2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

උත්සව සමයේ පාරිභෝගික අධිකාරිය සීරුවෙන්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 226

උත්සව කාලවල වෙනත් සාමාන්‍ය දිනවලට වඩා පාරිභෝගිකයන් වෙළෙඳපොළ කරා ඇදී යාම කවදත් සිදු වූ දෙයකි. මෙවර ද කෙමෙන් වෙළෙඳපොළ පාරිභෝගිකයන්ගෙන් පිරෙන අයුරු දක්නට ඇත. තමාට කුමන ගැටලු තිබුණත් කෙසේ හෝ මුදලක් සොයාගෙන ඇඳුම් පැළඳුම් සහ ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට කවුරුත් යුහුසුළු වෙති. පාරිභෝගිකයන්ගේ මෙම කලබලකාරි බ‍වෙන් ප්‍රයෝජන ගන්නා කූට වෙළෙන්දෝ විවිධ සටකපටකම් යොදාගෙන ඔවුන් රවටා ගැනීමට මාන බලන අයුරු දක්නට ඇත.

පාරිභෝගිකයන්ට වෙළෙඳපොළේදී සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එකම ව්‍යවස්ථාවපිත ආයතනය වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. මෙම අධිකාරිය 2003 අංක 9 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කර තිබෙන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.

පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සැලසීම අධිකාරියේ පරමාර්ථය බව එහි තේමා පාඨයෙන් කියවේ. පාරිභෝගිකයා සවිබල ගැන්වීම වෙළෙඳපොළ විධිමත් කිරීම සහ තරගකාරීත්ව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම තම අරමුණ බව අධිකාරිය පවසයි. එසේම පාරිභෝගිකයාගේ රහස්‍යතාව පිළිබඳ සහතික කිරීමට අධිකාරිය බැඳී සිටී. ඒ තුළින් සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් මත සුරක්ෂිත වූ පාරිභෝගිකයෙක් නිර්මාණය කිරීම අධිකාරියේ පරමාර්ථය බව දැක්වේ.

ළඟදී එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විවිධ ක්‍රියා මාර්ග ගනිමින් සිටී. මෙයට පෙර වෙළෙඳ වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන බාධකයක්ව තිබුණේ විමර්ශන නිලධාරීන්ගේ අඩුව නමුත් මේ වන විට 200 පමණ අලුතින් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් බඳවාගෙන ඇති නිසා එම අඩුව සපිරී ඇත. ඒ අනුව වැටලීම් කටයුතු වේගවත් වී තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරි ආරංචි මාර්ග පවසයි.

අධිකාරිය මේ මස 9 සිට 15 දක්වා සතිය තුළ පමණක් උත්සව සමය ඉලක්ක කරගෙන වැටලීම් 510ක් සිදුකර රුපියල් 13,96,000ක දඩ ආදායමක් අය කර ගෙන ඇත. විශේෂයෙන් පාරිභෝගිකයා වැඩිපුර ගැවසෙන නගර ආශ්‍රිතව මෙම වැටලීම් සිදු කර තිබේ. 2018 වසරේ මේ දක්වා වැටලීම් 21,188ක් සිදුකර වෙළෙඳන් 21,254කට නඩු පවරා තිබේ. වැඩි මිලට විකිණීම, මිල සඳහන් නොකළ ද්‍රව්‍ය විකිණීම අඩුවට කිරා සහ මැන විකිණීම, කල් ඉකුත් වූ ද්‍රව්‍ය අලෙවි කිරීම, අපිරිසිදු ආහාර අලෙවිය, වංචා සහගත බඩු විකිණීම ආදිය පිළිබඳ වැටලීම් කර මෙම වෙළෙඳුන් කොටුකර ගෙන ඇති අතර, ඇතැමුන්ට අවවාද කර තිබේ. එහෙත් නඩු නිමිති උද්ගතව ඇති බරපතළ වැරදි සඳහා අධිකරණයේ නඩු පවරා තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර එම වැඩපිළිවෙළ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබේ. අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් කටයුතුවලට එක දිගටම යොදවා තිබේ. මෙයින් යම් ප්‍රගතියක් අපේක්ෂා කරයි.

එහිදී සෑම දිස්ත්‍රික්කයකම ඇති ප්‍රධාන අලෙවිසල් හා ගබඩා පරීක්ෂා කෙරේ. ඒ අනුව කල් ඉකුත් වූ භාණ්ඩ වෙළෙඳපොළට නොපැමිණීම හා අලෙවි තොරතුරු වෙනස් කළ භාණ්ඩ අලෙවි කිරීම වළක්වයි. වෙළෙඳුන් පාරිභෝගික කටයුතු පනත යටතේ වූ නීතිරීති පිළිපදිනවාද යන්න පිළිබඳ විමසිල්මත් වෙයි. ජංගම වෙළෙඳුන් සහ සේල්පළවල් අධිකාරිය විශේෂයෙන් පරික්ෂා කරනවා ඇත. වැඩි වශයෙන් අලෙවි වන ඇඳුම්, පැළඳුම්, රසකැවිලි, කුළු බඩු, කල්පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳසල් විශේෂ පරික්ෂාවට ලක් කෙරෙයි.

පසුගිය සමයේ සමහර වෙළෙඳසල්වලට ඇතැම් ව්‍යාජ පුද්ගලයන් පැමිණ තමන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බව ප්‍රකාශ කරමින් වෙළෙඳසල් පරික්ෂා කර වෙළෙඳුන් බියකර මුදල් ඉල්ලා සිටින බවට අධිකාරියට පැමිණිලි ලැබී ඇති නිසා පාරිභෝගිකයාට එවැනි අය පිළිබඳ සැකයක් ඇති වුවහොත් ඔවුන් පිළිබඳ විමසීමක් සිදුකර එවැනි වංචනික පුද්ගලයන් ගැන ළඟම ඇති පොලිස් ස්ථානය හෝ අංක 77108821 හෝ 22 දුරකථන ඔස්සේ අධිකාරිය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින අතර ඔවුන්ට කිසිදු අයුරකින් මුදල් ලබා නොදෙන ලෙස ද පවසයි.

පාරිභෝගිකයා විශේෂයෙන් තමා සතු අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයකින් සිටීම අවශ්‍ය වෙයි. ජන ජීවිතයට සහ ජනතා සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයා දැනුම්වත්ව සිටිය යුතුය. එසේම තමා ගන්නා භාණ්ඩය ගැන සැකයක් ඇති වූ තැන නිවැරදි තෝරා ගැනීමකට මඟපෙන්වන තොරතුරු විමසීමට සහ ලබා ගැනීමට ද පාරිභෝගිකයාට අයිතියක් තිබිය යුතු වෙයි. ගුණාත්මක බවින් යුතු භාණ්ඩ හා සේවා මොනවාදැයි තෝරා ගැනීමට පාරිභෝගිකයාට අයිතියක් ඇති අතර ගුණාත්මක බවෙන් තොර භාණ්ඩ හා සේවා නිසා සිදුවන හානිවලට අදාළ ආයතනවලින් වන්දි හෝ සහන ලබා ගැනීමට ද පාරිභෝගිකයාට  අයිතියක් ඇත. බුද්ධිමත් ලෙස වෙළෙඳපොළ තුළ හැසිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම ද පාරිභෝගිකයාගේ අයිතිවාසිකමක් වන අතර තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ද ඔහුට අයිතිවාසිකම් තිබේ.

එසේම නීති මගින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම උදෙසා පනවා ඇති නියමයන් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත්ව සිටීම අවශ්‍ය වේ. එසේ දැනුම්වත්ව සිටීනම් තමාට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට ඔහුට පහසු වේ.

භාණ්ඩ විකිණීමේදී මිල පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම හෝ එය භාණ්ඩ පැකේජයේ සඳහන් කර තිබීම අවශ්‍ය බව පාරිභෝගිකයා අවබෝධ කරගෙන සිටිය යුතුය. නියම කළ මිලට වඩා භාණ්ඩ වැඩි මිලට  නොවිකිණිය යුතු අතර වැඩි මිලට, මිලට ගැනීමෙන් වැළැකීම අවශ්‍ය වෙයි. එසේම  තමා මිලට ගන්නා භාණ්ඩ ඇසුරුම පරීක්ෂා කර එහි දක්වා ඇති තොරතුරු වෙනස් කර, මකා දමා හෝ විකෘති කර නොමැති බව සනාථ කර ගත යුතුය. එවැනි ස්ථාන පිළිබඳ තොරතුරු ළඟම ඇති පොලීසියට හෝ අධිකාරියේ කාර්යාලයකට දැන්වීම අවශ්‍ය වෙයි. එම ඇසුරුමේ භාණ්ඩයේ නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, මිල, බර හා පරිමාව සමඟ කාණ්ඩ අංකය ද පැහැදිළි ලෙස සඳහන් කළ යුතු වෙයි. එසේම විකුණන සෑම භාණ්ඩයකම බිල්පතක් නිකුත් කිරීමට සෑම වෙළෙන්දෙකුම බැඳී සිටින අතර එය නොකිරීම වරදකි. යම් වෙළෙන්දකු තමා ළඟ ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ සඟවා තබා ගැනීම වරදක් වෙයි. තවද කිසිදු වෙළෙන්දකුට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවන අයුරින් තොග රැස්කර තබා ගැනීමට ද නොහැකිය.

පාරිභෝගික සේවා අධිකාරිය පවසනුයේ පාරිභෝගිකයා මිලට ගන්නා භාණ්ඩයේ බර නිවැරදි බවට ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා තරාදියක් වෙළෙඳ සලෙහි තබා තිබිය යුතු වගය. ප්‍රමිති සහතිකය  අවශ්‍ය භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය සඳහන් කළ යුතු වෙයි. ඒ හැර සියලුම විදුලි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස  6ක කාලයක් වගකිව යුතු අතර ඒ බව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් භාණ්ඩය සමඟ මුද්‍රණය  කර තිබිය යුතු බවද අධිකාරිය කියයි.

එසේම පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගිකයන් සමඟ වෙළෙන්දන් ද දැනුවත් කිරීමට කටයුතු කරයි. පාරිභෝගිකයන්ට පමණක් නොව වෙළෙඳුන්ට ද අයිතිවාසිකම් ඇති බව පෙන්වා දෙයි. මෙහිදී අධිකාරියේ පරමාර්ථය වනුයේ අසාධාරණ වෙළෙඳ පිළිවෙත් සහ තරග විරෝධී චර්යාවලින් වෙළෙන්දන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කර ගනිමින් තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාමට කටයුතු සැලැස්වීමය. භාණ්ඩ හා සේවා සපයන වෙළෙඳුන් හා නිෂ්පාදකයන් අතර යහපත් තරගයක් ඇති කිරීම සහ සැමට ජාතික ආර්ථිකයේ  සමාන අවස්ථා විවෘත කර දීම මෙමගින් සිදු කරයි. සදාචාර සම්පන්න වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස ගෞරවාන්විතව තම ව්‍යාපාර සිදුකර ගෙන යාමට ද වැඩිදියුණු කර ගැනීමට ද අවශ්‍ය නෛතික හා සදාචාරාත්මක උපදෙස් හා දිරිමත් කිරීම් ආයතනය මගින් සිදු කරයි. තරග විරෝධී වෙළෙඳ පිළිවෙත් පිළිබඳ චෝදනා තිබේනම් ලිඛිතව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ විට අධිකාරිය ඒ පිළිබඳ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.

අධිකාරිය විසින් පනවන ලද කිසියම් නීතියක් කඩ කළ විට එවැනි ව්‍යාපාරිකයන්ට පහත සඳහන් දඬුවම්වලට ලක්වීමට  සිදුවන බව අධිකාරිය අවධාරණය කරයි.
01. දඩ මුදලකට, සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීම.

02. භාණ්ඩ මාරු කර දිමට සිදුවීම.

03. දෝෂ සතිහ භාණ්ඩවලට ගෙවූ මුදල් ආපසු පාරිභෝගිකයාට ලබාදීම.

04. අධිකරණය විසින් සදුසු යැයි නියම කරන වෙනත් සහන ලබාදීම.

පාරිභෝගිකයාට මෙන් ව්‍යාපාරිකයාට ද සහන සැලසීම නිරතුරුවම සිදුකරන අතර කොළඹ වොක්ෂෝල් වීදියේ අංක 27 දරන ස්ථානයේ පිහිටි පාරිභෝගික කටයුතු අධිකාරියට හෝ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිලි කිරීමට දෙපාර්ශවයටම හැකි බව අධිකාරිය අවධාරණය කරයි.

►යසවර්ධන රුද්රිගු