13 වැනිදා සවස 4.55ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 දරණ ප්‍රධාන ශාලාවේ අසුන් ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ ශාලා තුළ සහ එහි පිටතද, ශ්‍රේෂ්ඨාධිකරණය ආශ්‍රිත භූමියේ ද විශාල ජනකායක් රැස්ව සිටි බවක් දක්නට ලැබිණ. මේ අය අතර ප්‍රධාන දේශපාලනඥයන්, නීතිඥවරුන්, විවිධ ආයතනවල නිලධාරීන්, දේශපාලන විශ්ලේෂකයන් මෙන්ම තානාපති කාර්යාලවල නිලධාරිහු ද රැස්ව සිටියහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මෙම නඩුවේ තීන්දුව එදින සවස 4.00ට ප්‍රකාශයට පත් කරන බව දැනුම් දීමෙන් අනතුරුව කෙමෙන් කෙමෙන් අධිකරණ පරිශ්‍රය ජනාකීර්ණ වූ අතර විශේෂ පොලිස් කණ්ඩායම්, විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා ආරක්ෂක රථද අධිකරණ භූමිය ආශ්‍රිතව රැකවල් ගෙන සිටිනු දැකගත හැකි විය. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය අසලින් ජයඝෝෂා හඬවල් ඇසුණු නමුත් කිසිදු සාමය කඩවීමක් වාර්තා වූ බවක් දැකගත නොහැකි විය.
පෙත්සම් විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිශ්චය මණ්ඩලයට අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රධාන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබ, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඇතුළත් වූහ.
මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා නිකුත් කොට ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් දේශපාලන පක්ෂ පහක් ඇතුළු පෙත්සම්කරුවන් 13 දෙනකු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කොට දින 07කට පසු නිකුත් කළ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒකමතික එකක් වීම සුවිශේෂ විය.
මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යන දේශපාලන පක්ෂ සහ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන දේශපාලනඥයන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥවරුන් වන අරුණ ලක්සිරි, ලාල් විජේනායක යන අය සමඟ ජී.සී.ජේ. පෙරේරා, ඉන්දික ගාල්ලගේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් විසිනි.
විනිසුරුවරුන් පස්දෙනකුගේ එකඟත්වයෙන් යුතුව අගවිනිසුරු නලින් පෙරේරා මහතා එක් තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබ මහතා වෙනම තීන්දුවක් ප්‍රකාශ කළේය. එහි මුල් තීන්දුවට පරිබාහිර කරුණු සඳහන් වුවද මුල් තීන්දුවට තමාද එකඟ වන බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
ජනාධිපතිවරයා නොවැම්බර් 9දා ප්‍රකාශ කළ ගැසට් නිවේදනය අනුව පෙත්සම්කරුවන්ගේ සහ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් ප්‍රකාශ කර ඇති සෑම පුරවැසියකුටම සමාන ලෙස සැලකුම් ලැබීමේ අයිතියද උල්ලංඝනය වී ඇතැයි විනිසුරු මඬුල්ල තවදුරටත් තීරණය කළේය. මෙම තීන්දුවේ සුවිශේෂත්වය වූයේ ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලය නැතැයි නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව ද ප්‍රතික්ෂේප කිරීමය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබ්රූ මහතා වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර එහි සඳහන්ව තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමෙන් වසර 4 ½ක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවය. එසේ විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් නොපැමිණි අයද ඇතුළුව 2/3ක බහුතරයක අනුමැතියකින් පමණක් බව එම තීන්දුවේ දක්වා තිබිණ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම්වලින් නීතිපති, මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපතිවරයා සහ සාමාජිකයන් වගඋත්තරකරුවන් කර තිබිණ. එම පෙත්සම්වල සඳහන්ව තිබුණේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය. මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබිණ.
මෙම පෙත්සම් විභාගයේදී පසුගිය 4දා සිට 7දා දක්වා දින හතරක් පුරා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් දීර්ඝ වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විග්‍රහ කරමින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම පෙත්සම් විභාගය නිමකර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් දැමිණ. ඒ අතර ජනාධිපතිවරයා විසින් තීන්දුව අප්‍රමාදව ප්‍රකාශයට පත් කරන ලෙස නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කර තිබූ බවද වාර්තා විය.
පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ඊ. කනග් ඊශ්වරන් මහතා නැවත වරක් කරුණු දක්වමින් නීතිපති පෙත්සම විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත නොහැකි බව අවධාරණය කළේය. එසේම ඔහු තර්ක කළේ ජනාධිපතිවරයා සිදුකළ මෙම ක්‍රියාව මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවටය. ජනාධිපති සිදුකරන සෑම ක්‍රියාවක්ම විධායක සහ පරිපාලන ක්‍රියාවක් බවට තර්ක කළ හේ වැඩිදුරටත් පැවසුවේ ඒ බව ජනාධිපතිවරයාගේ බලය ගැන පැහැදිලි කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වන බවය.
ඔහු පෙන්වා දුන් තවත් දෙයක් වූයේ ජනාධිපති සතුව මුලින් තිබූ ඔහුට නඩු පැවරිය නොහැකි බවට වූ මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව අඩුකර ජනාධිපති කරන ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තියට අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් අධිකරණය හමුවේ ගොනුකිරීමට ප්‍රතිපාදන සැලසී ඇති බවය.
මෙහිදී නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා යළි අවධාරණය කළේ ජනාධිපති ගැසට් නිවේදනය නිකුත් කළේ ව්‍යවස්ථාව අනුව වන අතර ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලය ගැන සඳහන් වන්නේ විධායක බලයක් ලෙස මිස විධායක හෝ පරිපාලන ක්‍රියාවක් සම්බන්ධයෙන් නොවන බවය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) අනු සහ 62(2) යන වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයා තමාට ලැබී ඇති විධායක බලතල උපයෝගී කරගෙන එම බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා ඇති බවය. එමගින් කිසිවකුගේවත් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව නැති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය යටතේ මෙවැනි පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පවසා සිටියේය. ඔහුගේ මූලික ඉල්ලීම වූයේ ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙසටය.
අතරමැදි පෙත්සම්කාර කැෆේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පෙන්වා දුන්නේ මේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් උද්ගත වී ඇති අතර ඒ පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොව ව්‍යවස්ථාදායකය විසින්ම බවය.
දැනට රටේ ආණ්ඩුවක් නොමැති බව ප්‍රකාශ කළ නීතිඥවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා බවය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(1) අනුව අමාත්‍ය මණ්ඩලය යනු ආණ්ඩුව බවද ඔහු කියා සිටියේය. එවිට ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වය ආණ්ඩුව මගින් සිදුකරන බවද ඔහු පැවසීය. එසේම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිට ඇති අභිමතානුසාරී බලය අනුව අගමැති පත් කිරීමට මෙන්ම ඔහු ඉවත් කිරීමටද හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සමතුලිත ලෙස ක්‍රියාත්මක විය යුතු නමුත් අද රටේ උද්ගතව ඇති තත්ත්වය අනුව මේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වී ඇතැයිද පැවසීය. ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවේ මෙම ගැටුම අවසන් කර රටේ ව්‍යවස්ථාදායකය සාමකාමී කළ යුතු බවය. මේ හිරවීම තුළ ඇත්තවශයෙන්ම හිරවී ඇත්තේ රටේ ජනතාව බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම පෙත්සම්වලට අමතරව ඒවාට එරෙහිව ගොනුකර තිබූ අතරමැදි පෙත්සම් 6ක්ද විභාගයට යොමු වූ අතර එසේ විමසුමට ලක් කිරීමට නොහැකි වූ පෙත්සම් 5ක් ලබන ජනවාරි 10දා කැඳවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට පක්ෂව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් ගොනුකළ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, මහාචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ යන මහත්වරුන්ද පෙනී සිටි අතර අතරමැදි පෙත්සම්කාර නීතිඥ ගෝමින් දයා ශ්‍රී මහතා වෙනුවෙන් ඔහුම පෙනී සිටියේය. අතරමැදි පෙත්සම්කාර මන්ත්‍රීවරුන් 10 දෙනකු වෙනුවෙන් නීතිඥ වී.කේ. චොක්සි මහතාද පෙනී සිටියේය.
රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් සහ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා යන මහත්වරුන් සමඟ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පෙනී සිටියේය.
මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ඊ. කනග් ඊශ්වරන්, තිලක් මාරපන, ඉක්‍රාම් මොහොමඩ්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජේ.සී. වැලිඅමුණ යන මහත්වරුන්ද, නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, විරාන් කොරයා, හිජාස් හිස්බුල්ලා, සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන්ද පෙනී සිටියහ.
►යසවර්ධන රුද්රිගු