
ලංකාව තුළ හොර මැරකම් ජාවාරම් එමටය. හොරු එක් පැත්තකින් චණ්ඩිකම් කරන අතර තවත් පැත්තකින් දේශපාලනය ද කරති. මේ නිසා හොරු සහ මැරවරයෝ ලංකාවට ඕනෑවටත් වඩා සිටිති. එහෙත් එච්චර හොරැ අතිරික්තයක් සිටියදීත් ලෝක හොරැ එන්නේ ද ලංකාවටමය. එය පුදුම හිතෙන දෙයකි. මේ කතාව ලෝක හොරු සමඟ ලොකු ලොකු ගේම් ගහපු හොරෙක් ගැනය. දැන් හොරකම අතහැර ඔහු සිටින්නේ සියලු දෑ අතහැරය. හේතුව ඔහුගේ ජීවිතයෙන් තුනෙන් එකක්ම ජීවත් වී ඇත්තේ හිර ගෙදර නිසාය. ඔහු පසුගිය දවසක මෙරට සිදුවන තවත් ජනප්‍රිය ජාවරමක් ගැන කීවේය
“කාඩ් ගැසීම" හෙවත් ක්‍රෙඩිට් කාඩ් මාෆියාව ලෝකයේ හැමරටකට වාගේම සිදුකරන දෙයකි.මේ කියන්නට යන්නේ එවැනි ජාවාරමක් ගැනය.
ලියුම්කරු කී පුද්ගලයාට ද එකී කාඩ් ගැසීම සඳහා පසුගිය දවසක එක් අයකු විදේශ රටක සිට ආමන්ත්‍රණය කර ඇත. ඔහුත් සමඟ කතා කළ මෙම ජාවාරම ගැන මෙලෙස සටහන් කරන්නෙමි.
කාඩ් ගැසීම යනු වෙනත් අයකුට හිමි ක්‍රෙඩිට් කාඩ් පතක් හරහා ඔහු සතු මුදල් ඇදීමය. මේ සඳහා ක්‍රෙඩිට් කාඩ් ලබාගන්නේ යුරෝපයේ රටවලිනි. එය ලබාගන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් හරහාය. එකක් මුදල් ලබාගනු ලබන මැෂිම අසල කුඩා බොත්තමක් වැනි යමක් සවිකරනු ලබන අතර එය සෙන්සර් එකක් වේ. එය සමීපයේ ක්‍රියාත්මක වන අතර ක්‍රෙඩිට් කාඩ් එක ඇතුළු කරන විටම අදාළ සෙන්සරයට ක්‍රෙඩිට් කාඩ් පතේ රහස් අංකය එහි සටහන් වෙනු ඇත. එසේම අනෙක් ක්‍රමය වන්නේ සුපර් මාර්කට්වල ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරන විට අදාළ සෙන්සරය සවි කොට එහි අංක ඇද ගනීමය. එසේ ඇදගන්න අංක වෙනත් ව්‍යාජ කාඩ් පත්වල සටහන් කරනු ලබයි. එම අංක සටහන් කරන කාඩ්පත් සාමාන්‍යයෙන් එක් කණ්ඩායමක් සමීපයේ 300-500 අතර ප්‍රමාණයක් ඇත. එසේ කාඩ්පත් ලබා ගැනීමෙන් අනතුරැව මේ සඳහා නියෝජිතයන් පත් කරගනු ලබයි.
ඒ සඳහා රුසියාව, පිලිපීනය වැනි රටවල ජාවාරම්කරුවන් යොදා ගැනෙයි. එම ජාවාරම්කරැවන් එවනු ලබන්නේද මෙරටටය. ඒ මෙරටදී එම ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී කිසිදු සැකයක් ඇති නොවන නිසාය.
ඒ අනුව මෙරටට පැමිණෙන ජාවාරම්කරැවෝ සූදු ක්‍රීඩාව ක්‍රියාත්මක වන කැසිනෝ ස්ථාන වෙත ගමන් කරති. එම ස්ථානවල ඇති ඒ.ටී.එම් යන්ත්‍රවලින් මුදල් අදිනු ලබන අතර සාමාන්‍යයෙන් එක්වරකදී 30000-40000 ත් අතර මුදලක් ගනු ලබයි. එලෙස ලබා ගන්නා මුදල් ඔවුන් රුඳී සිටින ස්ථානයේ සඟවති. එසේ සඟවා ඔවුන් ලබාගත් මුදල් සියල්ල එකතු කළ පසු ඔවුන්ට සීයට 50ක් ද මහ මොළකරුට සීයට 50ක් ද වශයෙන් බෙදී යයි. කෙසේ වෙතත් ලක්ෂ ගණනින් මුදල් ඇති නිසාත් එම මුදල් විදෙස් ගත කිරීමට ක්‍රමයක් සැකසීම ඊළඟට සිදුවෙයි. සාමාන්‍යයෙන් යොදා ගන්නේ හවාලා ක්‍රමය හෙවත් උණ්ඩියල් ක්‍රමයයි. ඉන් අනතුරැව අදාළ ක්‍රෙඩිට් කාඩ්පත් ගිනි තබා විනාශ කරනු ලබයි.
මේ සොරකම් සඳහා සම්බන්ධ කරගනු ලබන ලංකාවේ පිරිස අදාළ මුදල් ඇදීම සඳහා පිටත් කරනු ලබන්නේ රටින් බැහැරටය. සිංගප්පූරැව, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය ආදී රටවලට ඔවුහු රුගෙන යනු ලැබති. ඒ සඳහා ඔවුන්ගේ නියෝජිතයෙක් ද ඊට සහභාගි වෙයි. අදාළ මුදල්වලින් 25%ලංකාවේ එක් අයකුට ලබා දෙයි. කෙසේ වෙතත් පොලීසියට යම් අයකු කොටු වුවහොත් අදාළ පුද්ගලයාට කිසිදු සමාවක් නැත. ඔහු නියත වශයෙන්ම අදාළ දඬුවම විඳ දරාගත යුතුය.
කෙසේ වෙතත් මේ සඳහා විදෙස්ගතව සිටින ඇතැම් ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බහුල වශයෙන් යොදාගනු ලබන බව සඳහන් වේ. ඔවුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාදීමේ අරමුණින් මෙම කාඩ් ගැසීමට පුරුදු වී සිටිති. මේ සඳහා සාමාන්‍යයෙන් එක්වරකට ඩොලර් 50ක් වැනි මුදලක් ලබාදෙන බව සඳහන් වේ.
මේ අතර මෙම ජාවාරමට සම්බන්ධ විදේශිකයන් මෙරට තරැපහේ හෝටල වෙත ඇතුළු වී එහි සිටීමද අදාළ මුදල් ඇදීම සිදුකරනු ලබන බව සඳහන් වේ. ඔවුන් ඒ සඳහා සතියක පමණ කාලයක් වැය කරන බව ලැබෙන තොරතුරු අනුව හෙළි වේ.
කෙසේ වෙතත් මෙම කාඩ් ගසන්නන් පවසන ආකාරයට ආරක්ෂාව අතින් බරපතළම තත්ත්වය පවතින්නේ මෙරටදීය. ඒ බව ඔවුහු පවසති. එනම් බොහෝ අවස්ථාවල මෙරට රහස් පොලිසියට කොටු වීම අවදානම 50/50 ක් වශයෙන් ඇති බව ජාවාරම්කරුවන්ගේ මතය වී ඇත. ඒ නිසා මෙරටින් මුදල් ඇද ගැනීමට හැකි වුවත් එහි ඇති අවදානම කෙරෙහි ජාවරම්කරැවන් ඉන්නේ තරමක සැකයෙනි.
මේ සම්බන්ධයෙන් රහස් පොලීසියේ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ මෙරටදී ක්‍රෙඩිට් කාඩ් වංචාවල් සිදුකිරීම සඳහා පැමිණෙන විදේශිකයන් වැඩි වෙනවා සේම පොලීසියට ඔවුන් කොටුවන ප්‍රමාණයද ඒ හා සමාන වන බවයි. එහෙත් එලෙස අසුවන විටත් ක්‍රෙඩිට් කාඩ් තිබුණත් අදාළ මුදල් මෙරටින් පිටකර ඇති බව පසුව අනාවරණය වන බව ඔහු සඳහන් කළේය. මේ නිසා ඇතැම් පරීක්ෂණවලදී සැකය පමණක් වන අතර සාක්ෂි නොමැති බව ඔහුන් පෙන්වා දෙයි.
ලංකාව වැනි රටක මේ ආකාරයෙන් අසීමිත ලෙස සිදුවන ජාවාරම් වැඩිය. ඒවා දේශීය මෙන්ම ජාත්‍යන්තර ජාවාරම් වේ. මෙවැනි ජාත්‍යන්තර ජාවාරම් නිසා වැඩියෙන්ම අසරණ වන්නේ ආරක්ෂක අංශයයි. හේතුව කෙතරම් පැමිණිලි ලැබුණත් ඒ පැමිණිලි විභාග වනවිට සැකකරුවනුත්, මුදලුත් නැත. අවසානයේ එහි වන්දි මෙරට බැංකු ජාලාවලට දරන්නට සිදුවන වාරද අනන්තය. කෙසේ වෙතත් මේ කතාව ඉහත කී පුද්ගලයා කීවේ ඔහුට පැමිණි ගනුදෙනුවක් හරහාය. ඔහු එය බාරනොගත්තත් බාර ගැනීමට කැමැති මිනිසුන් තවත් සිටිනු ඇත.
I අසංක කළුබෝවිල