
බෙත්ලෙහෙම් පුරයෙහි පුංචි ගවලෙනක කිතු සමිඳාණන්ගේ උපත සිදුවූ අතර එදා සිට වසරක් පාසා නත්තල සමරන දා සියලු කතෝලික බැතිමතුන් ගවලෙනට ලබාදෙන්නේ සුවිශේෂී තැනකි.
ශ්‍රී ලාංකික කතෝලික බැතිමත්හුද නත්තල ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරති. දෙසැම්බර් මාසය ලබනවාත් සමඟම සීතලත් සමඟ හමායන මඳ සුළඟ ශ්‍රී ලංකාවටද ඒ අසිරිය කැන්දාගෙන එයි. එතැන් සිට ශ්‍රී ලාංකික කතෝලික ජනතාව මේ අසිරිමත් දිනයට සූදානම් වෙති.
නත්තල් කාලයටම ආවේණික වුණු නත්තල් ගස මෙකල සුවිශේෂී තැනක් ගනී. අතීතයේදී බොහෝ බැතිමතුන් නත්තල් ගස සඳහා ස්වභාවික නත්තල් ගසක් යොදාගත්තද වර්තමානයේදී ඔවුන් ලබාගනු ලබන්නේ ප්ලාස්ටික් නත්තල් ගසකි. විවිධ ප්‍රමාණවලින් යුත් මෙම ප්ලාස්ටික් නත්තල් ගස ප්‍රයෝජනයට ගෙන වසර අවසානයේදී නැවත අසුරුවා එළඹෙන නත්තල වෙනුවෙන් පරිස්සම් කරති. නමුත් ස්වභාවික නත්තල් ගසෙන් ලැබෙන අපූර්වත්වය මෙන්ම ඒ මිහිරි සුවඳ මෙවැනි ප්ලාස්ටික් ගසකින් ලැබෙන්නේ නැත.

කොළඹ පිටකොටුව වීදියක් වීදියක් පුරාවට අද මෙවැනි නත්තල් ගස් බොහෝමයක් දක්නට ලැබුණි. විවිධ උස ප්‍රමාණවලින් යුත් මෙම නත්තල් ගස් විවිධ මිල ගණන්වලින් යුක්තය.
“අද ඉතින් මේවා තමයි බිස්නස් එක. ගෙදර ගෙනිච්චා.. සවිකළා. එච්චරයි. ඉස්සර තමයි ගස් කපලා අතු කපලා නත්තල් ගස් විකුණුවේ. අද නත්තල් ගහට ඕන කරන හැමදෙයක්ම මෙතන තියෙනවා..”
පිටකොටුව පදික වේදිකාවේ නත්තල් ගස් විකුණමින් දවස ගෙවාගන්නට උත්සාහ දරන හෙන්රි ජයවර්ධන දේශයට එසේ පැවසීය.
“මේක එච්චර ලේසි ගේමක් නෙමේ. මේ සීසන් කාලෙට මුළු පිටකොටුවටම නත්තල් තමයි. හැමෝම නත්තල් බඩු බිස්නස් එක තමයි කරන්නේ. ඉතින් තරගේ වැඩියි. නත්තල ඉවර වුණාට පස්සෙ මේ බඩු ටික අකුලාගෙන ගෙදර ගොඩගහන්න වෙනවා. ඊටපස්සෙ ඉතින් තවත් මොකක් හරි බිස්නස් එකක් කරනවා. මේක කරන එක ලේසි නැහැ. මේ දවස්වල වහින්නෙ නැති හින්දා හොඳයි. ඒත් ඉතින් මේ ගිනිගහන අව්වේ බිස්නස් කරන එකත් මාරම මාර ගේමක් තමයි...” ඔහු පවසයි.
පිටකොටුව වීදියක් වීදියක් පාසා නත්තල් ගස් විකුණති. නත්තල් ගස සරසන්නට විදුලි බල්බ තවත් පේළියක විකුණති. පුංචි ගවලෙන්, ජේසු බබාගේ, මරියතුමියගේ අනුරුවවල් තවත් වෙළෙඳුන් පිරිසක් විකුණති. නත්තල් සීයා, නත්තල් සීයාගේ පිනිමුවන් රුළ, කරත්තය, තවත් තැනක ගොඩගැසී ඇත. ඇතැම්හු පොරකමින් මේ විසිතුරු ලෝකයේ සැරිසරති. ඔය අතරේ පිටකොටුවේ සිටින සොරැන්ටද මෙම පොරකෑම රජ කෑමකි. ඔවුහු සිතූ සිතූ හැටියට නත්තලට සැරසෙන මිනිසුන්ගේ මුදල් පසුම්බියටද එබිකම් කරති.
“කොහොමද බිස්නස්?”
අපි ඇසූ ප්‍රශ්නයට හෙන්රිගෙන් ලැබුණේ මඳ සිනහවකි.
“මේ පේනවා නේද..? හැමතැනම නත්තල්. ඉතින් බිස්නස් එකත් බෙදිලා යනවා. අනික ගිය අවුරුදුවල ගෙනිච්ච නත්තල් බඩු තමයි මේ අවුරුද්දෙත් පාවිච්චි කරන්නෙ. තව එකක්.. අද රටේ තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට නත්තල සමරන්නත් එපාවෙලා. අද මිනිස්සුන්ට නත්තල් නෙමේ නට්ටම් වෙලා ඉන්නේ.” යැයි ඔහු පැවසීය.

සෙනග අතරේ තම පුංචි දියණියත් ළංකරගෙන නත්තල් සැරසිලි තෝරන තැනැත්තියක් අපට මුණගැසුණි.
“අපි දෙන්නා ආවේ පානදුරේ ඉඳන්. මෙන්න මෙයාට ගවලෙනක් හදන්න ඕනෙලු. අපි බෞද්ධ. ඉස්සර අපිත් පුංචි ගවලෙනක් නත්තලට හදනවාමයි. හැබැයි ඉතින් අද කාලේ වගේ මේ විසිතුරු බඩු ඒ කාලේ තිබුණේ නැහැ. සමහර කාලවලදී ෆාම් ගහට ලයිට් වැලක් එල්ලලා ඒක යටින් පිදුරු තියලා ගවලෙනක් තමයි අපි සෙල්ලම් ගවලෙනට හැදුවේ. මට මතකයි එක අවුරුද්දක අපි පුංචි ජේසු බබාට තැබුවේ මගේ නංගිගේ ප්ලාස්ටික් තට්ට බෝනික්කාවයි. ඒ බෝනික්කට සුදු රෙදි කෑල්ලක් ඔතලා අපි පිදුරු ගොඩක නිදිකෙරෙව්වා. අද නම් ඉතින් ජේසු බබාගේ ඕන ඕන ප්‍රමාණවල අනුරුවවල් තියෙනවා. ගිය පාර දුවට ඒ පුංචි ගවලෙනක් අරගෙන දුන්නා. ඒ නිසා මේ පාර ගවළෙනක් ඕනවෙන්නෙ නැහැ.” රංජිනී මහත්මිය දේශයට පැවසීය.
එය සැබෑවකි. නත්තල යනු කතෝලික බැතිමතුන්ගේ උත්සවයක් පමණක් නොවේ. බොහෝ බෞද්ධ නිවෙස්වලද වර්තමානයේදී නත්තල් ගස සරසති. පුංචි ගවලෙනක ජේසු බබා තබති. කතෝලික බැතිමතුන් වෙසක් පොහොයට වෙසක් කූඩු තනනවා නම් නත්තල වෙනුවෙන් බෞද්ධයන් නත්තල් ගසක් සැරසීම වරදක් නැත.
“මේක ඉතින් මේ කාලෙට විතරක් තියෙන බිස්නස් එකක්. නත්තල ඉවර වුණාට පස්සෙ බිස්නසුත් ඉවරයි. ඉතින් ඒ කාලෙට උගුරේ ලේ රහ එනකම් කෑගහමින් පිටකොටුවේ බිස්නස් කරනවා. වෙන මොනව කරන්නද..? මේ බඩුවල දිස්නෙ තරම් අපේ ජීවිත දිස්නෙ ගහන්නෙ නැහැ. හැමෝම ඇවිත් බඩු කේවල් කරනවා. කියන ගාණකට සද්ද නැතිව සල්ලි දීලා යන්නෙ එහෙමත් කෙනෙක් තමයි. හැමෝම බලන්නෙ රුපියලක් හරි අඩු කරගන්නයි. මේ එක කෑල්ලකින් එහෙමට කියල අපිට ලාභයක් නැහැ. මේ කාලේ එහෙමට කියලා ලොකු බිස්නස් එකක් නැහැ.” යැයි පිටකොටුවේ නත්තල් සැරසිලි වෙළෙඳාමේ යෙදෙන ගුණසිරි මහතාද අදහස් දැක්වීය.
දෙහිවල ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ගවලෙන් වෙළෙඳාමෙහි යෙදෙන පුබුදු සංජීවද තම අදහස් දේශයට පැවසීය. පුබුදුගේ වෙළෙඳාමෙහි විශේෂත්වයක් ඇත. ඔහු විකුණන ගවලෙන් ලීයෙන් සහ පිදුරුවලින් නිර්මාණය වී තිබීමය.
“අපි මේ වෙළෙඳාම කරන්න පටන් ගත්තෙ මීට අවුරුදු පහළොවකට කලින් ඉඳන්. මම බෞද්ධ කෙනෙක්. මම පදිංචිවෙලා ඉන්නෙ මොරටුවේ. මේ ගවලෙන් හදන්නෙ මගේ යාළුවෝ. මේක දකින තරම් ලේසි, ලස්සන රස්සාවක් නෙමේ. නත්තලට තව දවස් කීයද තියෙන්නෙ. ඉතින් මේ දවස් ටිකට මේ ටික කොහොම හරි විකුණලා ඉවරවෙන්න ඕනෙ. ඉතිරිවන ඒවා පැක් කරලා ආයේ ලබන අවුරුද්දට විකුණන්න තියාගන්න වෙනවා. හැබැයි ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමේ. මෙච්චර බඩු තොගයක් තියන්න ගෙදර ඉඩ නැහැ. අනික මේවා පැක් කරද්දී කැඩෙනවා. සවුත්තු වෙනවා. ඉතින් ඒ හැම පාඩුවක්ම විඳ දරාගන්න ඕන...” යැයි පුබුදු පැවසීය.
“මේ අවුරුද්ද ලාභද..?”
අපි නැගූ ප්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

“තවම ඉතින් එහෙම කියන්න බැහැ. දවසේ බිස්නස් එකනෙ.. බොහොම අමාරුවෙන් ගැටගහගෙන යනවා. නත්තල ඉවරවෙද්දී ලාභ වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. ඒ හැමදෙයක්ම බාරගන්න බලාගෙන තමයි අපි මේ බිස්නස් එක කරන්නෙ. අද ගොඩක් දෙනා ප්ලාස්ටික් ඒවා තමයි ගෙවල්වලට අරගෙන යන්නේ. ඒකෙන් මේකට බිස්නස් අඩුවුණා තමයි. හැබැයි ඉතින් හැම එකක්ම බිස්නස් තමයි. දැන් හැම එකක්ම චීනෙන් තමයි ගෙන්වන්නෙ. ඔය ක්‍රමය නතර කරන්න නම්, රට දියුණු කරන්න නම් මේ දේශීය කර්මාන්තවලට වටිනාකමක් දෙන්න ඕනෙ. අද එහෙම වටිනාකමක් මේ කර්මාන්තවලට ලැබිලා නැහැ. අද මම මේ බිස්නස් එක කරන්නෙ සියයට පහළොවේ පොලියට සල්ලි අරන්. මිනිස්සු දකින දේ නෙමේ අපේ ජීවිතවල ඇත්ත. මේ විසිතුරු දේවල්වල දකින සුන්දරත්වය අපේ ජීවිතවල නැහැ. අපි මේ බිස්නස් එක කරන්නෙ පුදුම දුකක් විඳලා. අව්වට පිච්චෙනවා. හරියට කෑමක් නැහැ. වතුර බිබී මේ කරන්නෙත් රස්සාවක් තමයි.” යැයි පුබුදු තම අසරණකම දේශයට පැවසීය.
පුබුදු බෞද්ධයෙකි. ජීවනෝපාය ලෙසින් ඔහු ත්‍රීවිලර් රියැදුරෙකි. නමුත් මාස කිහිපයක හිඟ වාරික නොගෙවීමෙන් පුබුදුගේ ත්‍රීවිලරය ෆිනෑන්ස් ආයතනයෙන් රුගෙන ගියේය. පුබුදුගේ වචනවලින් පැවසුවේ “මැර කණ්ඩායමක් මට හොඳටම ගහලා වාහනය ඉස්සුවා..” යනුවෙනි. සෑම වසරකදීම පුබුදු දේවස්ථානය ඉදිරිපිටදී පිදුරු, ලී යොදා සාදන ගවලෙන් වෙළෙඳාමේ නිරත වූවේය. නත්තල අවසන් වූවාට පසුව ඔහු සුපුරුදු පරිදි ත්‍රීවිලර් හයර් කළේය. නමුත් මෙවර නත්තල අවසන් වූවායින් පසුව පුබුදුගේ හෙට දවස කෙබඳු වේද..? එය ඔහුටම ඇති ගැටලුවයි.
►දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ