2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

අද රටට අවශ්‍ය නව ප්‍රතිපත්ති සහ නව නායකත්වයක්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ පාර්ලිමේන්තු විසුරුවා හැරීම පිළිබඳව ලබාදුන් නඩු තීන්දුව හා සමඟ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නැවත අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සමඟ මෙරට දේශපාලන අර්බුදයට විරාමයක් ලැබී තිබේ. සිදුවූ දෑ පිළිබඳව පසු විපරමක් ද සිදුවන්නට යන දෑ පිළිබඳව පුරෝකතනයක් ද ඉදිරිපත් කිරීම අපි අදහස් කළෙමු. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ගෝමින් දයාසිරි මහතා සම්බන්ධ කරගතිමු. මේ මහතා ඉදිරිපත් කරන ලද අදහස්වල එකතුවකි.

ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමේ බලාපොරොත්තුක් නැතිවුවද ඉතා යටහත් පහත්ව අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම හේතුකොටගෙන ජනාධිපතිවරයාගේ ස්ථාවරයන් පිළිගත නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. මෙය රටට ඉතා කනගාටුදායක වන්නේ  ජනතාව විසින් එතුමා විධායක ජනාධිපති ධූරයට පත්කර ඇති බැවිනි. එම නිසා දැන් එතුමන් තමන්ගේ දේශපාලන වාසි සඳහා කතාකරන පුද්ගලයකු බව ඇතැමුන්ගේ විශ්වාස වී තිබේ. එයින් ජනාධිපතිවරයාට ලැබෙන විපාක නම් ඉදිරි ජනාධිපතිවරණය දී ජනතාව ඔහුට ඡන්ද ලබාදෙයි ද නොදෙයි ද යන පැනයයි. එතුමාට යම් ජන්ද ප්‍රමාණයක් ලබාගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෙරමුණකින් හෝ නව පක්ෂයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමෙනි. මගේ විශ්වාස අනුව මෙම කරුණ මහින්ද රාජපක්ෂ මහතා ඉතා සන්තෝසයෙන් සිදුකරන්නේ තමන්ගේ භාග්‍යය සඳහාය. 

නමුත් මහින්ද රාජපක්ෂ මහතා තරම් සාර්ථක ජනාධිපතිවරයකු මේ රටෙහි නොසිටි බව අප අමතක නොකළ යුතුය. සාර්ථක ලෙස ත්‍රස්තවාදය පරාජය කිරීම අපට අමතක කළ නොහැක. නමුත් අපේ ජනතාවට ඕනෑම දෙයක් පිළිබඳව මතක ඇත්තේ ඉතා සුළු කාලයකි. එය ප්‍රකට වූ එක් අවස්ථාව වූයේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට අත්වූ පරාජයයි. එවන් පරාජයක් ලද වෙනත් ජනාධිපතිවරයෙක් ද මෙරට  නැත. 

මෙම අවස්ථාවේදී රාජපක්ෂ මහතා කාගෙන් උපදෙස් ගත්තාද යන්න වටහා ගැනීම දුෂ්කර කාරණකි. සමහරැ එය නීතිඥවරැන් අතට පත්කරති. තවත් පසකින් එම තීරණය පිළිබඳව වගකීම රාජපක්ෂ මහතාට කීකරු දේශපාලනඥයන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේවගේ කරපිට පටවති. කවුරුන් ඊට වගකිවයුතුදැයි පැහැදිලි නැත. එය විශාල අනුවණකමකි. එහි ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ මහින්ද රාජපක්ෂ මහතාය.

මගේ විශ්වාසය නම් වැඩිකල් යන්නට මත්තෙන් ජනාධිපතිවරයාම එක්සත් ජාතික පක්ෂය සමඟ කිට්ටු සම්බන්ධයක් ඇතිකර ගැනීමට අවස්ථාව තිබෙන බවයි. එනිසා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර කිසිසේත්ම විශාල ගැටුමක් ඇති නොවනු ඇත. මීට සම්බන්ධ කදිම උදාහරණ දෙකක් තිබේ. මහින්ද රාජපක්ෂ යුගයේ දී එවකට සිටි කතානායක අනුර බණ්ඩාරනායකගේ කතාව සහ ශිරාණි බණ්ඩාරනායකගේ හබය ඇතිවූ විට චමල් රාජපක්ෂ ශිරාණි බණ්ඩාරනායකට පාර්ලිමේන්තුවේ දෙන ලද පිළිතුරැය. එයින් මනාව පාර්ලිමේන්තුවේ උපරිම තත්ත්වය විදහාපායි.

කෙසේ නමුත් වැඩිකල් යාමට මත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාද තවත් පසුබෑමට ලක්වීමට ඉඩ තිබේ. එනිසාවෙන් සිදුකළ යුතු වඩාත් සුදුසු කාර්යයනම් ඔහු සුළු කාලයක් එම ධූරය හොබවා වෙනත් කෙනකුව පත්කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතාට ද තවදුරටත් සිටීමට නොහැක්කේ වැඩිමහලු දෙන්නෙකු අතර තරගයක් ඇති වීමට ඉඩ කඩ ඇති නිසාවෙනි. නව මැතිවරණයකට සුදුසුම විකල්පය ලෙස මා සලකන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස මහතාය. නැතහොත් සිදුවන්නේ දෙමළ සන්ධානයට නැවතත් බලයක් ලැබීමය. නමුත් උචිත වන්නේ දකුණේ පිරිස් දෙමළ මුස්ලිම් ජනයා සමඟ එකමුතුවභාවයෙන් වැඩකරන ජාතික සමගියක් ඇති රජයක් විස්සයි විස්සේ දී බිහිකර ගැනීමයි.

කෙසේ නමුත් උද්තව ඇති තත්ත්වය තුළ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීමේ හැකියාව ඕනෑම මන්ත්‍රීවරයකුට තිබේ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ක්‍රියාකර ඇත්තේ ද ව්‍යවස්ථාවට විරුධවයි. ඒ බව දැන දැනම හැංගිහොරා සෙල්ලම් කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතා ද එම පැත්තට එක්වී තිබේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා වූ කලී හැමදාම ජනප්‍රිය පුද්ගලයකි. ඔහු සාමාන්‍ය ජනයාට ත්‍රස්තවාදය නැති කළ වීරයාය. එහෙත් රාජපක්ෂ මහතා දැන් සිටින්නේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකය. මෙම තත්ත්වයෙන් ගැලවීමට නම් දේශපාලන භූමියෙන් ඔහුද ඉවත් විය යුතු වේ. මගේ විශ්වාසය අනුව රටේ අනාගත සුභසිද්ධි සඳහා රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ දේශපාලන භූමියෙන් ඉවත් වී තරැණ පිරිස්වලට හා නව නායකයන්ට අවස්ථා ලබාදිය යුතුවේ.


 සංවාද සටහන - චමිඳු නිසල්