2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

මන්න පෙට්ටියත් ඉනේ බැඳගෙන මල තැලීමට යන කඹේ ගමන

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 683

එදවස මේ වෙරළ ගම්මානයේ ඕනෑම තැනක සිට ඉහනිකට උස්සා ඉහළ බැලූ කළ එකින් එක ඈඳන ලද පොල් ගස් නෙත් මානයේ විය. පොල් රුප්පාවන් යා කළ අතුරැ මං ගමෙහි වූ මංමාවත් පමණට වඩා විසල් සංඛ්‍යාවක් විය. පොල් රුප්පාවල බිම තැන්නේ තණකොළ වැවී තිබිණි. තැනක පොල් ගස්වල ගවයන් බඳිනු ලැබීය. තවත් තැනක වැල්ලේ බිම්තඹරු වැල් යායේ පිපුණු මල් ගම්මානයට ගෙන ආවේ අපූරු චමත්කාරයකි. නන්දිරිස් මුදලාලි මහතාගේ මතක අතරින් අප ඒ අතීතය වෙත ඇවිද යමු.

අද රා ගස්මදින්නෝද රා කර්මාන්තකරුවෝද සිරිලකෙහි ශේෂව සිටින බව සැබෑවකි. එහෙත් වසර පනහකට හැටකට ඉහතදී රා කර්මාන්තයේදී භාවිත කළ විධි හා දෑ අදට වඩා බොහෝ සෙයින් වෙනස්ය. පෙරදී අප අතුරු මං සාදාගෙන මල් තැලීම අරඹන්නට ගස් මදින මිනිසුන් සූදානම් වූ අයුරු ක‍තාබහ කළෙමු. දැන් කියන්නට යන්නේ අලුතින් මලක් තැලීමේ සිට රා වෑස්සීම දක්වා කතන්දරයයි. ඉදින් අපි නැවත අතීතය වෙත යාත්‍රා කරමු.

එකල සිටියේ ආරෝහපරිණාහ දේහධාරී මදින්නෝය. සරම කැහැපට ගසා තදකොට ගැටගසා මන්නා පෙට්ටිය ඉන බැඳ සිටි එවන් අයෙක් වාඩියේ සිට පොල් කට්ටියේ හැර ගසක් ළඟට පැමිණියේය. ඔහුගේ මන්නා පෙට්ටියේ පිහි දෙකකි. ඉන් එකක් මල් මන්නයයි. අනෙක තරමක් කුඩා පිහියකි. සියඹලා ලීයෙන් තැනූ මල් තැලුමක්ද ඔහු සතුවූයේය.

මල තලන්නට හැර ගසින් අතුරු මගට ගොඩවන්නට පෙර හේ පොල් ගසට වඳී. එය රා කර්මාන්තයේ නියතු ගස් මදින පැරැන්නන්ගේ චාරිත්‍රයක් වූයේය. තවද ඔවුහු කිසිවිටක සිය රාජකාරිය අහවර වනතුරු රහ මෙර පානය නොකළෝය. පරිස්සම මෙන්ම ගෞරවය මේ පිළිවෙත් තුළ මුහුව තිබුණේය. පොල් ලෙලි තබා හැර බැඳ ඇති ගස දිගේ අතුරු මඟට පිවිසි ඔහු පය පරිස්සමට අඩි තබා අතුරේ ඇවිද ගියේය.

ඒ අනුව මේ මිනිසා අලුත් මල් තැලීමට ඇති ගසට ගොඩවිය. ගස උඩ හරිබරි ගැසී මහ පොළොවට බඹ ගණනක් ඉහළින් ඔහු සිය රාජකාරියට සැරුසෙයි. මල් තැලුම ගෙන යම් රිද්මයකට අනුව ඔහු පොල්මල තැලුවේය. එය සාමාන්‍යයෙන් හීන්සීරුවේ කරන තට්ටුවකි. මේ විසල් රා කර්මාන්තයේ පළමු ප්‍රයාමයයි. මලක් තැලීම යන්න ජනවහරට එකතුවන්නේ මේ කටයුත්ත නිමිත්තක් කොට ගෙනය.

ඉදින් මෙසේ මල් තලන්නේ රා ලබාගැනීමට උචිත වන පරිදි පොල්මල සකසා ගැනීමේ අරමුණෙනි. ඒ අනුව ඇරඹුමේ සිට දින හතක් පමණ මල තැලීම සිදුකළ යුතුවේ. අවසානයේ මලේ මොහොට්ටුව හෙවත් ඉහළ කොටස යම් පමණකට තලයි. මෙසමයේ කරන රාජකාරි අතිශයින් වැදගත්ය. ඉදිරි මාස කිහිපයක කර්මාන්තයෙන් යමක් උපයන්න වාසනාව හා වරම් ලැබෙන්නේ මේ කටයුත්තේදී ගස් මදින්නෙකු දක්වන දක්ෂතාවය මතය. එහෙයින් දිනපතා මෙම ගස් කට්ටිය මදින තැනැත්තා එම රාජකාරි අකුරටම ඉටුකරයි. සතියක හමාරක ඇවෑමෙන් රා ගැනීමට සුදුසුවන තත්ත්වයට පොල්මල පදම්වීම් සිදුවේ.

මින් අනතුරුව සිදුකිරීමට ඇත්තේ මලට බැමි දැමීමයි. මල කැපීමට පෙර මල වෙලීමක් මෙහිදී සිදුකරනු ලබයි. එකල පොල්අත්තේ පිට පැත්තේ පට්ටයක් ගසා එම පට්ටය ආධාරයෙන් මල වෙලීම සිදුකර තිබේ. පසුකලෙක බොහෝදෙනා ඊට ලණු යොදා ගත්තේ පහසුව තකාය. නමුත් ස්වාභාවික මෙන්ම සාර්ථකම ක්‍රමවේදය වූයේ පැරණි ක්‍රමයයි. කෙසේ හෝ රා ලබාගන්නා තෙක් මල ආරක්ෂා වුණේ මේ බැමි යෙදීම හරහාය.

මල කැපීම රා කර්මාන්තය විෂයෙහි අතිශය වැදගත්ම රාජකාරිය වූයේය. එයට ද අත්දැකීම් මෙන්ම දක්ෂතාවය ද ඉතා වැදගත් විය. මෙහිදී පොල් මලේ අගිස්සෙන් මල කැපීම සිදුකරනු ලබයි. එසේ කපනු ලබන මල පහළට නවා පොල් කොළ හතරක් ආධාරයෙන් ගසේ යට පිත්තකට තබා බැඳීම එකල සම්ප්‍රදාය විය. මුට්ටිය එල්ලීම සිදුවන්නේ එලෙස නවා බඳින ලද පොල් මලටය. සතියක හමාරක රාජකාරි කටයුතුවලින් අනතුරුව මලේ කඳුළ වෑහෙන්නට පටන් ගන්නේ එවිටය. මලේ කඳුළ වෑස්සීම යනු අලුතින් මදින මලකින් රා බිංදු මුට්ටියට වැටීම ආරම්භ වීම හැඳින්වීමට පැරුන්නන් භාවිතා කළ වදනකි.

දැන් පොල් මලෙන් රා වෑහෙන්නට පටන්ගෙන තිබේ. මුට්ටියට එක්කාසු වන රා ගස මුදුනේ සිට බෑම දිනපතා සිදුකළ යුතුය. එමෙන්ම මල කැපීම ද නැවත නැවත සිදුකළ යුතුවේ. මලේ රා වෑස්සෙන මුහුණත පිහියෙන් යන්තමට කපා දමා දැමීම මෙහිදී සිදුවෙයි. මල මෝරනවිට කුඩා පිහිය වෙනුවට මන්නය භාවිතයට ගනී. මුට්ටියට වෑස්සෙන රා ලබු කැටයට දමා යොතක් ආධාරයෙන් ගස මුලට බෑම සිදුකරයි. මෙහිදී පෙර කීවා සේම එම රා පහළ සිටින අය විසින් එකතුකර ගැනීම සිදුකරනු ලබයි.

මෙකල මොරගල්ල ස්කාගාරයේ සිටි පීප්ප බාස් ලවා රා එකතු කිරීමට අවශ්‍ය ලී බාල්දි සකසා ගැනීමට නන්දිරිස් මුදලාලි මහතා කටයුතු කරගෙන ගොස් ඇත. පසු කලෙක මෙම කාර්ය මිල අධික මෙන්ම වෙහෙසකර වූවක් විය. කොළඹින් ලීටර් විස්සේ ලොකු බාල්දි ගෙන්වා ගැනීමට පසුකලෙක ඔහු කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.

කෙසේ නමුත් අලුත මලක් තැලූ පසු පළමුව වැස්සෙන්නේ මී රාය. ඒවා පැණි රසයෙන් යුතුය. එමනිසා මල තලා ලැබෙන රාවලින් පළමු පංගුව වෙන්වන්නේ පොල් පැණි සෑදීමටයි. මුලින්ම මලෙන් ලැබෙන මී රා වළඳේ දමා ලිප තබා උණු කරමින් පොල් පැණි සකසාගනී. එම කර්මාන්තයද මුදලාලි මහතා තම නිවස ඇසුරේ පවත්වාගෙන ගොස් තිබේ. ඒ සමයේ ගම්මුන්ගේ රස නහර පිනාගිය බොහෝ රසකැවිලි සැදුණේ මේ පොල්පැණි වලින්ය. පැණි මෙන්ම විනාකිරිද නිර්මාණය වූයේ රා කර්මාන්ත ඇසුරිනි. එකදහස් නවසිය පනස් ගණන්වලදී රා කර්මාන්තයට අතගසා බේරුවල පුරයේ ප්‍රකට ව්‍යාපාරිකු පවුලක සිටින අප කතානායක නන්දිරිස් මුදලාලි මහතා මෙම කර්මාන්තයේ සියලු අංශවලට දායකත්වයක් ලබා දී තිබේ.

රා කර්මාන්ත දිවයිනේ බටහිර වෙරළකරයෙන් ක්‍රමයෙන් ඈත්වී ගියද සිත මත් කරවන රසවත් කතා මේ ගම්ගොඩැලිවල තවමත් ශේෂව තිබේ. එවන් තවත් රසවත් කතා සමඟින් රා කර්මාන්ත මේ පෙදෙසින් වියකී ගිය අයුරැ කියවෙන රා කතාවේ අවසාන කොටස ලබන සතියට.

චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය: සෙනේරියා රණසිංහ, නන්දිරිස් සිල්වා මහතා සහ රානි අබේලතා මහත්මියට.