
1. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් ලබා දී තිබෙනවා. මෙතනින් එහාට මොකද වෙන්නේ?
2. වැඩිකල් නොයවා මහ මැතිවරණයක් පැවැත්වීම හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීම සහ මේ දෙකම පැවැත්වීමට අදහස් මතු වෙලා තියනවා. මේ ගැන මොකද කියන්නේ?
3. එජාප රජයකට සහාය දැක්වීමට ටී.එන්.ඒ. එක එකඟ වුණා. එතැනදී පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ වෙලා තිබෙනවා පිළිගත හැකි දේශපාලන විසඳුමක් වෙනුවෙන් කැපවී කටයුතු කරන බව. මේ ගැන මොකද්ද ඔබගේ අදහස?
4. පසුගිය මාස එකහමාරක කාලය තුළ ජනතාව හිටියේ අප්‍රමාණ පීඩාවකින්. දැන්වත් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙයිද?
රට අරාජික නොකර වහාම රනිල් මහත්තයා අගමැති කළ යුතුයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ
1. දැන් මේ තීන්දුව එක්ක පාර්ලිමේන්තුව ඉස්සරහට යනවා. එහෙම යනවනම් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුවක් හදන්න ඕන. එහෙමනම් 19 සංශෝධනය අනුව ජනාධිපතිවරයාට දැරිය හැකි අමාත්‍යංශ 3ක් තියෙනවා. ඉදිරි අමාත්‍යංශවල වැඩ කරගෙන යාමට ආණ්ඩුවක් හදන්න බහුතරක් ඇති පුද්ගලයාට බලය දෙන්න ඕන. දැන් අපි පෙන්නුව කාටද පාර්ලිමේන්තුව තුළ බහුතරය තියෙන්නේ කියලා. ඒ නිසා ජනාධිපතිතුමා තවදුරටත් රට අරාජික කරන්නේ නැතුව වහාම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයා විදිහට පත්කළ යුතුයි.
2. ජනාධිපතිවරයා මේ ගත්ත තීන්දු තීරණ නිසා රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයක් කියලා තමයි ජනතාවගේ ඉල්ලීම්වලින් පැහැදිලි වෙන්නේ. එන ජනවාරි 08න් පස්සේ ජනාධිපතිවරණයක් කැඳවිය හැකියි ජනාධිපතිවරයාට. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවිය නොහැකියි. ඒ නිසා අපි කියන්නේ මුලින්ම ජනාධිපතිවරණය තියන්න. ඊට පස්සේ මහ මැතිවරණයක් තියන්න.
3. උතුරේ එතුමන්ලට වගේ දකුණේ අපිටත් එකඟ විය හැකි මේ රට නොබෙදෙන බුද්ධාගමට ව්‍යවස්ථාවට අනුව තියන මූලික තැනට කිසිදු විදිහේ හානියක් නොවන රට කැඩෙන්නේ නැති රට බෙදෙන්නේ නැති කාගෙත් ගරුත්වය ආරක්ෂා වෙන විසඳුමක් අපි දිය යුතුයි. ඒ දේශපාලන විසඳුමට අපි එකඟයි. එහෙම නැතුව වෙන කිසිදු විදිහකින් මේ රට අස්ථාවර වෙන කිසිම දේකට අපි එකඟ වෙන්නේ නැහැ.
4. ඇත්ත වශයෙන්ම අපිත් ඉතා අසීරුතාවයකට පත් වුණා දේශපාලන අස්ථාවරභාවය එක්කම. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ දවස් 15කටත් අඩු ගණනක් වැඩ කරන්න තියෙන දවස්. ඉතින් මේ දවස් කිහිපය තුළ සහ ලබන වසර තුළ හැකි ඉක්මනින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රට ගැන ලෝකයේ තිබුණු ඒ කළු චිත්‍රයත් ඉවත් කරන්න ලොකු ගමනක් යන්න වෙනවා. ඒ සියල්ල ඉක්මනින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
බහුතර ජනතාවගේ බලාපොරොත්තුව මහ මැතිවරණයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි
1. මෙතන වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අත්හිටුවීමයි. ඉතින් ඒ තීරණයට අනුව 2020 අප්‍රේල් දක්වා විසුරුවා හැරීමකින් තොරව ආණ්ඩුව කරගෙන යායුතුයි. ඒ වගේම අනාගත පාර්ලිමේන්තු පවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එක්ක එකඟ වී පළමු දිනයේ සිට 3/ 2ක බහුතර මන්ත්‍රී ඡන්දයෙන් විසුරුවා හරින ලෙස ඉල්ලීමක් නොවන තාක්කල් පාර්ලිමේන්තුවේ ආයු කාලය බල පවත්වලා තියන එක තමයි මේ තීන්දුව මගින් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරලා තියෙන්නේ.
2. ඇත්තටම මෙතන ව්‍යවස්ථානුකූලව මේ තීරණය සාධාරණයි. නමුත් මේ රටේ ප්‍රශ්නය සම්බන්ධව බැලුවම රටේ බහුතරයක් ජනතාවගේ බලාපොරොත්තුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ මැතිවරණයක්. ඉතින් මේ ජනතා බලාපොරොත්තුව ඉටු වුණාද කියන ප්‍රශ්නය තියෙනවා.
3. පසුගිය මාස එකහමාරක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන කතාව වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තුළ ආණ්ඩු පක්ෂයක් හා විපක්ෂයක් තියෙනවා. විපක්ෂයේ සහයෝගයෙන් අගමැතිවරයා පත් කිරීමට සහය දීම සාධාරණ නෑ. ඒක විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබිඹු කිරීමක් හැටියට තමයි මම දකින්නේ. දැන් ටී.එන්.ඒ. එක අගමැතිවරයාට සහාය දෙනවා කියන්නේ ඒ අය එජාපය එක්ක එකට වාඩි විය යුතුයි. එහෙම නැතුව ඔවුන් විපක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරයටත් ආණ්ඩුවේ කාර්යභාරයටත් හවුල් වෙනවනම් ඒක මහ විකෘති තත්ත්වයක්.
4. ඒක අහන්න ඕන දැන් මේ නව රජය යැයි කියාගන්න අයගෙන්. පසුගිය මාස එකහමාරකට කලින් වෙච්ච දේවල් එක්ක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධූරයට පත් කරන්නේ. මේ ටික කාලයට අපි සහන රැසක් ලබා දුන්නා. මේ අයට වසර තුනහමාරක් යනකම් ඒක කරන්න බැරි වුණා. ජනතාව තේරුම්ගත යුතුයි මේ ගැන කාටද සහන දෙන්න පුළුවන් කියලා.
ඡන්දයක් ඕනෑ පොහොට්ටුවේ කට්ටියට පමණයි
කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම්
1. ඇත්තටම බහුතරය තියන අයට ආණ්ඩු කරන්න දෙන්න ඕනනේ. ඒ නිසා ජනාධිපතිතුමා අධිකරණ තීන්දුවට ගරු කරලා බහුතරය තියන රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරලා ආණ්ඩුව කරන්න ඉඩ දිය යුතුයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව.
2. මැතිවරණයක් ඕන කියලා කියන්නේ පොහොට්ටුවේ කට්ටිය විතරයි. අනිත් කිසි කෙනෙක් මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ. අද මුළු රටම මහ මැතිවරණයක් ඕන කියන්නේ නැහැ. ඒ නිසා පොහොට්ටුවේ කණ්ඩායම මැතිවරණයක් ඉල්ලුවට ඒක මුළු රටම මැතිවරණයක් ඉල්ලනවා කියලා කියන්න බැහැ. ආණ්ඩුව විසුරුවලා ජනතාවගේ සල්ලි වියදම් කළ යුතු නැහැ. මේ ආණ්ඩුවට තවත් වසර එකහමාරක කාලයක් තියෙනවා.
3. දෙමළ සන්ධාන නායකයා ඉතාම හොඳ නායකයෙක්. එතුමා කියලා තියනවා වෙන රාජ්‍යයක් නැහැ, ඊළාම් නැහැ, ඒකීය රටක් ලෙස ඉදිරියට යන්න සූදානම් කියන එක. ඉතින් ඒ ගැන සිංහල ජනතාව ආඩම්බර විය යුතුයි.
4. මෙතන තිබුණේ ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවත් කරන්න බොහොම අමාරුයි. මෙතනදි වුණෙත් ඒක. නිදහස් පක්ෂයේ අය ජනපතිවරයාට කේලම් කියලා මේ ආණ්ඩුව බිඳ වැට්ටුවා. අන්තිමට ඒකෙන් පීඩාවට පත් වුණේ ජනතාව. අපි දැන් රටේ ජනතාවට ඒ මග හැරුණු සියලු දේවල් ඉටුකර දෙන්න අවශ්‍ය කටයුතු කරනවා ඉක්මනින්ම. ජවිපෙ -
ටී.එන්.ඒ යූ.එන්.පී. විදේශීය බලවේගවලට ඕනෑ විදිහටයි වැඩ කෙරෙන්නේ
ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර
1. අපගේ එකඟතාවයක් නැතත් අපි ඒ තීන්දුවට ගරු කරනවා. එතැනින් එහාට අපි දන්නවා ජේ.වී.පී එක, ටී.එන්.ඒ. එක සහ යූ.එන්.පී එක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිවරයා ලෙස පත් කරන්න තමයි උත්සාහ කරන්නේ. විදේශීය බලවේගවලට ඕන ලෙස කටයුතු කරන්න තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවට විදෙස් තානාපතිවරු එන්නේ. විදෙස් මාධ්‍ය එන්නේ. විදේශීය බලවේගවලට අත පොවන්න තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ.
2. මහමැතිවරණයක් දෙන්න කියලා තමයි අපි කිව්වේ. මේ රටේ ජනතාව, මහ සඟරුවන, වෘත්තියවේදීන්, විද්වතුන් වැනි බොහෝ දෙනෙක්ම ඉල්ලුවේ මැතිවරණයක්. සල්ලිවලට එහාට මෙහාට යන මන්ත්‍රීවරු අයින් වෙලා වෙලා ජනතාවට තමන්ට කැමති පාලනයක්, අගමැතිවරයෙක් පත්කරන්න අවස්ථාවක් තමයි මොවුන් ඉල්ලුවේ. නමුත් එය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප වුණා.
3. ටී.එන්.ඒ. එක මහින්ද රාජපක්ෂ මහත්තයටත් කොන්දේසි ඉදිරිපත් කළා. ඔවුන්ගේ යෝජනාවලට කැමති වුණානම් ඔහුටත් තිබුණා මොවුන්ගේ සහය ගන්න. නමුත් එතුමා ඒ කිසි දෙයකට එකඟ වුණේ නැහැ. ඒ නිසා තමයි මොවුන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමට සහය දැක්වූයේ.
4. ජනතාවට ප්‍රශ්න තිබුණේ, පීඩාවට පත් වුණේ මේ මාස එකහමාරක කාලය තුළ නෙවෙයි. පසුගිය අවුරුදු තුනහමාරක කාලය තමයි ජනතාව පීඩාවට පත් වුණේ. දැන් මේ ජනතාවට සහය ලැබුණේ, යම් පිළිසරණක් ලැබුණේ මේ මාස එකහමාරක කාලය තුළ. එහෙම නැතුව පසුගිය අවුරුදු තුනක කාලය තුළ නෙවෙයි.
ටී.එන්.ඒ. ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදිය යුතුයි
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
1. මෙතනින් එහාට විය යුත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දැන් තියන ආණ්ඩුව තමන්ගේ මේ ක්‍රියාකලාපය වැරදි බවට පිළිඅරගෙන ඉල්ලා අස්වෙලා බහුතරය තියන රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එජාපයට ආණ්ඩුවේ බලය ලබා දීම. ඒ විදිහට කටයුතු කරන්න ඔවුන් අකමැති වීම කියන්නේ මේ රට තවත් අරාජික වෙන එක පමණයි. ඒ නිසා හොඳම දේ තමයි මොවුන් වැරැද්ද පිළිඅරගෙන එජාපයට ආණ්ඩු බලය ලබාදීම.
2. මහමැතිවරණයක් පැවැත්විය යුතුයි කියන්නේ රාජපක්ෂ කණ්ඩායම. ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නැහැ. දැන් කවුරු ආණ්ඩුව කළත් තව වසර එකහමාරකට පෙර මහමැතිවරණයට යා යුතුයි කියන එක තමයි මගේ අදහස.
3. මම හිතන විදිහට මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳීමට නම් ටී.එන්.ඒ. එත සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව එක තැනකට ඇවිල්ලා සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි. දෙමළ කතා කරන ජනතාවට ඒ අයිතිවාසිකම් ලබාදීම තමයි හොඳම දේ. එහෙම නැති වුණොත් නැවතත් ජාතිවාදය හිස එසවීමට පටන් ගනියි.
4. ඒක ඉතාම ඉක්මනින් කරන්න පුළුවන් මාසයක් වගේ කාලයක් තුළ. ස්ථාවර ආණ්ඩුවක් යටතේ ප්‍රශ්න විසඳීමට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ.
ඡන්ද දෙකම එකට තියන එක තමයි හොඳ
එම්.එච්.එම්. සල්මාන් (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩල සභික)
1. අධිකරණය ස්වාධීන තීන්දුවක් ලබා දුන්නා. ජනාධිපතිවරයා ඊට පස්සේ කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායමට බලය ලබා දීලා අගමැතිවරයකු පත් කිරීම. මොකද ස්වාධීන තීන්දුවට අධිකරණයට අපි හැමෝම ගරු කළ යුතුයි.
2. ඇත්තටම මැතිවරණ දෙකම එකට පවත්වනවානම් ඉතාම හොඳයි. එකක් තමයි මැතිවරණවලට යන වියදම අඩු වෙනවා. ඒ වගේම ජනතාවට බලාපොරොත්තු තබාගත හැකියි. නැවත මැතිවරණයක් පැවැත්වෙන තුරු මේ රටේ ස්ථාවරභාවයක් නැහැ.
3. රටේ තියන දේශපාලන ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නය විසඳීමට ගත්තු හොඳම දේ තමයි මේ තීරණය. මොකද ඒකීය රටක් නිර්මාණය කිරීමේදී දකුණට මෙන්ම උතුරටත් සමාන ලෙස ඒ ඒ අයිතිවාසිකම් ලබා දිය යුතුයි.
4. යහපාලන රජය පවතින කාලයෙන් ජනතාවට සහන ලබා දුන්නා. දැනුත් මේ ජනතාවට සහන ලබා දෙයි ඉක්මනට. මොකද විශාල පාඩුවක් ආර්ථිකයට සිදු වුණා සති හයක කාලය තුළ. ආදායම් මාර්ග කඩා වැටුණා. මේ සියල්ල හරිගස්සලා හැකි ඉක්මනින් ජනතාවට සහන ලබා දෙයි.
►හසිත් අංජන