2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

එකක් නිකම්: බඩු මිසිං

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

ලාබ කළා, ලාබ කළා, හැමදාම නෑ හැමතැනම නෑ, එන්න, එන්න හොඳට බලලා අරන් යන්න. එකක් පන්සීයයි... එකක් පන්සීයයි. දෙකක් ගත්තොත් එකක් නිකන්. දෙකක් ගත්තොත් එකක් නිකන්.... අවුරුද්දට කලින් ආවා... අවුරුද්දට කලින් ආවා... බල බලා යන්න එපා පොඩි ගාණයි... පොඩි ගාණයි එන්න එන්න අරන් යන්න. ලාබ කළා, ලාබ කළා.. හැමදාම නෑ හැම තැනම නෑ, එන්න, එන්න හොඳට බලලා අරං යන්න..... ෂොප් එකටත් වැඩිය හොඳට, උණු උණු බඩු... දැන් ගෙනාවේ දැන් ගෙනාවේ... තෑගි දෙන්න සාස්තරේ, තෑගි දෙන්න සාස්තරේ. දෙකක් ගත්තොත් එකක් නිකන්, දෙකක් ගත්තොත් එකක් නිකන්.....

මිනිසුන් පොදියක් පදික වේදිකාවේ එකට පොරකමින් සිටි එම ස්ථානයට ලියුම්කරැද හිස යොමා බැලුවේ එහි ඇති විශේෂත්වය දැන ගැනීමටය.

බැලූ බැල්මට ඉතා හොඳ තත්ත්වයේ තිබෙන ඩෙනිම් කලිසම් තොගයක් මොවුහු මෙලෙස පදික වේදිකාවේ විකුණමින් සිටියහ. එම මිලට ඩෙනිම් කලිසමක් ගැනුම්කරැවන්ට ලබාදීම ගැන පුදුමයට පත් නොවන කවුරුත් නැත.

එතැනට පැමිණි බොහෝ කොල්ලෝ කුරුට්ටන් මෙන්ම මැදිවියේ රැකියාවල නියුතු පුද්ගලයන්ද එම ස්ථානයෙන් ඩෙනිම් දෙක තුන එතැනින් රුගෙන ගියේ ආයේ මේ වගේ චාන්ස් එකක් එන්නේ නෑනේ මල්ලි යනුවෙන් පවසමිනි.

පැයක් වැනි කාලයක් තුළ ඔවුන්ගේ බඩු සියල්ලම විකිණී ගියේය. ඔවුන් සමඟ මෙම ගණනට ඩෙනිම් ලබාදීම ගැන විමසීමට ලියුම්කරු යුහුසුළු වුවද ඔවුන්ගේ සියලු ගනුදෙනු නිමවනතුරැ ඉවසා සිටීමට ලියුම්කරුට සිදුවිය.

ඔක්කොම බඩු ඉවර වුණා නේද?

අපි ගේන බඩු ඉවර කරල මිසක් ගේම අතාරින්නේ නෑ.

ටිකක් කථා කරන්න පුළුවන්ද? ලියුම්කරු තමාගේ අන්‍යතාවය තහවුරැ කිරීමෙන් පසු ඔහුගෙන් ඇසූ අතර සිය නම් ගම් හෙළි නොකරනවා නම් පමණක් විස්තර පැවසීමට ඔහු එකඟ විය.

කොයිකාලේ ඉඳන්ද පේමන්ට් එකේ බිස්නස් කරන්නේ?

මම දැන් අවුරුදු පහළොවක් විතර මේ කොළඹ මේ පේමන්ට් එකේ බිස්නස් කරනවා.

රෙදි බිස්නස් විතරද කරන්නේ?

එහෙම කියලා නෑ. අපිට අහුවෙන ඕනෑම බඩුවක් අපි දෙනවා. අනික අපි නැවෙන්නේ බඩු ගන්නේ?

නැවෙන් ගන්නවා කිව්වේ....?

මෙහෙමනේ වරායට නැව් ආවම අපි ඒවා සුද්ද කරන්න කන්ට්‍රෑක් ගන්නවා. ඒ ගියාම තමයි අපි ඒවා අරං එන්නේ?

ඒ කියන්නේ නැව්වල ඒ බඩු විකුණන්න තියෙනවද?

පිස්සුද ලොක්කා? නැව් කොහෙන්ද ඒවා විකුණන්නෙ.

එහෙනම් කොහොමද?

ඔය සුද්ද කරන්න ගියාම නැවේ ලොන්ඩ්‍රියේ හෝදලා වේලෙන්න දාලා තියෙන ඒවා අපි අරන් එනවා.

ඉතිං සිකියුරිටි එකට එහෙම අහුවෙන්නේ නැද්ද?

උන්ට පොඩි සම්තිං එකක් දුන්නම බඩු මිසින් කරගන්න පුළුවන්. ඒවා මහ ලොකු වැඩ නෙවෙයි.

ඉතිං ඔය ලොට් එකක්ම එක නැවෙන් ගන්න පුළුවන්ද?

ලොකු ලොට් එකක් එක නැවෙන් ගේන්නේ නෑ. කලිසම් විස්සක් තිහක් විතර තමයි පන්නන්නේ.

එතකොට ඉතුරු ඒවා?

ඔය කොළඹ අවට ඕනතරම් තියෙන්නේ?

කොහේද?

ඇයි මල්ලි කොළඹ වැඩට ඇවිල්ලා බෝඩිං වෙලා ඉන්න බෝඩිං කාරයෝ වැළවල් වල වනලා තියෙන්නේ ඔය ඕන තරම්. කාගෙන් තහනමක්ද ඒවා අරගෙන එන්න.... අනික අලුත් පිටනේ තියෙන්නෙ අප්පා දිලිසි දිලිසි....

ඒ කියන්නේ ඔයාලා ඒවා උස්සනවා එහෙමද?

නැහැ... අපි අරං එන්නේ නෑ. ඔය නසරානියෝ ඕනතරම් ඉන්නේ ඒ වැඩ කරන්න.

මාට්ටු වෙන්නේ නැද්ද?

මාට්ටු වුණත් අපිට මොකද? අපි කරන එකක්ද? අපි කරන්නේ ළඟට එන බඩු විකුණන එක විතරයිනේ.

ඒ වුණාට කෙනක් ඇඳපු ඒවා විකුණන එක හරි නැහැනේ?

පිස්සු කථා කරනවද ලොක්කා... ඔය යන්නේ ඕනතරම් බඩු.... ඔයාම දැක්කනේ බඩු ගියේ කොහොමද කියලා... අනික හැමදාම ඩෙනිම් විතරක්ම නෙවෙයිනේ. අපි සෙරෙප්පු, ඔරලෝසු හැම අයිටම් එකක්ම දෙනවා. නැත්තම් කොහෙද මෙච්චර අඩුවට බඩු දෙන්නේ... අනික අඩුවට දෙනව නම් අපේ මිනිස්සු ඕන කුණු ගොඩක් ගන්නවනේ..... මේ පේමන්ට් එකේ ඉඳලම අපි දන්නවා මොනවද බිස්නස් කරන්න ඕන කියලා. බොසා නාඩියට ගේම ගහන් හිටියට අවුලක් නෑනේ. මංකොල්ල කන්නේ නැතුව... ඔයාට ඕන දේවල් දැන ගත්තනේ. එහෙනම් අපි ගියා. මොකද හෙටත් මොනව හරි ටකල් කරගන්න එපැයි. නැත්තම් ඉතිං සම්තිං එකක් හොයන්න බැහැනේ...

ඔහු කියූ කථාව සැබෑය. අඩුවට දෙනව නම් ඕනම කුණුගොඩක් ගන්න අපේ මිනිස්සු ඉන්නවාය.

 හසිත් අංජන