2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

සංචාරක කර්මාන්තයට නොනගතය ලබයි

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 156
උද්ගත වී ඇති දේශපාලන අර්බුදය මත මෙරට සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් කඩාවැටී තිබෙන බව ශ්‍රී ලංකා හෝටල් සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය කියා තිබුණේ පසුගිය නොවැම්බර් 18 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුව ඇති බව ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින්ද පැවසෙයි.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට මෙරට තුළ උද්ගතව තිබෙන දේශපාලන අස්ථාවරභාවය මැද නොවැම්බර් මස තුළ පමණක් සංචාරකයන් 50,000ක් පමණ සිය සංචාර අවලංගු කරගෙන ඇතැයි ආරංචි මාර්ගවලින් හෙළි වී තිබේ.

පසුගිය 2017 වසරේ නොවැම්බර් මාසයේදී යුරෝපය ඇතුළු රටවලින් මෙරටට පැමිණි සංචාරකයන් ගණන එක්ලක්ෂ හැටහය දහසක් පමණ වුවද ඇතිවී ඇති දේශපාලන අස්ථාවර බව නිසා මෙම වසරේ නොවැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසකට පමණ සීමාවී තිබේ.

‘ද ලෝන්ලි ප්ලැනට්’ සඟරාව විසින් ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම රටක් ලෙස වාර්තා කිරීමත් සමඟ පසුගිය ඔක්තෝබර් මාසය මුලදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම අනෙක් මාසවලට සාපේක්ෂව සියයට 0.5කින් ඉහළ ගොස් තිබුණ ද මේ වනවිට මෙරට තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිසා එය නැවතත් ඇදවැටී තිබේ.

‘ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ්අඩවිය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 4.5ක් ඕස්ට්‍රේලියානු ජාතිකයෝ වෙති. ඒ අනුව බැලූවිට මෙරටට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයන්ගේ ප්‍රමාණය වේගයෙන් වර්ධනය වෙමින් තිබී ඇත. 2018 වර්ෂයේ මුල් කාලසීමාව තුළ පෙර වර්ෂවලට වඩා ඕස්ට්‍රේලියානු සංචාරකයන් ප්‍රමාණය 45%කින් වර්ධනය වී තිබේ. ඒ නිසාම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව සමඟ ඍජු ගුවන් සේවයක් ආරම්භ කර තිබූ බවත් මේ වෙද්දී ඒ හරහා පැමිණෙන්නට තිබූ ගුවන් ගමන් වාර බොහෝමයක් අවලංගු වෙමින් පවතින බවත් ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ අඩවිය වාර්තා කරයි.

එමෙන්ම අපගේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවෙන් මෙරටට පැමිණීමට නියමිතව තිබූ සංචාරකයන් 2000ත් 6000ත් අතර පිරිසක් මේ වනවිට තම සංචාරක වෙන්කිරීම් අවලංගු කර ඇති අතර ඒ සඳහා ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටවලට තම සංචාරයන් සැලසුම් කරන බද ‘හින්දු’ පුවත්පතෙහි වාර්තාවක සඳහන් වී තිබේ.

සංචාරක ඉලක්ක සපුරාගන්න බෑ.
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත

“2017 වසරේ දෙසැම්බර් මාසයේ පමණක් මෙරටට විදේශිකයන් 244,000ක් පැමිණ තිබෙනවා. නමුත් මෙම වසරේ දෙසැම්බර් මාසයේ එතරම් සැලකිය යුතු පිරිසක් සංචාරයට පැමිණ නැහැ. සමස්තයක් ලෙස ගත් කල පසුගිය මාස 10ක පමණ කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.88ක් පමණ වෙනවා. එය පසුගිය වසරවලට සාපේක්ෂව සියයට 10.6ක ඉහළ යාමක්. නමුත් පසුගිය මාසයක විතර කාලයක් තුළ සීඝ්‍රයෙන් පැමිණෙන පිරිස පහත ගිහින් තියෙනවා. 2018 වසර අවසන් වෙනකොට සංචාරකයන් ගෙන්වාගැනීමේ මිලියන 03ක ඉලක්කයක් තිබුණා. නමුත් මේ වනවිට එම ඉලක්කය සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. ඒ වගේම 2018 වසරේ මුල් මාස 08 තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.93 ක්. නමුත් මේ සංචාරකයන්ගේ පැමිණීමේ කාලසීමාව තමයි දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් වෙනකම් කාලය. ලංකාවේ මේ වෙනකොට ඇතිවෙලා තියෙන තත්ත්වය එක්ක අපි තවමත් මේ පාඩුව ගණං හදලා නැහැ. මේක මෙරට ආර්ථිකයට විශාල ප්‍රශ්නයක්.”

බුකිං පනස්දාහකට වඩා කැන්සල්
හික්කඩුව හෝටල් හිමියන්ගේ සහ සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර ද සිල්වා

“මේ සීසන් එකට තමයි විදේශිකයන් විශාල වශයෙන් පැමිණෙන්නේ. නමුත් මේ වෙනකොට යුරෝපා රටවලින් දාපු බුකින් 50,000කට වැඩිය කැන්සල් වෙලා තියෙනවා. ඒ අයගෙන් ඇහුවම ඔවුන් කියන්නේ ඒ රටවලින් ඔවුන්ට දැනුම් දීමක් කළා කියලා. මේ වෙලාවේ ශ්‍රී ලංකාව සුදුසු තත්ත්වයක නැහැ කියලා. කොහොම වුණත් මේ හේතුවෙන් බැටකන්නේ අපි. විශාල ලෙස සංචාරකයන් පැමිණෙන මේ වගේ කාලයක සංචාරකයන් පැමිණීම අඩුවීම රටේ ආර්ථිකයටත් බලපාන සාධකයක් වෙනවා. ඒ වගේම තමයි සංචාරකයන් පැමිණීමත් සමඟම වක්‍රාකාරව රැකියාවලින් ආදායම් උපයාගත් බොහෝ දෙනකුට බඩේ පාර වදිනවා. හික්කඩුවේ පසුගිය වසර කිහිපය තුළම සංචාරක හෝටල්, ගෙස්ට් හවුස් බුක් වෙනවා. නමුත් දැන් මේ සියල්ල කැන්සල් වෙලා තියෙන්නෙ. මේ තත්ත්වය හැකි ඉක්මනින් විසඳාගැනීමට නොහැකි වුණොත් සංචාරක කර්මාන්තය කඩාවැටෙන එක නවත්වන්න බැහැ.”

යුරෝපයේ අය කවුරුත් නෑ
මීගමුව සංචාරක කලාපයේ නිවාඩු නිකේතන හිමිකරුවකු වන එස්.එම්. පෙරේරා

“දෙසැම්බර් මාසය කියන්නේ මේ රටට විදේශිකයන් පැමිණෙන කාලසීමාව. නමුත් මේ අවුරුද්දේ මේ වෙනකොටත් සංචාරකයන් පැමිණීම අඩුවෙලා තියෙන්නෙ. ආපු අයත් වැඩිදෙනා ඉන්නේ ආසියාතික රටවල විදේශිකයන්. යුරෝපීය රටවලින් පැමිණෙන විදේශිකයන් තවම කවුරුත් පැමිණිලා නැහැ. ඒ වගේම තමයි ඇතැම් යුරෝපීය රටවල සංචාරකයන් මාස දෙකකට තුනකට පෙර කරලා තිබුණු සියලුම බුකින් කැන්සල් කරලා තියෙනවා. මේ සංචාරක කර්මාන්තය අපි කරගෙන යන්නේ දැන් අවුරුදු ගාණක ඉඳන්. කවදාවත් සීසන් එක තිබුණු කාලේ අපිට මේ විදියට බුකින් කැන්සල් වෙලා තිබිලා නැහැ. නමුත් රටේ පවතින දේශපාලන ප්‍රශ්නය නිසා මේ තත්ත්වය ඇතිවෙන්න ඇති. කොහොම වුණත් මෙය ඉක්මනට විසඳාගැනීමට නොහැකි වුණොත් කර්මාන්තය තවත් අර්බුදයකට යනවා.”

මාතර ටවුන් එකේ වෙනදාට සංචාරකයො පිරිලා
මිරිස්ස සංචාරක කලාපයේ සංචාරක මඟපෙන්වන්නකු වූ එස්.ඒ. ජයසූරිය

“සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා කියලා දැන් බැලූ බැල්මට පේන්න තියෙනවා. වෙනදා මාතර ටවුන් එකේ විදෙස් සංචාරකයන් පිරිලා හිටියා දෙසැම්බර්, ජනවාරි වගේ වන විට. නමුත් දැන් සංචාරකයන් පැමිණීම අඩුවෙලා තියෙන්නෙ. හොටෙල් හිමිකරුවන් වගේම ක්ෂේත්‍ර ගණනාවක අය මේ නිසා දැඩි අර්බුදයකට වැටිලයි ඉන්නේ.”

සංචාරක කර්මාන්තයට සම්බන්ධ වූ සියලු දෙනා පෙන්වාදෙන ආකාරයට මේ වනවිට මෙරට සංචාරක කර්මාන්තය ඇත්තේ අනතුරුදායක තත්ත්වයකය. දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා නැවත සංචාරක ආකර්ශනයකට රට යොමුකිරීම බලධාරීන්ගේ වගකීමය.

►සටහන:- හසිත් අංජන