද දැකගත හැක්කේ මුදු පමණි. හස්ත මුද්‍රිකා යනු ඇඟිල්ලේ පළඳින මුද්දකි. හස්තංගුලි සහ අංගුල්ලාසාරද ඇඟිලි අලංකාර කළ ආභරණ අතරට අයත් වේ.

ඉනෙහි පළඳිනු ලැබූ ආභරණ ලෙස හිණ සැද, රන් සවඩි, රිදී සවඩි, මුතු සවඩි, නිල්මිණි සවඩි, රන්මිණි සවඩි, මෙවුල්දම සැලකේ. පාදවල කෙණ්ඩ අලංකාර කර ගැනීමට ජංඝා වළලු, ඌරුජාල, ජංඝා පත්‍ර යොදාගෙන තිබේ.

ඊට අමතරව පාදය සැරසීමට කිංකිණිජාල, පාදාභරණ, පාද ජාල, පාදාංගුලි, පාදසිරි, පා සළඹ, පාද සංඛාපල, පස් පෙරහර, පාඩගම්, පාදකටක, පාද මුදු හා රන්මිරිවැඩි යොදාගෙන තිබේ.

මේ කරුණු සලකන විට පෙනෙන්නේ අද දියුණු යැයි සම්මත ලෝකයට වඩා එදා පුරාණ සමාජයේ විවිධ ආභරණ රුසකින් සිරුර අලංකාර කර ගැනීමට කාන්තාවන් පෙළඹ සිටි බව නොවේද? නමුත් මේ බොහෝ ආභරණ වෙන්වූයේ රාජකීයයන්ට හෝ ප්‍රභූ පැළැන්තියට පමණක් බවද අප අමතක නොකළ යුතුය.

 කුසුම්සිරි විජයවර්ධන