2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

යාපනය පොලීසිය හඬවමින් නිහඬ වූ බෝම්බ විශේෂඥ සාසා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

යුද්ධය අවසන් වුණද ශ්‍රී ලංකාව තුළ යුද්ධයේ අතුරු සෙවණැලි වූ බිම් බෝම්බ දවසින් දවස මතුවන්නේ අලුයට ඇති ගිනි පුපුරු සේය මේ බිම් බෝම්බ සහ මත්ද්‍රව්‍ය උවදුරත් මේ වනවිට තවත් යුද්ධයක් සේය.

මත්ද්‍රව්‍යත් බිම්බෝම්බත් තවත් කෙනෙකුට පෙනෙනවාට වඩා නොපෙනී ක්‍රියාත්මක වීම භීතියකට කරුණකි. එවැනි නොපෙ‍නෙන දෙයක් සොයා ගැනීමට නම් හොඳ ඉවක් තිබිය යුතුය. ඉව ඇල්ලීමට මිනිසෙකුට කළ නොහැකි වුවත් සුනඛයෙකුට හැකිය. ඉව ඇල්ලීමෙන්ද සුනඛයා වුවද ජ්‍යෙෂ්ඨත්වයට පත්වූවන් අප අසා ඇත.

එවැනි වූ ඉවක් ඇති ජ්‍යෙෂ්ඨ සුනඛයෙකි සාසා නැමති පොලිස් සුනඛයා. සාසා යනු යාපනය පොලීසියේම සුරතල් නාමයක් වුවද සාසාගේ වැඩවලින් නම් ඔහු සුරතල් නොමැති නිසාම සාසා කාටත් අමතක නොවන සුනඛයෙක් විය.
යාපනය කෝපායි පොලීසියට අනුයුක්ත කොට සිටි බෝම්බ සෙවීමේ සහ මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂඥයකු වශයෙන් සැලකූ පොලිස් සුනඛ සාසා හදීසි අසනීපයක් හේතුවන් පසුගිය 08 වැනිදා  මියගියේ කෝපායි පොලීසිය මෙන්ම යාපනය පොලීසියම හඬවමිනි.

සාසා පොලිස් සුනඛයා දරුණු වකුගඩු රෝගයකින් පෙළී සිටි බවට සාසාගේ ස්වාමියා වූ පොලිස් සැරයන් 32896 සමරවීර නිලධාරියා කියා සිටියේ මහත් කම්පාවකිනි. දරුවකු සේ හැදූ සාසා අහිමිවීම සමරවීර පොලිස් නිලධාරියාටද ඉවසාගත නොහැකි වී තිබිණි.

නමුත් දැඩි සෝ සුසුම් මැද්දේ සාසාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ආචාර හමුවේ ඉතා අලංකාරවත්ව සිදුකිරීමට කෝපායි පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

2010 මැයි 28 වැනිදා උපත ලද ඇති සාසා නෙදර්ලන්තයෙන් ගෙනැවිත් මෙසේ බෝම්බ පිළිබඳව පුහුණුව ලබා වසර කිහිපයක් පුරාවට කෝපායි පොලීසිය මහත් සේවයක් ලබා දුන්නේය. සාසා පසුගිය දින කිහිපයේදී රෝගාතුර වී ඇති අතර සාසා බේරාගැනීමට කළහැකි සියලු ප්‍රතිකාර සිදු කළද දිවි බේරා ගැනීමට නොහැකි විය.

2011 වසරේදී යාපනය යන සාසා යාපනයේ පොලීසියට සොයාගත නොහැකි වූ බිම් බෝම්බ වගේම විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ගෙන් හීන් සැරේ ගැලවී යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටද නීතියේ රැහැනින් ගැලවී යාමට නොලැබුණි. එලෙසින් අසීමිත සේවයක් සිදුකළ සාසා පසුගිය කාලයේදී දරුණු වකුගඩු රෝගයකින් පෙළීම නිසා එක්තැන් වී සිටියේය.

සාසා මියයාමෙන් පසුව මරණ පරික්ෂණ කටයුතු තිරුනෙල්වේලී පසු වෛද්‍ය කාර්යාලයේදී සිදු වූ අතර අමිල මෙහෙයක් සිදු කළ සාසා යාපනයේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේම මතකය සදා රැඳෙනු ඇත.

 වන්නි රොමේෂ් මධුෂංඛ