2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මට්ටක්කුලිය හෙල්ලූ පාතාලේ මරා ගැනීම්...

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 212

ඇසට ඇසත් ලෙයට ලෙයත් ඉල්ලන කොළඹ පාතාල න්‍යායේ නොනවතින බල අරගලය මත එකිනෙකා කපා කොටා තුවාල සිදුකිරීම හා වෙඩිතබා මරා දැමීම අරුමයක් නොවේ. කුඩු ජාවාරම මූලික කරගත් කොළඹ පාතාලයේ ගැටුම් රාශියකට තෝතැන්නක් වූ මෝදර මට්ටක්කුලිය ප්‍රදේශය පසුගිය 10 වැනි සඳදා පස්වරුවේ යළිත් වරක් වෙඩි ප්‍රහාරයකින් තිගැස්සී ගියේ ප්‍රදේශවාසීන්ටත් මරණ බිය ඇතිකරමිනි.

ඉකුත් සඳුදා පස්වරු 3ට පමණ මෝදර අලුත් මාවත රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසලදී වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ විරුද්ධ පාතාල කල්ලි දෙකක ගැටුම තවත් තීව්‍ර කරමිනි.

අමු අමුවේම පිරිසක් මහ මග මරා දමන්නට තුවක්කු හැසිරූ පාතාලයින්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මාර්ගයේ ගමන්ගත් අහිංසක කාන්තාවක් ඇතුළු විරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් හතර දෙනෙක් සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ ක්‍රියාත්මක කුඩු රොෂාන් සහ චූටි උක්කුං දෙපාර්ශ්වය අතර වර්ෂ ගණනාවක් තිස්සේ පවතින ගැටුමක් නිසා මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇතැයි පොලීසිය සැකකරයි.

2016 වර්ෂයේදී කුඩු රොෂාන් පාර්ශ්වය විසින් චූටි උක්කුං පාර්ශ්වයට වෙඩි තබා චූටි උක්කුං ඇතුළු ඔහුගේ සගයන් 5 දෙනකු ඝාතනය කර තිබිණ. ඒ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් මේ වනවිට බන්ධනාගාරගතව සිටී. සිද්ධියට අදාළ නඩුව තවමත් විභාග වෙමින් තිබෙන අතර පසුගිය සඳුදා දිනයේ නඩුවාරය පවත්වා ඇත්තේ කොළඹ අලුත්කඩේ අධිකරණයේදීය. නඩු විභාගය අවසන් වූ පසුව ඊට පෙනී සිටි චූටි උක්කුං පාර්ශ්වයේ ඔහුගේ නැගණිය, මස්සිනා ඇතුළු ඥාති පිරිස නැවත සමිට්පුර බලා යමින් සිට ඇත. ඔවුන් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිට ඇති අතර එසේ ගමන්ගත් පිරිස 5 දෙනෙකි.

පිරිස රැගත් ත්‍රිරෝද රථය මෝදර අලුත් මාවත රෝයල් ගාර්ඩ්න්ස් නිවාස සංකීර්ණය ආසන්නයට එනවාත් සමඟ පළාතම ගිගුරුම් දෙමින් වෙඩි වරුසාවක් එල්ල කෙරිණි. පිරිස එන ත්‍රිරෝද රථය ඉලක්ක කරමින් එතෙක් බලා සිටි යතුරුපැදියක නැගී ආ නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තැබීමත් සමඟ පැන ගොස් තිබුණි. වෙඩි ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඒ අසලින් ධාවනය කළ තවත් ත්‍රිරෝද රථයක සිටි කාන්තාවක්ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවාය. ඇය කොළඹ 13 අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි ග්ලේන් අම්මල් ප්‍රනාන්දු නැමැත්තියකි. සෙසු තුවාල ලැබූ පිරිස අතර චූටි උක්කුං පාර්ශ්වයේ සමිට්පුර පදිංචිකරුවන් වන නුවන් ප්‍රදීප් (31) චමින්ද කුමාර (28) නාලක (30) ඇන්ටන් සුසානි (26) සහ ත්‍රිරෝද රථයේ රියැදුරු වශයෙන් සිටි කෙරවලපිටිය සමයංවත්ත පදිංචි පුෂ්පරාජ් (40) යන අය වෙති.

චූටි උක්කුං ඇතුළු පිරිස සමිට්පුර ක්‍රීඩාංගණයේ එල්ලේ ක්‍රීඩාවේ නිරතව සිට එමින් සිටි ත්‍රිරෝද රථයට වෙඩි තබා ඝාතනය කර තිබිණ. මෙම ඝාතනයට ඔත්තු බැලුවා යැයි සැකයෙන් චූටි උක්කුංගේ පාර්ශ්වය විසින් කුඩු රොෂාන්ගේ සමීපතමයකුද ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී වෙඩි තබා මරා දමා තිබිණ. ඔහු ඝාතනය වන අවස්ථාවේ ඔහුගේ බිරිය හා කුඩා දරුවාද ත්‍රිරෝද රථයේම රැඳී සිට තිබුණි. වෙඩික්කරුවන් කුඩා දරුවා සහ මව අසලට පැමිණ ඔවුන් බලා සිටියදීම යළිත් වරක් පෙර කී අයගේ හිසට වෙඩි තබා පලාගොස් තිබූ බවද හෙළි වී තිබිණ. මේ සිදුවීම ඉකුත් 2017 වර්ෂයේ සිදුවූවකි.

කෙසේ වෙතත් පසුගිය 10 වැනිදා වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එදින නඩුවට පෙනී සිටි ප්‍රධාන විත්තිකරු ඉලක්ක කරගෙන බව අනාවරණය වී ඇත. නමුත් ඔහු යතුරුපැදියකින් ඊට මොහොතකට පෙර පිටව ගොස් ඇති අතර ඔහුගේ ආරක්ෂාවට ගිය පිරිස වෙඩි ප්‍රහාරයට ලක්ව සිටිතියි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මීට වසර හතරක පමණ ඉහතදී කුඩු රොෂාන් ඇතුළු සගයන් පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිටදී චූටි උක්කුං ඇතුළු පිරිසට වෙඩි තබා තිබිණ. මේ අතර කුඩු රොෂාන්ගේ පියාගේ නිවසට 2014 ජූලි 12 රාත්‍රී කඩා වැදුණු පිරිසක් ඔහුව කපා කොටා ඝාතනය කර තිබිණ. එදිනම අලුයම් කාලයේ චූටි උක්කුංගේ නිවසට කඩා වැදුණු විරුද්ධ පාර්ශ්වයේ පිරිස චූටි උක්කුංගේ මව වූ ප්‍රියංගනී හෙවත් කුඩු කුමාරි මරා දමා තිබුණි. මේ ඝාතන දෙන සිදුවූ ස්ථානය මට්ටක්කුලිය පොලීසියට නුදුරු ස්ථානයකි. පොලීසියේ සිට එම ස්ථානයට තිබුණේ මීටර් 300ක පමණ දුරකි.

කුඩු ජාවාරමේ නිරත කල්ලි දෙකේ චූටි උක්කුං පාර්ශ්වය ආමි සම්පත් නැමැති පාතාල නායකයාගේ ගෝලයන්ය. කුඩු රොෂාන් දෙමටගොඩ චමින්දගේ ගෝලයන්ය. ප්‍රධාන පෙළේ පාතාල නායකයන් බන්ධනාගාර ගතව සිටියත් ඔවුන්ගේ ගෝලයන් කොළඹ නගරයේ එළිපිට මිනීමරන්නේ හෙරොයින් ජාවාරමේ ඒකාධිකාරය තමුන් සතුකර ගන්නටය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර