
පාසලේ සාහිත්‍ය සමිතියක වුවද පැවැති සභාවාරය ගැන තොරතුරු සහ පත් කිරීම් ඇතුළු සිදුවීම් සියල්ල පොතක සටහන් කරගන්නේ පසුගිය වාරයේ සිදුවූ දේ නැවත කෙනකුට දැන ගැනීම සඳහාය. එලෙස පාර්ලිමේන්තුවේ වාද විවාද ඇතුළු කටයුතු පිළිබඳ සටහන් ඇතුළත් කරන නිල ලේඛනය හැන්සාඩ් වාර්තාව ලෙස හඳුන්වයි.
හැන්සාඩ් වාර්තාව සම්බන්ධ ඉතිහාසය 18 වැනි සියවස තෙක් ඇදී යයි. 1771ට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කිසිවක් බාහිර පුද්ගලයන්ට දැන ගැනීමට අවස්ථාව හිමීවී නැත. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම් ඇතුළත් වාර්තාවක් සකස් කළත් එහි වාද විවාද ඇතුළත් කර නැත.
එයට හේතුවී ඇත්තේ පාර්ලිමේන්තුවේ වාද විවාද ඇතුළත් කිරීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් යැයි මන්ත්‍රීවරැ සිතූ බැවිනි. ඒ සඳහා වෙනම නීතියක් ක්‍රියාත්මක වී ඇති අතර එසේ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව විශාල දඩ මුදලක් හෝ සිර දඬුවම් ලබාදීම තෙක් නීති පැන වී තිබිණි.
මේ අතර විලියම් කොබට් නැමැති පුවත්පත් කලාවේදියා මේ සියලු ප්‍රශ්න මැද පාර්ලිමේන්තු විවාද නම් සඟරාවක් එළිදැක්වූයේය. විවිධ පුවත් ඔස්සේ සකස් කරන ලද සටහන් එහි විය. මෙය මධ්‍යස්ථ සඟරාවක් වූ නිසා බ්‍රිතාන්‍ය ජනතාවගේ ඇගයුමට පවා ලක්විය. එහෙත් බ්‍රිතාන්‍ය රජය විලියම් කොබට් අධිකරණය වෙත කැඳවා දඬුවම් ලබාදුන් අතර විශාල දඩ මුදලක් ද කීපවතාවක් ගෙවන ලෙස නියෝග කළේය. මේ නිසා ඔහුට දැඩි ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවිය.
ඔහුට ඇති වූ දැඩි ආර්ථික පසුබෑම හේතුවෙන් ඔහුගේ සඟරාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා 1812 දී එය තෝමස් කර්සන් හැන්සාඩ්ට පවරනු ලැබීය. ඔහු විසින් එම සඟරාව ඉතාමත් ආකර්ෂණීය ලෙස සිදුකරගෙන යාමත් සහ පුවත්පත් කලාවේදීන්ගේ දැඩි විරෝධයත් මත 18 වැනි සියවස අගභාගය වන විට ඊට එරෙහි වූ නීති බ්‍රිතාන්‍ය රජය විසින් ඉවත් කළ අතර ඉන් අනතුරැව නිදහසේ කොබට් සඟරාව පවත්වාගෙන ගියේය.
එහෙත් කාලයත් සමඟ කොබට්ගේ සඟරාව හැන්සාඩ්ගේ පාර්ලිමේන්තු විවාද ලෙස වෙනස් විය. ඒ අනුව හැන්සාඩ් සිය සඟරාව දීර්ඝ කලයක් සිදුකරගෙන ගියේය. මෙහි වටිනාම දෙය නම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලිපි ලේඛන මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් බාරව සිටියේ හැන්සාඩ්ගේ පියා වන ලූක් හැන්සාඩ් වීමය.
මේ අනුව කාලයාගේ ඇවෑමෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වාද විවාද ඇතුළත් පොත හැන්සාඩ් වාර්තාව ලෙස පිළිගත්තේ ඔහුට ගෞරවයක් ලෙසය. මෙය තව දුරටත් ඉදිරියට යමින් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් බොහොමයක් තම පාර්ලිමේන්තු වාර්තා ඇතුළත් පොත හැන්සාඩ් වාර්තාව ලෙස නම් කිරීමට පියවර ගනු ලැබීය.
ලංකා පාර්ලිමේන්තුව තුළ ද හැන්සාඩ් වාර්තාව ක්‍රියාත්මක වේ. එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි බසෙන් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වේ. එය ස්ථාවර නියෝග යටතේ සටහන් කර ඇත. සකසන ලද වාර්තාව සහකාර සංස්කාරකවරැන්, නියෝජ්‍ය සංස්කාරකවරැන් මෙන්ම සංස්කාරක පරීක්ෂා කිරීමෙන් අනතුරුව දින තුනක් ඇතුළත මුද්‍රණය කරනු ලබයි.
යම් මන්ත්‍රීවරයකුට හැන්සාඩ් වාර්තාවේ තමන්ගේ ප්‍රකාශය වැරදි නම් වාර්තාවක් ගෙන එහි නිවැරදි ලෙස සකසා සති දෙකක් ඉක්මයාමට පෙර සංස්කාරකවරයාට ලබා දී නිවැරදි කරගත හැක.
හැන්සාඩ් වාර්තාව අධිකරණ ක්‍රියාදාමයකදී පවා කැඳවා බැලිය හැක. කෙසේ වෙතත් ඕනෑම අයකුට බැලීම සඳහා සියලුම හැන්සාඩ් වාර්තා පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇත.
ඔබ අප දැක ඇති කාරණයක් ඇත. එනම් ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුවේ විවාද අතරතුර මන්ත්‍රීවරු හැන්සාඩ් වාර්තාවට කාගේ හෝ මන්ත්‍රීවරයකුගේ ප්‍රකාශයක් ඇතුළත් නොකරන ලෙස ඉල්ලා කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකරනු ලබන අවස්ථාය. එවිට කතානයකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම් හරහා අදාළ ප්‍රකාශ ඉවත් කිරීමට පියවර ගනියි.
කෙසේ වෙතත් මෙරට පාර්ලිමේන්තුවේ සිදු වූ සියලුම සිදුවීම් හැන්සාඩ් වාර්තාවේ සඳහන් වී ඇති අතර එය එක් පැත්තකින් රටේ දේශපාලන ඉතිහාසය සම්බන්ධ ඓතිහාසික ලියවිල්ලක් විය.
I අසංක කළුබෝවිල