
කුඩු මාෆියාවේ තෝරු මෝරු අතර හාල්මැස්සන් වගේ මේ රටේ ජාවාරම කරගෙන යන හෙංචයියන් ප්‍රමාණය 86,000 ඉක්මවා සිටිති. 2018 වර්ෂයේ ආරම්භයේ සිට නොවැම්බර් මස අවසානය දක්වා පොලීසියේ දත්ත වාර්තා මේ බව සනාථ කරයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය අමුතු කරමින් කුඩු ප්‍රති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවට ද කරුණු ඇත. ගොඩබිම මෙන්ම රට වටා මුහුදු තීරය හා ජාත්‍යන්තර මුහුදු සීමාවේත් මහා පරිමාණයෙන් කුඩු ජාවාරම සිදු කෙරෙන බවට සාධක සහිතය. ලංකාවේදී කොටු වූ විශාලතම කුඩු තොගය මෙන්ම ආසියාවේදී අත්අඩංගුවට පත් විශාලතම කුඩු තොගය මෙරටදී අත්අඩංගුවට ගැනුණේ තත්ත්වය ඉතිහාසගත කරමිනි.
මේ වසර මුල සිට පසුගිය නොවැම්බර් 14 දක්වා කාලය තුළ පොලීසිය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝ 189 ග්‍රෑම් 422ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට සම්බන්ධ සැකකරුවන් 37571ක් සමඟය. ගංජා කිලෝග්‍රෑම් 4272ක් සැකකරුවන් 48250ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර කොකේන් කිලෝග්‍රෑම් 13ක් සැකකරුවන් 60 දෙනකු සමඟ ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අනාවරණය කළේය.
දෙසැම්බර් මාසයේ ගෙවී ගිය දින 18 තුළදී පමණක් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයන් 35 දෙනකු අත්අඩංගුවට පත්ව ඇති අතර එම පිරිස තුළ කාන්තාවන් 7 දෙනකු සිටින බව පොලීසිය සඳහන් කරයි.
මේ පිරිස අක්මීමන, වීරගුල, වව්නියාව, ගල්කිස්ස, කැලණිය, පෑලියගොඩ, පානදුර, මට්ටක්කුලිය, මොරගහහේන, අඟුලාන, ලුනාව, මෝදර, එගොඩ උයන, බොරැල්ල, බදුල්ල, මුල්ලේරියාව, වැලිකඩ සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශචවලදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සැකකරුවන් 6 දෙනකු 11 වැනිදාත් සැකකරැවන් 4 දෙනකු 10 වැනිදා සහ සැකකරුවන් 3 දෙනකු ඉකුත් 8 වැනිදා දිනයන්හිදී හෙරොයින් සමඟ කොටු කරගෙන තිබුණි. ඒ අතර පසුගිය 6 වැනිදා කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 504ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.
එමෙන්ම නීති විරෝධී මත්පැන් ගෝඩා මිලිලීටර් 2848500ක් අඩංගු බැරල් 15ක් සමඟ එම මත්පැන් මිලිලීටර් 14000ක් අඩංගු බෝතල් 20ක් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2 වැනිදාය. පසුගිය 8 වැනිදා අයිස් නැමැති විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 109යි මිලිග්‍රෑම් 750ක් මරදාන අබේසිංහාරාම පාරේදී අත්අඩංගුවට ගෙන තිබිණ.
ලංකා ඉතිහාසයේ අත්අඩංගුවට පත් දෙවැනි විශාලතම මත්කුඩු තොගය පසුගිය 5 වැනිදා බේරුවල හා බලපිටිය අතර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කිලෝ 231යි ග්‍රෑම් 54ක් වන හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 277.8ක් බවට වාර්තා විය. පාකිස්ථානයේ සිට නෞකාවකින් රැගෙනවිත් තිබූ හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදේදී බහුදින යාත්‍රාවකට පටවා ලංකා මුහුදු සීමාවට පැමිණි පසු වෙනත් යාත්‍රාවකට පැටවීමෙන් අනතුරුව බේරුවල දක්වා රැගෙනවිත් තිබුණි. ජාවාරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ජාත්‍යන්තර මට්ටමින් සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු රැසක් අනාවරණය වූ අතර සීෂෙල්ස් රාජ්‍ය සඳහා මෙරටින් ගංජා හා හෙරොයින් බෙදාහරින බවට හෙළි වී තිබිණ. ජාවාරම හෙළිවීමත් සමඟ ප්‍රධාන සැකකරුගේ බේරුවල නිවස අසළ කැලිකසල දැමූ ස්ථානයකට ඩිෆෙන්ඩර් රථයක් පැමිණ එහි තිබූ යමක් අඩංගු ගෝනි කීපයක් රැගෙන ගිය බවට ද තොරතුරු වාර්තා කෙරිණි. රුපියල් කෝටි 58ක් වටිනා හෙරොයින් කිලෝ 32යි ග්‍රෑම් 329ක තොගයක් බංගලාදේශ ජාතික 23 හැවිරිදි තරුණියක සහ රුපියල් කෝටි එකහමාරක් වටිනා හෙරොයින් තොගයක් සමඟ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඉකුත් 15 වැනිදා අවස්ථා දෙකකදී සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.
පළමුව ත්‍රිරෝද රථයක ගමන්ගත් සැකකාර තරුණයන් දෙන්නා නුගේගොඩ - පාගොඩ පාරේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකළ තොරතුරු මත බංගලාදේශ තරුණිය අත්අඩංගුවට ගෙන තිබුණේ දෙහිවල පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරිපිට සිටියදීය. එම තරුණිය 23 හැවිරිදි අයෙකි. ඇය රත්මලාන දෙල්ගහපිටිය පාරේ කුලී නිවසක නවාතැන් ගෙන සිට ඇත. එම නිවස සෝදිසි කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 බැගින් අඩංගු පාර්සල් කේක් වර්ගයක නම සඳහන් ඇසුරුම් පෙට්ටිවල ගබඩා කර තිබී ඇත. සුර්ජෝ මෝනි නැමැති සැකකාර තරුණිය 2010 වසරේ සිට වරින් වර ලංකාවට පැමිණ ඇති බවද මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මත්කුඩු ජාලය හා සබඳතා පවත්වන්නියක බවට ද අනාවරණය වී ඇත.
2008 වසර සිට 2018 නොවැම්බර් 15 දක්වා මහාධිකරණවලින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව පුද්ගලයන් 96 දෙනකුට මරණ දඬුවම නියම කර ඇත. එහිදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම වූ පිරිස 275 දෙනෙකි.
►සමන්ත ප්‍රදීප් විල්තෙර