
පිළිකාව යනු ජීවිතය අත්හැර දැමීමක් යැයි බොහෝ දෙනා පවසති. පිළිකා රෝගීන් ඉතා අසරණය. ඔවුන් විඳින පීඩාව වේදනාව දැනෙන්නේ ඔවුන් ප්‍රතිකාර ලබන වාට්ටුවකට ගිය විටදීය. ජීවිතයේ යථාර්ථය දැකගත හැකි වන්නේ එහිදීය.
පිළිකා රෝගීන් මහනුවර ශීක්ෂණ රෝහලේ ඔවුන් සඳහාම වෙන්වූ වාට්ටුව තුළ විඳින දස දුක මේ රටේ ඇතැම් පාලකයන් නොදන්නවා නොවේ. ඔවුන්ට හරි හැටි නිදාගන්නටවත් මෙම රෝහලේ ඉඩ පහසුකම් නැත. එක ඇඳේ රෝගීන් තිදෙනකු නිදා ගන්නේ මෙම පිළිකා වාට්ටුවේ පවතින ඇඳන් හිඟකම සහ එම පිළිකා රෝගීන් සඳහා ප්‍රමාණවත් වාට්ටු ගොඩනැගිල්ලක් නොමැති නිසා බව රෝහල් පාලනාධිකාරියෙන් දැනගන්නට ලැබිණි.
අංක 49 වශයෙන් වෙන්කර ඇති මෙම වාට්ටුව තුළ පහසුකම් ඉතා සීමිතය. රෝගීන්ට ආහාර ගැනීමට වෙන්කර ඇත්තේ කුඩා කාමරයකි. වැසිකිළි පහසුකම් හා නාන කාමර පහසුකම් ගැන කිව නොහැකි තරම්ය. මරණය කොයි මොහොතේ ළඟාවන්නේදැයි සිතමින් එම වාට්ටුවේ ප්‍රතිකාර ලබන අසරණ පිළිකා රෝගී කතුන්ට රෝහලේ වෛද්‍යවරු හෙද හෙදි කාර්ය මණ්ඩලය තමන්ට හැකි පරිදි සේවාව සලසති.

මෙම වාට්ටුවේ අසරණය පිළිකා රෝගීන්ට වාට්ටුව තුළ එහා මෙහා ඇවිද ගැනීමටවත් නොහැකි පරිදි රෝගීහු පිරී ඉතිරී සිටිති. මහනුවර ශීක්ෂණ රෝහලේ අංක 49 කාන්තා පිළිකා වාට්ටුව තුළ අසරණ පිළිකා රෝගී කතුන් හරිහැටි නින්දක් නැතිව කුඩා ඉඩකඩක දහදුක් විඳිති. ජීවිතයෙන් සමුගන්නට අවස්ථාව උදාවන තෙක් මරණය පෙනි පෙනී ජීවත් වන මේ අසරණ රෝගීන්ට මරණය ළඟා වනතෙක් කිසියම් පහසු ගොඩනැගිල්ලක ප්‍රතිකාර ගන්නට අවස්ථාව උදානොවීම ගැන රෝගීන්ගේ ඥාතීහු පාලකයන්ට දැඩි ලෙස දොස් කියති. මෙම වාට්ටු ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක පහසුකම්ද වැසිකිළි පහසුකම්ද ඉතා ‘අන්ත’ තත්ත්වයක පවතියි. රෝගීන්ට ආහාර ගැනීමට වෙන්කර ඇත්තේ ඉතා කුඩා කාමරයකි.
අති විශාල කාන්තා රෝගීන් සංඛ්‍යාවක් රඳවා තිබෙන මෙම පිළිකා වාට්ටුව සිහිගන්වන්නේ හිට්ලර් ඒකාධිපති පාලකයාගේ සමසේ සිර කඳවුරක් බව මෙහි යන එන ජනතාව පවසන්නේ හිට්ලර්ගේ චරිතය ඇතුළත් චිත්‍රපටි දර්ශනවල සිර කඳවුරු දුටු බව පවසමිනි.
ලංකාව පුරා විසිරී සිටින පිළිකා රෝගීහු මහනුවර ශික්ෂණ රෝහලට පැමිණෙති. ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිළිකා රෝගීන් සඳහා අංග සම්පූර්ණ පිළිකා රෝහලක් මහනුවර හදන බව පවසමින් වසර ගණනාවක් තිස්සේ මහනුවර නගරය තුළ මුදල් එක්රැස් කෙරිණි. මහ ජනතාව ද මෙම කටයුත්තට මුදල් පරිත්‍යාග කරති. එහෙත් පිළිකා රෝගීන්ට නිදහසේ ප්‍රතිකාර ලබන්නට ඔවුන් බලන්නට යන එන ඔවුන්ගේ ඥාතීන්ට පහසුවේ යා හැකි ස්ථානයක, සුදුසු ගොඩනැගිල්ලක මෙම රෝගීන් රඳවා තබා ප්‍රතිකාර ලබාදීමට රෝහල් පාලනාධිකාරිය කිසියම් අවධානයක් යොමු කළ යුතු බව මහජනතාව පවසති.
මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් මෙම පිළිකා රෝගීන්ගේ තත්ත්වය සහ එම වාට්ටුවේ දුෂ්කරතා පිළිබඳව විමසූ අවස්ථාවේ අධ්‍යක්ෂවරයා මෙසේ කීය.
“නව පිළිකා රෝහල ප්‍රතිකාර ඒකකය මේ දිනවල හදාගෙන යනවා. මහල් 10ක් පමණ වන මේ වාට්ටු සංකීර්ණය ලබන වසර අවසානයේ රෝගීන්ගේ ප්‍රයෝජනයට ගත හැකි වේ යැයි විශ්වාස කරනවා. දැනට මිලියන 600ක් වියදම් කර තිබෙනවා. මෙම නව මහල් පිළිකා රෝග ප්‍රතිකාර සංකීර්ණ ගොඩනැගිල්ල මිලියන 1500ක ව්‍යාපෘතියක්. ඉන්පසු පිළිකා රෝගීන්ට මෙහි සේවාව ලබාගත හැකියි.”
►ජේ. ඒ. එල්. ජයසිංහ