
කඩවත - කොටුව ප්‍රයිවට් බස් එකක මම කොටුවට ආවා. ඉඟුරු කඩේ හන්දිය කිට්ටුවදි කොන්දොස්තර බස් එකෙන් බැස්සා. ටික දුරක් ගියපු බස් එක සුගතදාස ක්‍රීඩාංගණය ළඟ නවත්තලා රියදුරු මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න පටන්ගත්තා. අපි ඇහුවා කොන්දොස්තර කොහෙද කියලා. රියදුරා කියනවා එයා මගින් බැහැලා කියලා. කොන්දොස්තර බැහැලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඉතිරි සල්ලිත් නොදී. ඒ වෙලාවේ මගීන් කීප දෙනෙක්ම කීවේ මුන් හැමදාම මෙහෙම කරනවා. කුඩු ගහන්න පුරැදු වෙලා මිනිස්සුන්ගේ සල්ලිත් අරගෙන යනවා කියලා. මිනිස්සු රියදුරැට බැනලා වෙන බස්වලින් යන්න ගියා. ඊට පැයකට පස්සේ මම සිද්ධිය ගැන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිල්ලක් කළා
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පෞද්ගලික බස් රථ රියදුරන් සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් මගියකු විස්තර කළේ එසේය. මාර්ග අංක 138 කඩවත - කොටුව බස් රථයක රියදුරැ හා කොන්දොස්තරවරයා විසින් මගීන් අපහසුතාවයට පත් කරමින් කළ ක්‍රියාව පිළිබඳව බස් රථ අංකය සමඟ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිල්ලක් සිදු කළද එහි විමර්ශන පිළිබඳ කිසිවක් නොදන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් පිළිබඳ චෝදනා රාශියක් තමන් වෙත ලැබෙන බවය. එසේම ඔහු පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් 2000කට ආසන්න පිරිසක් පෞද්ගලික මගී ප්‍රවාහනයේ යෙදී සිටින බවට තොරතුරු ඇති බවය. එමෙන්ම බස් රථවල සේවයේ යෙදී සිටින කොන්දොස්තරවරුන් පිරිසක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින බවද ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි. රියදුරු සහ කොන්දොස්තරවරුන් නිතිපතා රුපියල් දහස් ගණනින් මුදල් පරිහරණය කරන නිසාත් තම ගමන් වාර අවසන්ව නියමිත ගමන් වාරය එළැඹෙන තෙක් බොහෝ වෙලාවක් නිකරුණේ සිටීමට සිදුව ඇති නිසාත් ඔවුන් මෙවැනි මත්ද්‍රව්‍ය භාවිතයකට පෙළඹී සිටින බව විජේරත්න මහතාගේ අදහසය. එමෙන්ම බස් රථයේ ප්‍රවේශ පත්‍ර සඳහා පෙර ගෙවීම් කාඩ් පත් භාවිතය කඩිනම් කිරීම හරහා මේ තත්ත්වය බොහෝ දුරට අඩු කරගත හැකි බව ඔහුගේ යෝජනාවකි.
මත්පැන් පානය කොට රිය ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථ රියදුරන් මෙන්ම සෙසු රියැදුරෝ ද ඕනෑ තරම් සිටිති. සිදුවන අනතුරු රැසකට ඔවුන්ගේ බීමත්කම සහ නොසැලකිල්ල හේතු වී ඇති බවට රථ වාහන පොලීසිය පෙන්වා දෙයි. පොලීසිය ඒ බව අනාවරණය කරන්නේ අනතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී රියදුරන් බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බව අනාවරණය වීම නිසාය.
විශේෂයෙන් කොළඹ හා තදාසන්න නගර අතර ධාවනය කරන ඇතැම් පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මෙසේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සේවයේ නිරත වන බවට වාර්තා වී තිබේ. එසේම අන්තර් පළාත් බස් රථ ධාවනයේ නිරත ඇතැම් රියැදුරන් හා කොන්දොස්තරවරැන් ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට ද ඔවුන් තේ පානය සහ ආහාර අනුභවය සඳහා යන ආපනශාලාවලින් මේ සඳහා අනුබලය සහ පහසුකම් ලැබෙන බවට ද තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙනත් මේ තත්ත්වය බරපතළ ලෙස දිවයින පුරාම සිදුවන බවට තොරතුරැ මෙන්ම පොලීසියට සිදුවන බවට තොරතුරැ මෙන්ම පොලීසියට සහ බස්රථ සංගම්වල ඉහළ නිලධාරීන්ට පැමිණිලි ලැබී තිබෙන බවද සඳහන්ය. මෙවැනි පිරිස් බහුලව ගංජා සහ මත්පෙති භාවිතයට නැඹුරැව සිටින බවත් ඊට ඇබ්බැහි වූ ඇතැමුන් හරහා මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරම සිදු කෙරෙන බවත් දැනගන්නට තිබේ.
මත්පැන් පානය කර රිය ධාවනයේ නිරත රියැදුරන් හඳුනාගැනීම සඳහා ප්‍රශ්වාස විශ්ලේෂණ පරීක්ෂණය සඳහා බැලූනය පිම්බීමට දීම සඳහා පහසුකම් ඇතත් හෙරොයින්, ගංජා, මත්පෙති හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ නිරත පිරිස් හඳුනාගැනීමට ක්‍රමවත් පහසුකමක් නොමැත. එබැවින් &බ්‍රෙතලයිසර්* නැමැති ජාත්‍යන්තරව පිළිගත් උපකරණය පොලීසියේ රථ වාහන ඒකකය වෙත ලබාදීමට පියවර ගන්නා බවට පසුගියදා අනාවරණය කළේය.
ක්‍රමවත් බස් නැවතුම්පළ සහ රථ ගාල් නොමැතිකම නිසා හුදෙකලාව ඇති ස්ථානවල රථ වාහන නවතා රියැදුරන් හා සහායකයන් මත්ද්‍රව්‍ය භාවිතයට හා අපචාර සඳහා යොමුවන ප්‍රවණතාවයක් පවතී. මෙහිදී සිගරට්, ගංජා සහ මත් පෙති භාවිතය ඉහළට ගොස් ඇතැයිද පැවසේ. එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා ප්‍රධාන බස්රථ නැවතුම්පළ තුළින් ක්‍රමවත් කාල සටහනක් ක්‍රියාත්මක නොවීම නිසාද ඒ අතර කාලයේ අපචාර සඳහා යොමුවන රියැදුරන් හා සහායකයන් සිටින බව නොරහසකි.
ලංකාවේ දිනකට සිදුවන වාර්තාගත රිය අනතුරු මරණ සංඛ්‍යාව 8කි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය මේ සඳහා ප්‍රධාන සාධකයක්ව පවතින අතර බස් රථ සංගම් ප්‍රධානීන් මේ සඳහා විවිධ යෝජනා ගෙන එති.
බස් රථවල මුදල් භාවිතය නවතා පෙර ගෙවීම් කාඩ්පත් භාවිතා කිරීම තුළින් කිලෝමීටර් ගණනට මිල නියම කිරීම, එමගින් බස් රථ අතර තරගයක් ඇති නොවීම, ප්‍රමාද වී සෙමින් ධාවනය වැළැක්වීම, යාචකයන්ගෙන් මගීන්ට බාධා නොවීම, කොන්දොස්තරවරුන්ගේ ආචාරශීලී කතාබහ, මුදල් අවභාවිතය නතර වීම, කප්පම්කරුවන්ගේ ගැටලු නැතිවීම සහ මගීන්ට සහන ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමට හැකි වීම හරහා බස් හිමියාට 25%ක මුදල් ඉතිරියක් සහ දිවයින පුරා බස් රථවලින් එකතු කරන කප්පම් මුදල් රුපියල් කෝටි 20ක් ඉතිරි වීම ඇතුළු සහන රුසක් ලැබෙන බවද මේ හරහා රියැදුරන් සහ කොන්දොස්තරවරැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැකීම ද සිදුවන බවද පෙන්වා දෙනු ලැබ තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර