2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

කෝටි 700කට වැඩේදී ඕස්ට්‍රේලියා පැන්න කළුතර සක්විත්තා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

සෙන් හිරු වංචාවේ වගතුග බොහොමයක් දැනටමත් රටට අනාවරණය වී අවසන්ය. එහෙත් සෙන් හිරු පිටුපස වන තවත් අතුරු කතා බොහොමයකි. පසුගිය සතිය කැළඹූ සෙන් හිරු කතාවේ අලුත් තතු දැනගැනීමට අප සෙන් හිරු මන්දිරය අවට රවුමක් දැමීමට තීරණය කළෙමු. කළුතර කටුකුරුන්දේ සිට බසයේ රුපියල් විසිපහක දුර ගියපසු දොඩංගොඩ රේන්දපොළ හන්දිය හමුවෙයි. එතැන් සිට මලේගොඩ පාරේ මීටර් හාරසීයක් පමණ ගිය තැන මෙම ස්ථානය දැකගත හැක. කුඩා වෙල්යායක් මධ්‍යයේ පිහිටා ඇති සෙන් හිරැ මූලස්ථානය අද වනවිට මුද්‍රා තබා තිබේ. මෙම ස්ථානය අද වනවිට පාළුවට ගොසිනි.

මෙම ආයතනයේ හිමිකරු යැයි පැවසෙන අසංක ප්‍රේමචන්ද්‍ර නම් පුද්ගලයා පිළිබඳව අපි අවට ප්‍රදේශයේ කිහිපදෙනෙක් සමඟ කතා බස් කළෙමු. එවිට හෙළි වූ විස්මය දනවන සුළු කරුණු බොහෝමයකි. මෙම පුද්ගලයා විධිමත් අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙකු නොවන බව කියැවෙයි. එමෙන්ම ගම්මුන් කියන පරිදි අරක්කු ටිකක් සිගරුට් එකක් බොන්නවත් යහමින් අතමිට නොවූ ඔහු ප්‍රදේශයේ බල ඇති බලවත් චරිතයක ඇසුරට වැටී ඇත. ඔහු සමඟ ඇසුරු කරමින් ක්‍රමයෙන් අළු ගසා නැගිට්ට මොහු වසර දෙකහමාරකට පමණ ඉහතදී මෙම ව්‍යාපාරය අරඹා තිබේ. එසේම ක්‍රමයෙන් කෝටිපතියෙක් බවට පත්වූ මෙම පුද්ගලයාට මෙතරම් ව්‍යාපාරික ඥානයක් ලැබුණේ කෙසේදැයි කාටත් ඇත්තේ සැකයකි. කෙසේ නමුත් මුලදී මුදල් පොලියට දීම වැනි දෑ සිදුකළ මොහු අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ කාර්ය මණ්ඩලයක් සහිතව සෙන්හිරු ලෑන්ඩ් සේල් ඇන්ඩ් ක්‍රෙඩිට් ප්‍රයිවට් ලිමිටඩ් ඇරඹුවේ කෙසේද? මෙම ව්‍යාපාරයට මූලික ප්‍රාග්ධනය ලැබුණේ කෙසේද? මේවා තවමත් නොවිසඳුණු ගැටලුය.

මාධ්‍ය වාර්තා අනුව සෙන්හිරැ ව්‍යාපාරය සිදුකළ වංචනික කටයුතු බොහොමයක් රටට හෙළි වී තිබේ. මුදල් තැන්පතු භාරගැනීමට නම් මූල්‍ය ආයතනයට මහ බැංකුවේ අවසර අත්‍යවශ්‍ය වේ. නමුත් මෙම ආයතනයට එවන් අවසර නොතිබිණි. සෙන්හිරු මයික්‍රො ක්‍රෙඩිට් ලෙස හැඳින්වෙන මෙම ආයතනය ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි වී නොමැත. එහෙත් නාමපුවරුවට ක්ෂණික ණය සේවාවන්, රජයේ බලයලත් උගස් සේවාවන්, වාහන ඉඩම් විකිණීම් හා මිලදී ගැනීම් මෙම ආයතනය හරහා සිදුකර ඇත. අවස්ථානුකූලව විවිධ නම් වලින් පෙනී සිටීමට ඔවුන් කටයුතු කර ඇති බව මෙයින් පෙනී යයි. ඒ ඇතැම් නම් පෙනුමටත් ඇතැම් නම් නීතියෙන් ගැලවීමටත්ය.

කළුතර දිස්ත්‍රික්කයේ තදාසන්න නගර කිහිපයක ශාඛා ජාලයක්ද පවත්වාගෙන යමින් තැන්පත්කරැවන්ට විශාල පොලියක්ද ලබාදෙමින් මෙම ආයතන පවත්වාගෙන ගොස් තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ කාර්ය මණ්ඩලයක් සහිතව මෙවන් ව්‍යාපාරයක් වසර දෙකකට අධික කාලයක් තිස්සේ හොර රහසේ පවත්වාගෙන ගිය ආකාරය අපැහැදිලිය. තවද මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි කළුතර නමක් දිනූ ලේකම් චරිතයක් පිළිබඳව මේ වනවිට සැලකිය යුතු කතාබහක් ඇතිව තිබේ. ඔහුද පෙර කී බල ඇති බලවත් චරිතය හා සම්බන්ධය. එහෙත් මෙම අර්බුදයට පෙර ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වූ බව කියැවේ.

වාර්ෂිකව සීයයට 72කට ආසන්න පොලියක් තැන්පත්කරුවන්ට මේ ආයතනය ලබාදී ඇති බවද දැනගන්න ලැබුණි. එය මුදල් ඩබල් කිරීමක් හා සමානය. බලපිටිය, රත්නපුර, අනුරාධපුරය, නුවර ආදී දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි පිරිස්ද මෙම ව්‍යාපාරයේ මුදල් තැන්පත් කර තිබිණි. කරුණු කාරණා සොයාබැලීමේ දී හෙළිවූ තවත් කරුණක් නම් මෙම ආයතනයේ මුදල් තැන්පත් කළ ඇතැම් පුද්ගලයන් එතරම් ප්‍රමාණයක් මුදල් ඉපැයූයේ කෙසේදැයි පැහැදිලි කරගැනීම අපහසු බවයි. ඇතැමුන් රජයේ බදුවලින් බේරීම සඳහා විශාල ලෙස මුදල් මෙහි තැන්පත් කර තිබේ. තව පිරිස් තැන්පත් කර ඇත්තේ කළු සල්ලි හෙවත් වංචනික ලෙස උපයාගත් මුදල් බවත් කියැවේ. එමෙන්ම නීතිඥයන්, වෛද්‍යවරුන් මෙන්ම ප්‍රධාන පෙළේ වෘත්තිකයන්ද මෙම වංචාවට හසුවූ පිරිස අතර වෙති. ඇතැම් ව්‍යාපාරිකයෝ කෝටි ගණනින් මුදල් මෙහි තැන්පත් කර ඇතත් ඔවුන් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමට මැලිවෙති. එයින්ම මේ පිටුපස ඇති කතාන්දර දිග පළල සිතාගැනීම අපහසු නැත. විධිමත් විමර්ශනයක් හරහා තතු හෙළිවුවහොත් තවත් වංචනිකයන් බොහෝ දෙනකුගේ නම් ගම් එළියට පැමිණෙනු ඇත.

මෙම වංචාවේ අවසානය අදියර ඉතා ක්‍රමවත්ව මෙහෙවා ඇති බවටද තොරතුරැ තිබේ. සෙන්හිරු සුපිරි මන්දිරය අවසාන කාලයේ දොඩන්ගොඩ පිලමිනාවත්තේ පුද්ගලයකුට විකුණා ඇතැයි අපට දැනගන්නට ලැබුණි. එමෙන්ම මෙම වංචාවට නොබෝ කලකට පෙර ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන නිලධාරීන් තමන්ගේ ව්‍යාපාරයට ඈඳාගැනීමේ අරමුණින් මෙහි නියුතු වූවන් උපක්‍රමිකව කටයුතු කර තිබේ. පාටි දමා දිනුම් ඇදීමක්ද සිදුකර ඇතැයි කියැවේ. එක් මාධ්‍යයක් වාර්තා කර තිබූ පරිදි අතමාරැවකට කියා මෙම වංචාවේ ප්‍රධානියා ඇසුරැ කළ වෛද්‍යවයරකුගෙන් මිලියන හතරක් පමණ මුදලක්ද දින කිහිපයකට ඉහතදී ලබාගෙන ඇත. ඉතා ක්‍රමවත්ව සැලසුම් සහගතව පලායාමට අවශ්‍ය  පසුබිම මෙම මූල්‍ය ආයතනයේ හිමිකරු විසින් නිර්මාණය කරගෙන ඇති බව මෙයින් පැහැදිලි වෙයි.

කෙසේ නමුත් මහ බැංකුව විසින් මෙවන් දෑ පාලනයට බැඳී සිටී. එහෙත් එම වගකීම දිගින් දිගටම නිසි ආකාරයෙන් ඉටු නොවන සෙයකි. සක්විති රණසිංහ, දඬුවම් මුදලාලිගේ නම් ළඟට දැන් අසංක ප්‍රේමචන්ද්‍රගේ නමත් එක් වී තිබේ. එමෙන්ම Golden Key අර්බුදයද ETI අර්බුදය මුළුමනින්ම විසඳී නැත. සෙන්හිරු අර්බුදයද අද ඊට එක්වී තිබේ. මෙරට මූල්‍ය ආයතනද කළමනාකරණයේ හා නියාමනයේ දුර්වලතාවක් පවතින බව මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. සාමාන්‍ය ජනතාවගේ මූල්‍ය පරිපාලන පිළිබඳ දැනුමේ ගැටලුවක් වන සැබෑවකි. නමුත් එය එසේ යැයි කියා මෙවන් සිදුවීම්වලදී වගකිවයුතු රාජ්‍ය ආයතනවලට නිහඬව වගකීම් පැහැර හැරීමට ඉඩදිය නොහැක.

අප නැවත කතාව දෙසට යොමුවෙමු. කළුතරින් බිහිවූ සක්විත්තා පැනපු රට මොකක්ද? එයද බොහෝ දෙනාගේ සිතේ ඇතිවන කුකුසකි. නෑ සිය හිතමිතුරන්ද සිටින බැවින් ඔහු ඕස්ට්‍රේලියාවට පලාගිය බවට තොරතුරැ තිබේ. සිය පවුලේ අය සමඟ මෙසේ පලාගියද මේ වනවිට පවුලේ අය නැවත ලංකාව පැමිණ ඇතැයි සමහරුන් පවසන බවද අපට මේ ගමනේදී දැනගන්නට ලැබිණි. ඒ අතර තවත් අයෙක් අප සමඟ පැවසුවේ ඔහු මේ වනවිටත් ඕස්ට්‍රේලියාවෙන්ද වෙනත් රටකට පලායන්නට ඇති බවයි. නමුත් මේ සම්බන්ධ තොරතුරු ස්ථිරසාරව දැනගැනීමට අප උත්සාහ දැරුවද එය සාර්ථක නොවුණේ බොහෝ දෙනා ගැඹුරට මේ මාතෘකාව කතා කිරීමට අකමැත්තක් දක්වන නිසාවෙනි.

මෙරට මූල්‍ය වංචා ක්ෂේත්‍රයේ අංක එක වූ සක්විති රණසිංහ පලාගියේ ඉන්දියාවටය. එහෙත් ඔහු සියල්ල අනාගෙන නන්නත්තාර වී සිටියේය. එහෙත් දොඩන්ගොඩින් බිහිවූ සක්විත්තා ඉතා සැලසුම් සහගතව ගේමක් ගසා තිබෙන බව කාහටත් පැහැදිලිය. රටටම ගේම් ගැසූ ඇතැම් කළුතර නමගිය ගේම්කාරයන්ටද ඔහු රජ ගේමක් ගැසූ බව තතු දන්නෝ පවසති. ධනය යනු මිනිසා නොතිත් ආශාවෙන් දැවෙන සම්පතයි. ඒ නිසාවෙන් ඇතැම් අසරණ මිනිසුන් ඉඩම්කඩම් උකස් තබා මෙහි ආයෝජන කර ඇත්තේ වැඩි පොලියක් ලබා ගැනීමටය. මානුෂික කාරණා සමඟ මතුවන සංවේදී කතාන්දරද බොහෝමයකි. ඒවා මාධ්‍ය වාර්තා කර තිබේ. එනිසා සෙන්හිරැ කඳුළු කතා අප අමුතුවෙන් මෙහි නොලීවෙමු. අප සෙන් හිරැ වෙනුවෙන් අද ලිව්වේ අතුරැ කතාවකි. තතු අනාවරණය වන පරිදි ඉදිරියේදී යමක් වෙතොත් ඔබ වෙනුවෙන් ලියන්නෙමු.

මේ මොහොත වනවිටත් මෙම සිදුවීම සම්බන්ධව දොඩන්ගොඩ, කළුතර පොලිස් ස්ථාන වෙත පැමිණිලි රාශියක් ලැබී තිබේ. පොලිස් විශේෂ වංචා විමර්ශන ඒකකය මේ වනවිටත් පරීක්ෂණට අරඹා තිබේ. කෙසේ නමුත් දැන් අශ්වයා පැනගොස් ඇත. ස්තාලයද සීල් කර තිබේ. කොයි ලෝකයෙන් හරි අශ්වයා කුදලාගෙන ඒමට හැකිනම් කදිමය. එහෙත් මයික්‍රො කෙඩිඩ්, ෆිනෑන්ස් අදී නම් ගම් සහිත මෙවන් හොර අශ්වයන්ට හිමි ස්තාල ඕනෑ තරම් මෙරට ඇත. මහ බැංකුව පොලීසිය හා එක්වී එවන් ස්තාල වටලන්ට මෙහෙයුමක් කරන්නෙ නම් වටී. නැතිනම් අනුවණකමට හෝ වැඩි තන්හාවට මෙවන් ආයතන වටා රැවටෙන අපේ ජනතාව මුදාගැනීමට කිසිදා නොහැකි වනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05