
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 03 වැනි සඳුදා ආරම්භ විය. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවෝ 422.850ක්ද, පෞද්ගලික අයැදුම්කරැවෝ 233,791ක්ද පෙනී සිටියහ. ඒ අනුව දිවයින පුරා පැවති විභාග මධ්‍යස්ථානවලදී විභාග අයැදුම්කරැවන් 656,641 දෙනෙක් පෙනී සිටියහ.
දෙසැම්බර් මස 06 වැනි දිනට යෙදී තිබුණේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයයි. මෙම ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ලබාදුන් ඉංග්‍රීසි ගුරුවරියක් පිළිබඳව පැමිණිල්ලක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
බලංගොඩ විභාග මධ්‍යස්ථානයක පාසල් අපේක්ෂකයකු ලෙස විභාගයට පෙනී සිටි මේ සැකකාර ශිෂ්‍යයා ඉංග්‍රීසි භාෂාවට අමතර පන්ති ගොස් තිබුණේ තිස් හැවිරිදි අදාළ ගුරුතුමිය වෙතටය.
සුපුරුදු පරිදි පාසල් ශිෂ්‍යයා ඉංග්‍රීසි භාෂා විභාගය සඳහා විභාග ශාලාවට පිවිසියේය. ඒ වනවිට එම ප්‍රදේශයේම වෙනත් පාසලක ඔහුගේ ගුරැතුමිය විභාග රාජකාරියේ නිරතව සිටියාය. ප්‍රශ්න පත්‍රය ලද සැණින් විභාග රාජකාරිය පසෙකලා ඉංග්‍රීසි ගුරුතුමිය තම ජංගම දුරකතනයෙන් ප්‍රශ්න පත්‍රයට උත්තර හනිහනිකට ටයිප් කළාය.
ඒ වනවිටත් ඉතා රහසිගත ලෙස සිසුවා තම ජංගම දුරකතනය සඟවාගෙන සිටියේය. අනෙකුත් විභාග අපේක්ෂකයන් තම දැනුමට අනුව පිළිතුරැ පත්‍රය ලිවීමට මහන්සි ගත්තද ඔහුට කිසිදු වෙහෙසක් ගැනීමට අවශ්‍ය නොවීය. ඔහු ඔහුගේ ජංගම දුරකතනයෙන් පිළිතුරු ගලා එනතුරු බලා සිටියේය.
රාජකාරිය පසෙකලා ඉංග්‍රීසි ගුරුවරිය රාජකාරි මධ්‍යස්ථානයේ සිට පිළිතුරු කෙටි පණිවිඩ මාර්ගයෙන් යවන්නට උත්සාහ කළාය. නමුත් ඒ උත්සාහය අසාර්ථක විය. විභාග වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාර ගුරුවරිය අත්අඩංගුවට පත් වූවාය. එමෙන්ම විභාගය ලියමින් සිටි විභාග අපේක්ෂකයාද අත්අඩංගුවට පත් විය. මෙහිදී ප්‍රථමව අත්අඩංගුවට පත්වූයේ විභාග අපේක්ෂකයාය.
බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව මෙම සැකකරැවන් දෙදෙනා අත්අඩංගුවට පත්කර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා විසින් මෙම එක් අයකුට ලක්ෂ දෙක බැගින් ශරීරඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කරන ලදී.
මෙවැනි චෝදනාවක් ඇතිවූ විට වරදකරු වූ තැනැත්තා හෝ තැනැත්තිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් වැඩ තහනමකට ලක් කළ හැකි බවත් යම් හෙයකින් ඔහු හෝ ඇය එම චෝදනාවට සම්පූර්ණයෙන්ම වැරදිකාරියක හෝ වැරදිකරැවකු වුවහොත් සේවයෙන් පහකිරීමටද හැකි බවත් සඳහන් වෙයි.
වසර ගණනාවක් තිස්සේ පාසල් අධ්‍යාපනය ලබමින් එකතු කරගත් දැනුම ප්‍රයෝජනයට ගෙන විභාගය ලියන්නට සුදුසු වාතාවරණයක් තිබුණද තව කෙනකුගේ උදව්වෙන් නීති විරෝධී ලෙස විභාගය ලියන්නට ගොස් නීතියේ රැහැනට හසුවී තවත් ශිෂ්‍යයකුගේ අනාගතය එසේ අඳුරු විය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ආයතනයේ ප්‍රධාන තොරතුරැ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතාගෙන්ද අපි විමසීමක් කළෙමු. ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩ මාර්ගයෙන් විභාගයට පිළිතුරු යැවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ගේ ආයතනය ඍජුවම සම්බන්ධ නැතත් ජංගම දුරකතන ඔස්සේ නිතරම දකින්නට අසන්නට ලැබෙන කරැණු අනුව සයිබර් අපරාධ වැඩිවීමක් දක්නට ඇතැයි ඔහු පවසයි.
ජංගම දුරකතනයක් සම්බන්ධව පොදුවේ අපට ලැබෙන පැමිණිලි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සමාජ ජාල වෙබ්අඩවි හරහායි. ජංගම දුරකතනය අස්ථානගත වී එම ජංගම දුරකතනයේ තිබූ ඡායාරූප තවත් කෙනකු වෙනත් අනවශ්‍ය දේවල්වලට පාවිච්චි කිරීමේ අවස්ථා පැමිණිලි ලෙස අපිට බොහෝමයක් වාර්තා වෙනවා. ජංගම දුරකතන හරහා වට්ස්ඇප්, වයිබර් වැනි දෑ පාවිච්චි කර ඒ හරහා තමුන්ගේ ගිණුම් වෙනත් කෙනෙක් පාවිච්චි වුණු ප්‍රශ්නත් තියෙනවා. යැයි රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.
අද වෙද්දී බොහෝ ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ අන්තර්ජාලයේ සැරිසරන්නට අවකාශය ලැබී තිබේ. තමන්ගේ මුහුණුපොතේ ඇති ගිණුමට හොඳ මුරපදයක් දැමීම ඉතා වැදගත් වේ. ඇතැමුන් තම ජංගම දුරකතනය නිතරම පරිහරණය කිරීම හේතුවෙන් නිතරම එකී මුරපද අංකය පෙනෙන්නට තබයි. මෙයින් ජංගම දුරකතනය වෙනත් අයකු අතට පත්වුවහොත් තමුන්ගේ ගිණුමට ඉතා ඉක්මනින් ඇතුළු වීමේ හැකියාව ලැබේ. ඒ හැකියාව ඔබ විසින්ම ඔවුන්ට ලබාදුන් ආයුධයකි.
එවැනි අවස්ථාවලදී ඇතැමුන් වෙනත් ක්‍රමයකින් මෙම Password එක යොදා අදාළ ගිණුමට ඇතුළු වීමට උත්සාහ කරනවා. නමුත් එවිට ඇතිවන විශාලම ගැටලුව වන්නේ ඔවුන්ට තමන්ගේම Password එක අමතක වීම යැයි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරැ රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියයි.
ජංගම දුරකතනය ඉතා වාසිදායක තාක්ෂණික උපකරණයකි. නමුත් එය නීති විරෝධී කටයුත්තක් සඳහා යොදාගැනීම කිසිසේත් අනුමත කළ නොහැක. බලන්ගොඩ ශිෂ්‍යයාගේ විභාගය අවලංගු කර දැමීමටද මෙම ජංගම දුරකතනයට හැකියාව තිබුණි. එක කෙටි පණිවිඩයකින් අවසානයේදී ඔහුගේ මුළු පාසල් අධ්‍යාපනයම අඳුරු විය.
දිශානි ජයමාලි කරුණාරත්න