
ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත සංවර්ධන ආධාර අහිමිවන අවදානමක් ගැන මත පළවෙමින් තිබේ. පළමුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය හයවැනි වාරිකය ප්‍රමාද විය හැකි බව මෙරටට දැනුම් දුන්නේය. දෙවනුව ඇෙමරිකා, යුරෝපා රටවල් සිය ආධාර වැඩපිළිවෙළ තාවකාලිකව නතර කරන්නට ඇති ඉඩකඩ ගැන අනියමින් අනතුරැ ඇඟවීය. තෙවැනිව ජපාන රජය ශ්‍රී ලංකාවට අනුමත කර තිබුණ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ආධාර ප්‍රමාද කර තිබේ. ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම අත්හිටුවන බව මෙරට බලධාරීන් ප්‍රකාශයට පත්කර ඇත. ලෝකයේ රටවල් අතර සිදුවන සමාජ හා දේශපාලන විපර්යාස ආර්ථිකයට බලපාන ආකාරය සියුම්ය. ශ්‍රී ලංකාව ඉතිහාසයේ කවරදාක හෝ නොතිබුණ බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. එයින් ගැලවෙන්නේ කෙසේදැයි පැහැදිලි නැත. අර්බුදයට ඇතුළු වන අවස්ථාවේ දී මෙහි බරපතළ තත්ත්වය ගැන අවධානයක් නොතිබුණි. අද වනවිට පැහැදිලිව පෙනෙන අන්දමට රටටත් සමාජයටත් විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය හැකිය.
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා හදිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් ද සම්බන්ධ වී ගොඩනැගූ සන්ධනයෙන් හදිසියේ ඉවත්විය. එක්සත් ජාතික පක්ෂය හා සමගි සන්ධානයක් ඇතිකරගෙන ශ්‍රීලනිප ඉකුත් මහ මැතිවරණයට තරග කළේය. රටේ නොවිසඳී තිබුණ සංවර්ධන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට මෙම සන්ධානය මනා පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂාව විය. ජාතීන් අතර සංහිඳියාව ඇතිකරන අලුත් ව්‍යවස්ථාවක්, ආර්ථිකය ගොඩනගන ස්ථිරසාර වැඩපිළිවෙළක්, රාජ්‍ය පාලනයෙහි ලා විනිවිද පෙනෙන ක්‍රමයක් සහ දූෂණ වංචා තොර යුක්තිගරැක සමාජයක් වශයෙන් පුළුල් වැඩසටහනක් කෙරෙහි බලාපොරොත්තු තිබුණි. නමුත් ඉකුත් වසර තුනක පමණ කාලය තුළ නිසි ඉලක්කයකට ගමන් නොකළ අතර පක්ෂ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අර්බුද පැනනැගිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් ඉවත්වන්නේ එහි අවසාන තීන්දුව වශයෙනි. ජනාධිපතිවරයා පසුව කියා සිටි පරිදි සන්ධානය බිඳවැටීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරන්නේ තුන්වැනි තේරීම වශයෙනි. නමුත් අගමැති මහින්ද පත්කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ සෑහෙන කෝලාහලයක් ඇති විය. එය පාලනය කරගත නොහැකි වූ අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේය. විශ්වාසභංග යෝජනා, විසුරැවීමට එරෙහිව අධිකරණයට යෑම, අගමැතිවරයාට එරෙහිව අධිකරණයට යෑම හා තාවකාලික වාරණය යනාදී වශයෙන් ඉකුත් මාස දෙකකට දින දහයක් අඩු කාලය තුළ විවිධ සිද්ධි වාර්තා වී තිබේ. ඒවා බැරෑරුම් හා නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ කවදා හෝ අත්නොවිඳි ඒවා බව සඳහන් කළ යුතුය. විශේෂයෙන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් රහිත තත්ත්වයක් පැවැතීම පූර්වාදර්ශයක් රහිත තත්ත්වයකි.
මෙවැනි පසුබිමකදී ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල ආණ්ඩුව යනු කුමක්දැයි ගැටලුවක් මතුවීම සාධාරණය. ජාත්‍යන්තර ප්‍රජාව එය ප්‍රශ්න කර තිබේ. ආණ්ඩුවේ නීත්‍යානුකූල භාවයකින් තොරව කරන ජාත්‍යන්තර ගිවිසුම් හා ණය ගනුදෙනුවලදී ගැටලු ඇති වෙයි. ආණ්ඩුවක් රහිත තත්ත්වයක දී කරන ගනුදෙනු අනාගතයේ දී විසඳාගත නොහැකි තත්ත්වයක් ඇති කරන නමුත් ආණ්ඩු විසින් ඇතිකරගන්නා ගිවිසුම්වල නීත්‍යානුකූල භාවයක් තිබේ. ඒවා අහෝසි කිරීමකදී වලංගු ක්‍රමවේදයක් ඇත.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අත්සන් කළ ශ්‍රී ලන්කන් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුව පැවැති සන්ධාන ආණ්ඩුව අහෝසි කළේය. ඒක පාර්ශවිකව කරන අවලංගු කිරීම ගුවන්යානා සැපයුම් සමාගම් බාරගත්තේ නැත. ශ්‍රී ලංකා ආණ්ඩුව එයට ගෙවිය යුතු වන්දිය ඇමරිකානු ඩොලර් බිලියන 35ක් බව ශ්‍රී ලන්කන් සමාගමේ මූල්‍ය වාර්තා පෙන්වයි. අවුරුදු දොළහක් ඉදිරියට අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 බැගින් ගෙවා ගිවිසුමෙන් ඉවත්වීමට සිදුවී තිබේ.
සුප්‍රකට හෙජිං ගිවිසුමද මෙම ගණයේ ලා සැලකිය හැකි අවලංගු කරන ලද එකකි. විදේශ බැංකු තුනක් ගිවිසුම අත්හැරීම ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරැද්ධව ජාත්‍යන්තර අධිකරණවල නඩු පැවැරීය. ස්ටෑන්ඩ් චාර්ටඩ් බැංකුව ලන්ඩන් වාණිජ අධිකරණයේ පවරන ලද පළමු නඩුවේ තීන්දුව අනුව අමෙරිකන් ඩොලර් මිලියන 162ක මුදල හා පොලිය ගෙවන්නට රටට සිදුවිය. සිටි බැංකුව සිංගප්පූරුවේ බේරුම්කාර මණ්ඩලයක් හමුවේ අමෙරිකනු ඩොලර් මිලියන 200ක් අයකර ගැනීමට පැමිණිලි කළේය. කෝප් වාර්තාව අනුව මෙම ගිවිසුම අවලංගු කිරීම නිසා ඛනිජ තෙල් සංස්ථාව ලැබූ පාඩුව රුපියල් බිලියන 10.5කි.
මේවායෙන් පෙන්වන්නේ ආණ්ඩු අත්සන් කරන ගිවිසුම්වල නෛතික භාවයයි. ආණ්ඩුවක් අත්සන් කරන හෝ ගනුදෙනු කරන ණය දේශපාලන කාරණා අනුව පැත්තකින් තැබිය හැකි නමුත් ජාත්‍යන්තරය ඒවා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය සමඟ කරන ගනුදෙනු සේ සලකයි. ආණ්ඩු වෙනස්වීම හෝ අත්සන් කරන ලද ඇමැතිවරයා හෝ නිලධාරීයාගේ වෙනස්වීම ප්‍රශ්නයක් නොවේ.
රටට ආණ්ඩුවක් නැති අර්බුදය ඇති කළ ජාත්‍යන්තර ගැටලු මොනවාද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් තාවකාලික ණය සංචිතයට අදාළ ගිවිසුම් කඩකිරීම නිසා එහි හයවැනි වාරිකය ලැබීම දින නියමයක් නැතිව කල්ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය සම්බන්ධ ගැටලු යටපත්කර ආර්ථික ස්ථාවරත්වය උදෙසා එකී ණය සංචිතය සෑහෙන ශක්තියක් බවට පත්විය. ගිවිසුම අනුව, ඛනිජ තෙල් හා විදුලිය මිල සූත්‍රය, සහනාධාර සමාලෝචනය, පෞද්ගලීකකරණය හා අයවැය පරතරය අඩු කරගැනීම ඇතුළු විවිධ අදහස් තිබුණි. ආණ්ඩුවක් රහිත තත්ත්වයක් යටතේ ගිවිසුමට අනුව ක්‍රියාත්මක නොවන අතර එය වාරික ප්‍රමාද කිරීමට හේතු වී තිබේ.
නොබෝදා ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තාවකාලිකව කල්දමා ඇත. රාජපක්ෂ පාලනයේ දී රුපියල් බිලියන 6.5ක් වියදම් කර මොනෝරේල් සැලසුම් කරන ලද අතර මෛත්‍රී රනිල් පාලනය එය අවලංගු කර මෙගා නගර සංවර්ධනය යටතේ සැහැල්ලු දුම්රිය සේවාවක් සේ යෝජනා කර එයට ජපාන ආධාර ලබා ගත්තේය. එයට අනුව අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක පිරිවැයකින් කොළඹ හා මාලබේ යා කරන සැතපුම් 15.3ක සැහැල්ලු දුම්රියක් යෝජනා වී තිබුණි. ජපානය එය ප්‍රමාද කර තිබේ. අගමැතිධුරය අහිමි වූ රනිල් වික්‍රමසිංහ මහතා පුවත්පත් සාකච්ඡාවක දී අමෙරිකාව මගින් යෝජනා කර තිබුණ අධිවේගී මාර්ග ආධාර හා ඉඩම් කළමනාකරණ ආධාර නතර කර ඇති බව සඳහන් කරන ලද අතර එය අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ බව කියා සිටියේය. එයට අමතරව ජපාන ආධාර ගැනද කරැණු දක්වන ලද හෙතෙම යුරෝපා සංගමය ද සහන ගිවිසුම්වලින් ඉවත්වීමට ඉඩඇති බවට අනතුරැ ඇඟවීය.
ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථා ප්‍රමාදවීම, ආධාර තාවකාලිකව නතරවීම සෑහෙන බරපතළ තත්ත්වයක් ඇති කරන බව අවිවාදිතය. ශ්‍රී ලංකාව විශාල විදේශ වත්කම් ඇති රටක් නොවේ. ජාත්‍යන්තර ආධාර, ගිවිසුම් යනාදිය ආර්ථිකයේ එක්තරා ආකාරයක රෝහලක් පවත්වාගෙන යෑමට මහෝපකාරී විය. නොයෙක් රටවල්වලින් ලැබෙන ආධාර මහා භාණ්ඩාගාරයට යොමු වන අතර නිසි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන තෙක් එම ධනය රටේ විදේශ මුදල් අවශ්‍යතා හා විදේශ ණය ගෙවීම් වෙනුවෙන් සංචිත වශයෙන් භාවිතා කෙරේ. එය ආර්ථිකයට විශේෂ ශක්තියකි. අද වනවිට එම ශක්තිය අහිමි වී ඇත. එය මෙරට ආර්ථිකයට අවදානමකි.
2019 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාව කලින් ගත් විදේශ ණයවලින් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පියැවිය යුතුය. මෙවර විදේශ වත්කම් අනුව එවැනි මුදලක් එකවර ගෙවිය නොහැකි අතර ඒ වෙනුවෙන් නැවත ණය ගැනීමක් හෝ රටට ලැබෙන වෙනත් ආධාරවලින් පියැවීමක් කෙරේ. පවතින දේශපාලන අර්බුදය එයට අවහිර කර ඇත. එහි ප්‍රතිඵලය ලබන වසරේ දී නිරීක්ෂණය කළ හැකිය. ණය ගෙවීම තාවකාලිකව ප්‍රමාදවීමට ඉඩ ඇත. එය ශ්‍රේණිගත කිරීමේදී අවාසියකි. අලුතින් ණයගැනීමේදී පොලිය වැඩි කරන තත්ත්වයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සියයට 0.5ක පමණ ප්‍රතිශතයකට ආධාර ලැබුණ නමුත් ඉදිරියේදී ඇති අනාරක්ෂිත තත්ත්වය මත වාණිජ මට්ටමින් සියයට 5-10 අතර වාර්ෂික පොලියකට විදේශ ණය ගැනීමට සිදුවිය හැකිය. එය විශාල අවදානමකි. ආධාර නතරවීම, එයට මුහුණ දෙන විකල්ප අතිශය වියදම් සහගතය. අවසානයේ දී එහි වන්දිය ගෙවන්නේ ජනතාව විනා දේශපාලනඥයන් නොවේ. හෙජිං ගිවිසුම හා ගුවන් යානා අවලංගු කිරීමෙන් සිදුවූ අවාසි එයට හොඳ උදාහරණයකි. ඒවාට ගෙවන මිල ජනතාව දන්නේ නැත. නිතිපතා ගෙවන බදුවලට මෙම පිරිවැයද ඇතුළත්ය. අනාගතයේ දී බදු බර දෙගුණ තෙගුණ වනවිට පවතින දේශපාලන අර්බුදයේ කොටසක් බව කල්පනා කිරීම වටී. හැකි ඉක්මනින් තත්ත්වය විසඳාගැනීම මෙරට සියලුම දේශපාලන නායකයන් වෙත පැවරී ඇති බරපතළ වගකීමකි.
ගාමිණී සරත් ගොඩකන්ද
gsgodakanda@gmail.com