
ලාංකීය දේශපාලනයේ වර්තමානය වනවිට උද්ගත වී ඇති බරපතළ තත්වයෙන් මිදීම සඳහා ගත හැකි ඉක්මන් සහ සරලම ක්‍රියාමාර්ගය ලෙස බොහෝදෙනා සලකන්නේ මහමැතිවරණයයි. ජනාධිපතිවරයා මැතිසබය විසුරුවා හැරීමට කටයුතු කළත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේ එය ව්‍යවස්ථාවට පටහැනි බව දන්වමිනි. ඒ අනුව මැතිවරණය නතර විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගෙන පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යන ලෙස මේ වනවිට බොහෝදෙනා ඉල්ලා සිටිති.
කෙසේ වෙතත් මේ අර්බුදයෙන් මිදීම සඳහා ගතහැකි එක් ක්‍රියාමාර්ගයක් ලෙස මැතිවරණය සේම භාරකාර ආණ්ඩු සංකල්පයද තවත් පිරිසක් විසින් මේ වනවිට කරළියට ගෙන ඇත. ඔවුන් සඳහන් කරන්නේ භාරකාර ආණ්ඩුවක් පත්කර එම ආණ්ඩුව යටතේ මැතිවරණයක් සඳහා යායුතුය කියාය. එහෙත් එලෙස භාරකාර ආණ්ඩුවක් සඳහා යා හැකිද? භාරකාර ආණ්ඩුවක් කියන්නේ කුමක්ද යන්න මෙහිදී සඳහන් කිරීමට නියමිතව ඇත.
භාරකාර ආණ්ඩු සංකල්පය එන්නේ එංගලන්ත වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රම සම්ප්රදාය හරහාය. එහෙමත් නැතිනම් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම සම්ප්‍රදායට අනුවය. ඒ අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවස්ථා දෙකක් ඇත.
ඉන් ප්‍රථම අවස්ථාව වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් කරන විශ්වාසභංගයක් හරහා පවතින ආණ්ඩුව පරාජය කොට නව මැතිවරණයක් වෙත යනතෙක් භාරකාර ආණ්ඩුවක් පත්කළ හැකිය යන්නයි.
විස්වාසභංගයක් හරහා ආණ්ඩුව පරාජය කිරීමෙන් පසුව ඒ වෙනුවට ස්ථාවර ආණ්ඩුවක් පත් නොකොට පාර්ලිමේන්තු විසුරුවාලිය යුතුය. එසේ මැතිවරණයක් තබා නව ආණ්ඩුවක් පත්වන තෙක් අන්තර් කාලය සඳහා තාවකාලික ආණ්ඩුවක් පත්කළ යුතුය. එසේ පත්කරන තාවකාලික ආණ්ඩුව කැබිනට් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායට අනුව භාරකාර ආණ්ඩුවක් ලෙස නම් කෙරේ.
දෙවැනි ක්‍රමය වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර මීළඟ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් බලයට එනතෙක් තාවකාලික ආණ්ඩුවක් පත්කර ගැනීමය. එම ආණ්ඩුවද භාරකාර ආණ්ඩුවක් ලෙස නම් කරනු ලබයි.
කෙසේ වෙතත් මෙකී භාරකාර ආණ්ඩුවක් සතු ප්‍රධාන ලක්ෂණ කීපයක් ඇත. එනම් මෙම භාරකාර ආණ්ඩුව ඉතාම සීමිත කාලයක් සඳහා පත්කරගත යුතුව ඇත. එනම් තාවකාලික විය යුතුය. අනෙක භාරකාර ආණ්ඩුවක් අතිශයින්ම මධ්‍යස්ථ විය යුතුය. එසේ විය යුතු වන්නේ එම ආණ්ඩුව යටතේ පවත්වන මැතිවරණයක් සාධාරණ හා අපක්ෂපාතී විය යුතු නිසාය.
අනෙක් කාරණය නම් භාරකාර ආණ්ඩුවක් පවතින විට රාජ්‍ය සේවයත් පොලිස් සේවයත් ස්වාධීන විය යුතුය. ඒද නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහාය. එසේම භාරකාර ආණ්ඩුවක අනෙක් ලක්ෂණය වන්නේ ආණ්ඩුවක දෛනික ක්‍රියාකාරකම් පමණක් ක්‍රියාවට නැංවිය යුතු වීමය. එනම් රටේ අනාගතය ගැන තීරණය කරනු ලබන රාජ්‍ය ප්‍රතිපත්ති සහ තීන්දු නොගත යුතු බව මෙයින් අදහස් වේ.
කෙසේ වෙතත් බොහෝ අවස්ථාවල භාරකාර ආණ්ඩු අලුතින් පිහිටුවීමක් නොමැති අතර පැවති ආණ්ඩුවේ ඇමති මණ්ඩලයත්, අග්‍රාමාත්‍යවරයාත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම සිදුවෙයි. ඇතැම් අවස්ථාවල පමණක් යම් යම් වෙනස් කිරීම් කැබිනට් මණ්ඩලය තුළ සිදුකරනු ලබයි. කෙසේ වෙතත් මෙලෙස භාරකාර ආණ්ඩුවක් ක්‍රියාත්මක වීමට ප්‍රධාන වශයෙන් රට ආර්ථික හා දේශපාලන වශයෙන් අර්බුදකාරී අවස්ථාවක් විය යුතුය. එකී අර්බුදයෙන් ගොඩගැනීම සඳහා මාස දෙක තුනක් සඳහා මෙලෙස භාරකාර ආණ්ඩුවක් පත්කරනු ලබයි. සරලවම කීවොත් පවතින ආණ්ඩුව විසුරුවා දමා මැතිවරණයට යනතෙක් මෙලෙස භාරකාර ආණ්ඩුව පත්කරනු ලබයි.
කෙසේ වෙතත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ භාරකාර ආණ්ඩු සංකල්පය දේශපාලන වශයෙන් රටක් අවුලෙන් අවුලකට පත්කළ හැකි බවයි. එයට හේතුව වන්නේ ලංකාව තුළ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතින නිසා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ආණ්ඩුවට එල්ලවන නිසා එම ආණ්ඩුව මධ්‍යස්ථ නොවීමය. ඒ නිසා සැබෑ භාරකාර ආණ්ඩුවක් පත්වා ගන්න නම් අගමැතිවරයා පමණක් නොව ජනාධිපතිවරයාද වෙනස් විය යුතු බව විචාරකයෝ පෙන්වා දෙති. එසේ වුවද වර්තමානයේ භාරකාර ආණ්ඩු ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේය.
කෙසේ වෙතත් වර්තමානයේ පාර්ලිමේන්තුව තුළද තවත් පිරිසක් සාකච්ඡා කරන්නේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව භාරකාර ආණ්ඩුවක් වෙත ගොස් මාස හයකින් මහ මැතිවරණයක් සඳහා යායුතු බවය. ඒ හරහා ජනතාව නිවැරදිව සිය කැමැත්ත එක් කණ්ඩායමකට ලබාදෙනු ඇති බවත් ඒ අනුව මේ ප්රශ්නය, නිමාකළ හැකි බවත් බොහෝ දෙනාගේ අදහස වී ඇත. එසේ නම් සැබැවින්ම ඒ සඳහා පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් එකඟවේද යන්න ගැටලුවක් ඇත. එපමණක් නොව ජනාධිපතිවරයාද ඊට එකඟ විය යුතුය. ඉදිරියේ කුමක් වේද යන්න බලා සිටීම හැර කරන්නට වෙනත් දෙයක් නැත.
►ගයාන් ගාල්ලගේ