2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

කප්පම්කරුවන්ගේ රජදහනක් වූ ගම

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

හංවැල්ල පොලිස් බලප්‍රදේශයේ ඇඹුල්ගම සහ ජල්තර ප්‍රදේශවල ක්‍රියාත්මක ආයුධ සන්නද්ධ පාතාල කල්ලි දෙකක් අතර බලය තහවුරු කරගැනීමේ අරගලයක් නිසා දැනටමත් ඝාතන දෙකක් සිදුවී අවසන්ය. තවත් පිරිසකට කපා කොටා තුවාල සිදුකිරීම සහ පහරදීම් ගණනාවකි. මැරබලය පතුරුවා කප්පම් ගැනීම හේතුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මේ වනවිටත් ව්‍යාපාරික ස්ථාන හා ගම අතහැර ගොස් ඇතැයිද වාර්තා වී තිබේ.

විරුද්ධ පාතාල කණ්ඩායම් දෙකක් විසින් එකිනෙකා පරයමින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතු කිරීම නිසා දැඩි ආර්ථික දුෂ්කරතා මැද සිටි ව්‍යාපාරිකයන් පිරිසක් ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බව ජල්තර හා ඇඹුල්ගම ප්‍රදේශවාසීහු පවසති. මාකඳුරේ මධූෂ් හා අංගොඩ ලොක්කා යන පාතාල නායකයන්ගේ අණසක යටතේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා පාතාල නායකයකු වූ රණාලේ සමයං නැමැත්තා ඝාතනය කළ පසුව ඔහුගේ ප්‍රධාන ගෝලයන් වශයෙන් සිටි ඌරුජුවා සහ අංකුඹුරේ ඉඳුනිල් යන අය හංවැල්ල, ඇඹුල්ගම හා ජල්තර ප්‍රදේශ කේන්ද්‍ර කරමින් එකිනෙකාගේ අණසක පතුරාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් මේ පාතාල යුද්ධය ඇතිවී තිබේ.

රෑ දවල් නොතකා ඌරුජුවාගේ සහ අංකුඹුරේ ඉඳුනිල්ගේ පාර්ශ්ව දෙක ආයුධ සන්නද්ධව හැසිරෙමින් දෙපාර්ශ්වයේ පිරිස් එකිනෙකා කපා කොටා ගැනීම නිසා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව භීතියට පත්ව සිටිති. මෙය වඩාත් බරපතළ ලෙස දැනී ඇත්තේ ගැටුම් අතරතුර නිවාසයකට පහරදීම හා තවත් නිවාස දෙකක් ගිනිබත් කිරීම නිසාය.

ඇඹුල්ගම හා ජල්තර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැනනැග තිබෙන ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පැය 24 පුරා පවතින විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට හංවැල්ල පොලිස්ථානය පියවර ගෙන තිබේ. මේ සඳහා එම පොලීසිය හා නුගේගොඩ කොට්ඨාසයට අයත් තවත් පොලිස්ථාන කිහිපයකින් නිලධාරීන් කැඳවා තිබිණ. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ සිට පොලිස් නිලධාරීන් 40කින් යුත් පිරිසක් කණ්ඩායම් කිහිපයක් වශයෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටිති. එම නිලධාරීන් ප්‍රදේශයේ හඳුනාගත් විශේෂ ස්ථානවල විශේෂ රාජකාරියේ නිරතව සිටියෝය.

රට කැළඹූ පාතාල නායකයකු වූ රණාලේ සමයංගේ ප්‍රධානම ගෝලයාව සිටි දිනෙත් මිලාන් මාඹුලගේ හෙවත් ඌරුජුවා සමඟ අංකුඹුරේ ඉඳුනිල් වජිර කුමාර කටයුතු කළේය. සමයංගේ ඝාතනයත් සමඟ සමයං කල්ලිය දෙකඩ වී තිබුණේ ඌරුජුවා සහ අංකුඹුරේ ඉඳුනිල් අතර බලය තහවුරු කරගනිමින් නායකත්වය රැකගැනීමටය. මේ සඳහා සිදුකළ ආසන්නතම සිද්ධිය පසුගිය 10 වැනිදා ජල්තර තැපැල් කාර්යාලය ආසන්නයේදී වාර්තා වී තිබිණ. එදින අයෙක් ත්‍රිරෝද රථයකින් ගමනක් යාම සඳහා රථගාලට පැමිණි මොහොතේ යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ දෙදෙනකු ඔහුට කපා කොටා තුවාල සිදුකර පලාගොස් තිබිණ. බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසුව තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටින ඔහු ජල්තර ආනන්දපුර පදිංචි අයෙකි. මෙහිදී තවත් තරුණයකුද තුවාල ලබා සිටියේය. පහරදීමට එරෙහිව පහර කෑ අයගේ පාර්ශ්වයේ අයෙක් එදිනම අනෙක් පාර්ශ්වයේ නිවෙසකට පහරදී අලාභ කර තිබිණ. ඊට පළිගැනීමට සිතූ එම පාර්ශ්වය විසින් පෙර කී අයකුගේ නිවෙසකට භූමිතෙල් දමා ගිනි තබා තිබුණි. සිදුවීමෙන් දින 4ක් ඇතුළත පහරදීම හා ගිනිතැබීම්වලට අදාළ සැකකරැවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලීසිය සමත්ව තිබුණි. එසේම පහරදීම සඳහා භාවිත කළ FZ වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබුණේ ඇඹුල්ගම ප්‍රජා ශාලාව පිටුපස කැලෑවක සඟවා තිබියදීය.

ඒ අතර ප්‍රහාරය සඳහා භාවිත කළ කඩුවක් හා පිහියක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකාර රන්වලගේ රුවන් චතුරංග (20) සහ කළුආරච්චිගේ අමිල චතුරංග (23) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටිති. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පහරදීම සඳහා යොදාගත් මන්නා පිහි දෙකක් ඇඹුල්ගම පාලම අසලින් කැලණි ගඟට විසිකර ඇති බවය. එය සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇතිබව හංවැල්ල පොලීසිය සඳහන් කළේය.

පසුගිය 10 වැනිදා දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමට හේතුව වශයෙන් සැලකෙන්නේ පසුගිය ඔක්තෝබර් 29 වැනිදා පස්වරුවේ ජල්තර මහා විද්‍යාල ක්‍රීඩාපිටියේදී ඌරුජුවාගේ හිතවතෙක් වූ ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කළ ජීවන් කුමාර මඩපාතගේ යන අය පහරදී ඉඳුනිල් (22) නැමැති තරුණයකු ඝාතනය කිරීමය. ඊට පළිගැනීමට සිතූ ඉඳුනිල්ගේ පාර්ශ්වය විසින් එදින රාත්‍රී 9ට පමණ ඇඹුල්ගම හන්දියේදී පෙර කී ව්‍යාපාරිකයා කපා කොටා ඝාතනය කර තිබිණ. ඒ වනවිටත් බන්ධනාගාරගතව සිටි ඌරුජුවා සිය හිතවතාගේ ඝාතනය සැලවී තවත් හිතවතකුට දැනුම් දී තිබුණේ මිතුරාගේ මළගම දිනයේ ඇඹුල්ගම කඩ සාප්පු වසාදැමිය යුතු බවය. ඌරුජුවාගේ පණිවුඩයට බියෙන් ප්‍රදේශයෙන් කඩ සාප්පු වසාදැමූ ව්‍යාපාරිකයන් හා ත්‍රිරෝද රථගාල් රියැදුරන්ද ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබිණ. මේ අවනීතිය ක්‍රියාත්මක කර තිබුණේ ඉකුත් නොවැම්බර් 2 වැනිදාය.

සිදුවීම් සියල්ලට අදාළ සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයිද ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද හංවැල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ සහ හෝමාගම සහකාර පොලිස් අධිකාරී වෙල්ගම මහතාගේ උපදෙස් මත හංවැල්ල පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල ජයසිංහ සහ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී. හේවගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

►සමන්ත ප්‍රදීප් විල්තෙර