2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට ට්‍රයිසිකලයෙන් ගිය දිරිමත් රණවිරුවා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

ත්‍රිවිධ හමුදාවට මෙන්ම රටටම ආදර්ශවත් වූ රණවිරුවෙක් පසුගියදා අසන්නට දකින්නට ලැබුණි. නමින් සෙබළ 480582 කෝප‍්‍රල් පී.කේ.ජී.ජී. කරුණාරත්න අබාධිත රණවිරුවෙකි. මොහු එදා යුද්ධයේදී රට වෙනුවෙන් දෙපා මෙන්ම අතේ ඇඟිලිද පූජාකළ අයෙකි. එදා කරුණාරත්නගේ සිතේ වූ වීර්යය අදටත් ඉතිරිව ඇත.

කරුණාරත්නගේ සිතේ වීර්යය ගතටත් දැනෙන්නටයි සිතා රටටම ආදර්ශවත් වූ ගමනක් යන්න අධිෂ්ඨාන කරගනී. ඒ සංහිඳියාව සහ සාමය පෙරදැරි කර ගනිමින් දෙවුන්දර සිට ට‍්‍රයිසිකලයක් ආධාරයෙන් පේදුරුතුඩුවට ගමන් කිරීමටය.
දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ට්‍රයිසිකලයෙන් යන්න ගමන් ඇරඹූ කරුණාරත්නට, 2009 මැයි මස 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව සිය පාද දෙක සහ අතක ඇඟිලි අහිමි වන්නේ රටට ඉමහත් සේවයක් කරමිනි.

කරුණාරත්න රණවිරුවා අභිමංසල පාන්ගොල්ල සුවසහන මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලැබීය. ඔහු සිය ගමන ආරම්භ කළේ ඉකුත් 03 වැනිදාට යෙදී තිබුණු ලෝක ආබාධිත දිනයට සමගාමීව ලංකාවේ සාමය සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණු ඇතිවය.

මෙම ආබාධිත රණවිරුවා දෙවුන්දරතුඩුවෙන් ආරම්භ කරන ලද ගමන අවසානයේ ඒ-9 මාර්ගයට ඔස්සේ සිය ගමන අවසන් කළේ කිලෝමීටර් 576ක දුරක් ගෙවා දමමිනි. රණවිරුවාගේ ගමන්මග අතරතුර රටේ සිංහල දෙමළ හා මුස්ලිම් සියලුම වැසියන්ගේ ඉමහත් ආදරයකට ලක්වන අයුරු දැක ගැනීමට හැකි විය.

දෙවුන්දරතුඩුවෙන් ඇරුඹුණු කරුණාරත්නගේ ගමනේ අවසානය වුණේ උතුරෙනි. කරුණාරත්න රණවිරුවා පළමුව වව්නියාවෙනි වන්නි ආරකෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යුදහමුදා නිලධාරීන් පිරිසක් පළමුව පිළිගැනීමෙන් පසුව උතුරේ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් ඊළඟට පිළිගත්තේ මහත් ආදරණීය හැගීමකිනි ඒ සඳහා සර්ව ආගමික ආශිර්වාදයද ලැබිණි.

කරුණාරත්නගේ ගමනාන්තය වූ පේදුරුතුඩුවේදී පිළිගැනීම සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම ගජබා රෙජිමේන්තු සේනා විධායක මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් තිරුනාවුකරුසු ඇතුළු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

යුද්ධය වෙනුවෙන් කැපවී අත් පා නොමැතිව සාමය වෙනුවෙන් නැවතත් කැපවීමට කරුණාරත්න රණවිරුවාට තවත් එවැනි ධෛර්යක් ඇත්නම් අත් පා ඇති අපි සියල්ලන් සාමය ආරක්ෂා කිරීම සඳහා කුමක් කරන්නෙමුද?

 වන්නි රොමේෂ් මධුෂංඛ