2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

අලි මරන්නේ දළ කපා ගන්නමද?

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

වන අලි සම්බන්ධයෙන් රට පුරා ඇතිවී ඇති මතවාද එකිනෙකට වෙනස්ය. කොළඹ සිට වනඅලි රකින්න විවිධ පුරසාරම් දොඩන අය එමටය. ඒ අතරට ගම් මට්ටමේ සිට වනඅලි රැකීම පිළිබඳව කතා කරන අයද නැතුවා නොවේ. විනෝදයට අලි බලන්න එන පිරිසට අලියා සුන්දර දසුනකි. කොළඹ සීතල කාමරවල සිට වනඅලි සංරක්ෂණ වැඩපිළිවෙළවල් ගැන කතා කරන පිරිසටද වනඅලියා සම්පතකි. එහෙත් වනඅලින් බහුලව සිටින, වනඅලින්ගෙන් නිතර නිතර බැටකන මිනිස්සුන්ට නම් අලියා කිසිදු අයුරකින් සුන්දර දසුනක් නොවේ. ඒ අන් කිසිවක් නිසා නොව වනඅලියා නිසා ගමේ මිනිසුන්ගේ ජීවිත සිය ගණනක් විනාශ වීම නිසා සහ දේපල විනාශ වීමය.

වනඅලියා රටට සම්පතකි. ඒ අතරිනුත් ශ්‍රී ලාංකික අලියාට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. වනඅලි කොතරම් සම්පතක් වුවත් මොවුන් රැකීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් තවමත් දක්නට නොමැති තරම්ය. පසුගිය කාලයේ ගල්ගමුවේ දළපූට්ටුවාගේ ඝාතනයෙන් පසු මුළු රටම කම්පාවට පත් විය. ඉන් නොනැවතුණු පිරිස් ඇතා වෙනුවෙන් දානමාන දී පින් පැමිණවීමද සිදුකළහ. දළපූට්ටුවාගේ ඝාතන සැකකරුවන්ට දඬුවම් ඉල්ලා පිරිසක් දෙවියන්ද යැද්දහ. එහෙත් ඒ පමණින්ම වනඅලි හෝ ඇතුන් ඝාතනය වීම නැවතී නැත. අප සොයා බැලිය යුත්තේ මෙලෙස ඇතුන් ඝාතනය වන්නේ කුමන කරුණක් නිසාවෙන්ද යන්නය.

මේ සම්බන්ධයෙන් අපි වනජිවී නිලධාරියකුගෙන්ද විමසීමක් කළේ මේ සම්බන්ධ වූ තොරතුරු ටිකක් ලබාගැනීමටය. එහිදී ඔහු පැවසුවේ මෙවන් කතාවකි.

“අප්‍රිකානු රටවල තරම් ඇත්දළ ජාවාරම්කරුවන් ලංකාවේ නැහැ. ඉතා අල්ප වූ පිරිසක් තමයි එහෙම සිටින්නේ. ඇත්දළ ලබාගැනීම වෙනුවෙන් ඇතුන් මැරූ අවස්ථා අප දැක තියෙන්නේ ඉතා අඩුවෙන්. බොහෝ වෙලාවට ඇතුන් හෝ අලින්ගේ ඝාතන  සිදුවන්නේ ඇත්දළ ලබාගැනීමටම නෙමෙයි. බොහෝ වෙලාවට දඩයක්කරුවන් අතින් තමයි වනඅලි වෙඩි කා මැරෙන්නේ. ඒකට හේතුව තමයි දඩයමේ යන අවස්ථාවලදී වනඅලි මුහුණට මුහුණ අසුවුණාම වනඅලියාගෙන් බේරීමට තමයි දඩයක්කරුවන් වෙඩි තියන්නේ. එහෙම සිදුවෙන වනඅලි මරණ රුසක් තියෙනවා. මහ කැලෑ තුළ වාර්තා නොවන අයුරින් සිදුවෙන ඇතුන් ඝාතන තියෙනවා. ජාවාරම්කරුවන්ගේ ඉලක්ක බවට පත්වන්නේ මහ කැලෑ තුළ සිටින ඇතුන් විතරයි.

අපි දන්න තරමට ඇත්දළ සඳහා ලංකාව තුළ නම් කියන තරමේ වෙළෙඳපොළක් නෑ. එහෙම කියන තරම් ඉල්ලුමකුත් නෑ. ඉහළ පැලැන්තියේ අය තුළ විශ්වාසයක් තියෙනවා ඇත්දළ දෙකක් නිවසක් තුළ තිබුණොත් නිවසට කිරි ඉතිරෙනවා සහ නිවසට සෞභාග්‍ය ඇතිවෙනවා කියලා. ඒ අනුව කොහේ හරි දඩයක්කරුවකුට හෝ වෙනත් අයකු අතට පත්වෙන ඇත්දළ තමයි අලෙවි කිරීම් සිදුවෙන්නේ. ඇතකු මැරැවම තවමත් අපේ රටේ තියෙන නීති මීට වඩා ශක්තිමත් විය යුතුයි වගේම වනඅලින් වෙනුවෙන් වෙනම කැලෑ වෙන්විය යුතුයි.

අනික තමයි වනඅලි කියන්නේ මිනිස්සු වගේ හැමතැනම ඇවිද යන පිරිසක් නෙමේ. වනඅලින් සඳහා යන්න එන්න වෙනම මාර්ග තිබුණා. අලි මාරුවෙන ස්ථාන වෙනම තිබුණා. අලිමංකඩවල් කියන්නේ ඒවට. අලියා මිනිස්සු වගේ දවස ගාණේ කැලෑ අල්ලගන්නේ නෑ. හැමතැනින්ම යන්නෙත් නෑ. අද වෙලා තියෙන්නේ මිනිස්සු කැලෑවට ගිය එක. ඒකයි මේ ගැටලුවලට මුල වෙලා තියෙන්නේ. වෙනදා කැලයට වෙලා කා බි සිටි අලින්ට අද ජීවත්වෙන්න මිනිස්සුත් එක්ක සටන් කරන්න වෙලා. තමන්ගේ අයිතිය ඉල්ලා අලි ටික ගමට එනකොට දළ තියෙන අලි ඇතුන් පවා ගමට එනවා. ඔන්න ඉතින් ඔතන තමයි ඇතාගේ ජීවිත ඉරණම ලියවෙන දවස. ඉතා සුළුතරයක් වූ පිරිසකට තමයි ඇත්දළවලට පෙරේතකම ඇතිවෙන්නේ. ඔවුන්ගේ ග්‍රහණයට අසුවුණොත් ඇතාගේ ඉරණම අවාසනාවන්ත වෙනවා. එහෙම නැතිව ගොවියන් හෝ දඩයක්කරැවන් කිසිදු අවස්ථාවක ඇත්දළ ලබාගැනීමට ඇතුන් මැරීම සිදුකරන්නේ නෑ.”

දැනට ලංකාවෙන් හමුවුණු විශාලතම ඇත්දළ යුගල ලෙස සැලකෙන්නේ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී සොයාගත් ඇත්දළ යුගලයි. එහි දිග මීටර් පහකට වැඩි වූ අතර බර කිලෝ 50කට වැඩිය. රුපියල් ලක්ෂ 60කට විකිණීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ අතටම හසුකර ගැනීමට හැකි වූයේ සැකකරුවන් 06 දෙනකු සමඟය.

කැලෑ කපා විනාශ කරන අන්තවාදී ඉඩම් කොල්ලකරුවන්ට ගහක කොළක හෝ වනසතකුගේ හෝ කිසිදු වටිනාකමක් නැත. ඔවුන්ගේ අරමුණ කීයක් හෝ මුදලක් සොයාගැනීමය. ඒ වෙනුවෙන් කොල්ලකරුවන් ඕනෑම දෙයක් කරන බව ඉතා පැහැදිලිය. ලංකාවේ ඇතුන්ගේ ගජමුතු නැතැයි යනුවෙන් වනසතුන් ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන් පැවසුවත් ඒවා විහිළු කතා වී තිබේ. කැලෑ කිසිවකුත් කපා නැත. වනජීවීන්ගේ කැලෑ සතුන්ට අහිමි වී නැතැයි වනජීවී නිලධාරීන් පැවසුවත් කැලෑ ඇතුළට වන්නට අක්කර සිය ගණනින් ඩෝසර් දමා එළි පෙහෙළි කර ඇතිබව ඉතා පැහැදිලිය. කැලෑ තුළට වී මිනිසුන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ නිලධාරීන් දැන සිටියත් ඒවා නොපෙනෙන ලෙස බොහෝ නිලධාරීන් සිටින්නේ ඔවුන්ටද දොළපිදේනි ලැබෙන නිසා බව නම් පැහැදිලිය.

ඇත්දළ සඳහා ඇතුන් මැරීමේ ජාවාරම ඉතා සූක්ෂමව සිදුකෙරෙන්නකි. එය ඒ තරම් ප්‍රසිද්ධ නොවෙයි. එකක් දෙකක් පමණක් කරළියට පැමිණෙයි. දළපූට්ටුවාගේ ඝාතනයෙන් පසුව තවත් එවැනිම ශෝචනීයම සිදුවීමක් පසුගිය දින වාර්තා වූයේ උඩවලව ප්‍රදේශයෙනි. ඒ උඩවලව වනෝද්‍යානයේ සිටි මුගලන් නැමති ඇත්පැටවාගේ ඝාතනයයි. උඩවලව තණමල්විල මාර්ගයේ උඩවලව ජාතික වනෝද්‍යානයට ආසන්න ස්ථානයකදී මෙම මුගලන් නැමති ඇත්පැටවා ඝාතනය කර දමා තිබුණේ එය දකින සියලු දෙනා කම්පාවට පත් කරමිනි. ඒ අන් කිසිවක් නිසා නොව මුගලන් ඇත්පැටවා වෙඩි කා මැරී වැටී සිටියේ සිය හොඬයෙන් කෑමට උනා ගත් තණකොළ මිටියද කටේ තිබියදීම වීමය. මුගලන් ඇතාගේ ඝාතනය වෙනුවෙන් පොලීසියේ අත්අඩංගුවට පත්වූයේ උක් වගාවක් මුරකරන ලද 51 හැවිරිදි මුරකරුවකුය. ඇතාගේ මරණය සම්බන්ධයෙන් ගම්වැසියන් පැවසුවේ නිතර මෙම ඇතා ගම්වැදීම හේතුවෙන් ගම්වැසියන්ගේ ජීවිත දැඩි අනතුරකට වැටී තිබූ බවය. ඇතාගේ මරණය සම්බන්ධයෙන් ගම්වාසීන් කිහිප දෙනකු හැරෙන්නට අන් කිසිවකුටත් එතරම් ශෝකයක් නොවුණේ සැබෑ ලෙසම ගම්වැසියන් වනඅලින්ගෙන් බැට කෑ පිරිසක් වීම නිසාවෙන් විය යුතුය. මියගිය මුගලන් ඇතාගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ උඩවලව ඇත්අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඇතාගේ හිසෙහි තිබී වෙඩිඋණ්ඩ දෙකක් සොයාගෙන තිබුණි. ඒවා විදුලි කණුවක ආධාරක කම්බියකින් කපාගත් කොටසකින් සකස් කර තිබුණු බව පරීක්ෂණ කණ්ඩායම් පැවසූහ. කෙසේ වෙතත් අත්අඩංගුවට පත් පුද්ගලයා පවසා තිබුණේ උක් වගාවට සිදුකරන හානිය ඉවසිය නොහැකි තැන ඇතාට වෙඩි තැබූ බවයි.

වනඅලි ගම්වැදීමෙන් සිදුවෙන හානිය ගොවියාට ඉවසිය නොහැකි බව සැබෑය. එය එසේ වුවත් ඔවුන් මරාදැමීම කිසිසේත් අනුමත කළ නොහැකිය. එපමණක් නොව ඇතුන්ගේ දළ ලබාගැනීමට හා ගජමුතු ලබාගැනීමේ අටියෙන් උන්ව ඝාතනය කිරීම ශිෂ්ට සම්පන්න සමාජයකට අනුමත කළ හැක්කක් නොවේ. බොහෝ විට සිදුවන්නේ ඇත්දළ සහිත ඇතුන් වනය තුළ මරා දමා ඉතා සූක්ෂම අයුරින් දළ ලබාගැනීමයි. මෙවැනි මෙහෙයුමක් සඳහා ජාවාරම්කරුවන් දින සති මාස ගණන් කැලය තුළ ගෙවාදමන බව නම් නොරහසකි.

මෙලෙස අකාලයේ මියයන අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තවමත් ලංකාවේ බලධාරීන්ට කවර හෝ වැඩපිළිවෙළක් නොමැති වීමද කනගාටුවට කරුණකි. ඇතකු මියගිය පසු සියලු දෙනා සතියක් දෙකක් ඒ ගැන කතා කළද ඉන් පසු මතකයේවත් නොමැත. වනජීවී නිලධාරීන් හිඟය, ඔවුන්ට පහසුකම් ප්‍රමාණවත් නැතැයි කියන කාරණය සුරංගනා කතාවක් මෙනි. වනජීවී බාරව පත්වෙන ඇමැති කියන්නේත් වනජීවී නිලධාරීන් කියන්නේත් එකම කතාවය. රට කරවන ඇත්තන් සිදුකළ යුතු දෑ නිසි පරිදි සිදුවන්නේ නම් මෙවැනි විපත් අසන්නට නොලැබෙනු ඇත.

පිටරටකින් නිතී විරෝධී අයුරින් මෙරටට ගෙන ඒමේදී රේගු නිලධාරීන්ට හසුව වසර තුනකට ආසන්න කාලයක් රේගුව බාරයේ තිබූ ඇත්දළ 359ක් පසුගිය දිනෙක ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ විනාශ කර දැමීමට බලධාරීහු කටයුතු කළහ. ඒ අන් කිසිවක් නිසා නොව ඇතුන් මරා සිදුකළ අපරාධයට වටිනාකමක් නොදෙන්නටය.

අලි ඇතුන් සම්පත් සේ තවදුරටත් ආරක්ෂා කිරීමට නම් වනසතුන්ට හිමි වනය ඔවුන්ට දිය යුතුය. කැලෑ පාළුවන් විසින් විවිධ හයියක්කාර දේශපාලනඥයන්ගේ හයිය පෙන්වා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අලිමංකඩවල් විවෘත කළ යුතුය. අණ පනත් තව තවත් ශක්තිමක් කළ යුතුය. බලධාරීන්ද කටින් බතල කොළ නොසිටවා සැබෑ ලෙසම මෙම ජාතික ප්‍රශ්නයට මැදිහත්ව විසඳුම් දිය යුතුය. ජාවාරම්කරුවන්ට වැට බැඳිය යුතුය. එසේ නොවන්නට ලංකාවේ අලි ඇතුන් ආරක්ෂා කිරීම සිහිනයක් පමණක් වනු ඇත.

►සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර