
බේබි නාරං මල්ලක් සීයයි, බේබි නාරං මල්ලක් සීයයි..... කාලා බලලා අරන් යන්න.... හොඳ එක රස එක, මැලේෂියන්වලින් ගෙනාපුවා කාලා බලලා අරං යන්න, අරං යන්න....
රස මිදි ග්‍රෑම් පන්සීයම සීයයි, පන්සීයම සීයයි.... හොඳ දේ ගුණ දේ ලාබෙට අඩුවට, අද විතරයි හෙට නෑ අද විතරයි හෙට නෑ....
කෝ මෙතන මිදි පන්සීයක් නෑනේ ඊට අඩුවෙන් තියෙන්නේ... හොරට කිරන්න එපා මනුස්සයෝ... අපිත් අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් පොඩි උන්ට කන්න මේවා අරන් යන්නේ....
මිනිසුන්ගෙන් පිරී පැවැති පදික වේදිකාවේ ඇති තට්ටුව අසලට පැමිණි පුද්ගලයෙක් බෙරිහන් දෙන්නට විය.
මේ ලොක්කා ඔයාට දුන්නේ ඕක කිරලා බලලනේ... ඔයා දැක්කනේ හරියට ගානට කිරුවා. දැන් මෙතන ඇවිත් වාතවෙලා බිස්නස් එකට මස්තේ දාන්නේ දාන්නේ නැතුව යනවද ඇණයක් නොවී...
යන්න... කොහේ යන්නද...? මම පොලිසි යනවා මගේ සල්ලි මංකොල්ල කෑවා කියලා... මට මිදි එපා මගේ සල්ලි දෙන්න.
ලොක්කා එකපාරක් කිව්වනේ පොලිසි බැරිනම් ඕන තූත්තුකුඩියක යනවා... අපේ බිස්නස් එක කරගන්න දීලා මෙතන වාත වෙන්නේ නැතුව...
තවත් විනාඩි දහයක් පමණ බලා සිටි ඔහු පළතුරැ ලෑල්ලේ සිටි වෙළෙන්දන්ගේ මව්පිය ගුණ වර්ණනා කරමින් එතනින් පිටව ගියේ කළ හැකි කිසිවක් නොවූ නිසා විය යුතුය. මුව අයාගත් ජනයා එම සිදුවීම දෙස බලා සිටියා මිස කිසිවකුත් එකදු වචනයක් හෝ කථා නොකිරීම ලියුම්කරැ පවා මවිතයට පත්වූ කාරණාවක් විය.
හොර යක්කු හොරට කිරලා අපේ සල්ලි ගන්නවා. මේවට හෙන හතම ගහනවා දෙතුන් දෙනෙකු ඒ අවට සිට මිමිණුවා මිස පෙර කී ගැනුම්කරැවාගේ සහයට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.
මොකක්ද අයියේ කේස් එක. පදික වේදිකාවේ සිටි සෙල්ලම් බඩු වෙළෙන්දෙක් ළඟට කිට්ටු වූ ලියුම්කරැ ඔහුගෙන් විමසීය.
හොරට කිරලා වෙන්න ඇති මල්ලි වෙන මොනවද? ඕක සාමාන්‍ය දෙයක් ඔය විදියට ඇවිල්ලා කෑගැහුව පළියට බිස්නස් නැවැත්තුවොත් අද කොළඹ ලෑලි තට්ටුවල බිස්නස් නෑ මල්ලි...
ඒ කියන්නේ හැම තට්ටුවෙම කිරන්නේ හොරටද?
නැහැ සාධාරණව කිරන තැන් තියනවා. නමුත් හැමෝම සර්වබලධාරී නෙවෙයිනේ. අන්න ඒකයි මම කියන්නේ...
මුළු කොළඹම කරක් ගසා තට්ටුවක බිස්නස් කරන වෙළෙන්දෙකුගෙන් මෙම විස්තරය අසා දැනගැනීම කළුනික හොයනවාටත් වඩා අපහසු කාරණයක් බව ලියුම්කරැට තේරැම් ගියේ මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට ගිය අවස්ථාවේය.
රැහුණු පුරයෙන් ඔහු කොළඹට පා තබා ඇත්තේ මීට වසර දහයකට පමණ පෙරය. කාසි කොළ නෝට්ටු පැළකර අස්වනු ලබාගන්නා මේ ගෙන්දගම් පොළොවෙහි තිබෙනා ලෑලි තට්ටු ගැන ඔහු ඒ-ටු ඉසෙඩ් විස්තරයක් දන්නා බව ඔහු කථාකළ විලාසයෙන්ම වැටහුණි.
අඩියක් අඩියක් පාසා කොළඹ තිබෙනා ලෑලි තට්ටු පාරිභෝගිකයන්ට නොදැනෙනා ලෙස ඔවුන්ගේ පොකැට්ටුවට තට්ටු කරනා හැටි ඔහු අපට කීමට පෙරම ඔහු අපෙන් ඉල්ලා සිටියේ ඉදිරියටත් තට්ටු ලෑල්ලේ බිස්නස් කිරීමට ඉඩතබා මෙය ලියනා ලෙසය.
මේ ලෑලි තට්ටුවල බිස්නස් කියන්නේ අමුතුම ගේමක්. වැඩ දන්නවනම් ගොඩ...
මොනවද ඔය කියන වැඩ?
මිනිස්සු අල්ලන්න පුළුවන් කථාවයි එන මිනිස්සු ඔක්කොටම එකපාරට දඩි බිඩි ගාලා බඩු දෙන්න පුළුවන් නම් ඒ තට්ටුවේ බඩු සින් ගාලා විකුණන්න පුළුවන්...
එතකොට ඔය විකුණන මිදි, නාරං, දොඩම් එහෙම ගේන්නේ පිට රටින්ද?
එච්චර දෙයක් කොහොමද මල්ලි අපි කරන්නේ.... ඕවා ඔක්කොම අපි ගන්නේ තොගේට මෙහෙට පළතුරු ගේන මුදලාලිලගෙන්.... ඒත් අපිට හම්බෙන්නේ ඔරිජිනල් ඒවාම නෙවෙයි හැබැයි නරක් වෙච්චත් නෙවෙයි. ඒ අතරමැද ඒවා තමයි අපි ගන්නේ ගිහිල්ලා. ඕඩරේ එනකොටම එතනට නොගියොත් බඩු සුම්මා තමයි...
ඒ කිව්වේ?
ඒ කිව්වේ බඩු ආපු ගමන්ම එතනට ගිහින් අපි ගන්න ඕන නැත්තම් අනිත් තට්ටුවල ඉන්න සෙට් එක බඩු ටික අරං යනවා. එහෙන් මෙහෙන් පැනලා බඩු ටික ගත්ත ගමන් ලෑල්ලට දාගන්නකම්ම ඉතිං කට්ටක් තමයි. හැබැයි ඉතිං බඩු ලෑල්ලට ගියා කියන්නේ සල්ලි එන්නේ කිෂි කිෂි ගාලා.... ගෙනිච්ච ගමන් පළතුරැවලට වතුර පාරක් එහෙම ගහලා ප්‍රෙෂ් පිට වගේ පේන්න තියනවා... හොඳ ඒවා තමයි ගොඩක් වෙලාවට උඩින් තියෙන්නේ ඒකනේ අපි කියන්නේ කාලා බලාලා අරං යන්න කියලා....ටිකක් අඩුවට දුන්න නම් මිනිස්සු අරං යනවා සින් සින් ගානකොට බඩු ටික ඒකයි මම කිව්වේ තට්ටුවට දානකම් විතරයි කියලා කට්ටක් තියෙන්නේ...
ඒ වුණාට කොළඹින් එහෙම අරන් යන ඒවගේ ඒ බරම නෑනේ වෙන තැනකින් කිරලා බැලුවොත්...
එහෙම තැන් අනන්තවත් කොළඹ තියනවා. ඒ අය ඒ විදියට තරාදි හදාගෙන තියෙන්නේ ඔය කොයි ලෑල්ලෙත් පන්සීයයි කිව්වොත් පන්සීයම කිරන්නේ නෑ අනිවාර්යයෙන්. අඩුවෙන් තමයි කිරන්නේ ඒ. තරාදිත් ඒ විදියට හදාපු තරාදි තමයි තියෙන්නේ.
කොහොමද එහෙම තරාදි හදන්නේ ඒවා ඔක්කොම ඉලෙක්ට්‍රිකල් තරාදිනේ?
ඒවා වෙනස් කරන්න ඕන තරම් බඩු අපේ ඈයෝ ළඟ තියනවා.
කොහොමද ඉතිං මෙහෙම හොරට කිරන්නේ?
තරාදිය යටින් කාන්දමක් තියලා තමයි මුල්ම කාලේ මේ අය මේ වැඩේ කළේ. ඒත් දැන් එහෙම කරන්නේ නෑ පොඩි ගැජමැටික් එකක් තියනවා... ඒකෙන් තමයි ගේම ගහන්නේ.... කවුරුත් හොරට කිරනවා කියලා කිය කිය කරන්නේ නැහැනේ.... සින් ගාලා කිරුවා දුන්නා. මොකද අනික බඩු ගෙනියන්න ආපු අය තරාදිය අනිත් පැත්ත හරවලා බලන්නේ නැහැනේ.
ඒ වුණාට ඔය හොරට කිරන අය අල්ලන්න පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ අය එනවා නේද?
ඒ අයට කවුරුහරි ඔත්තුවක් දුන්නොත් තමයි ඒ අය එන්නේ. එහෙම නැතුව හැමදාම ඒ අය කඩා පනින්නේ නෑ... අනික දැන් මොන අය ආවත් ඒ අය එද්දිම අපිට නිවුස් එක එනවා...
ඔහු කියනා කථාව සැබෑවකි. පදික වේදිකාවේ ලෑලි තට්ටුවේ බිස්නස් කරනා ඔවුන් ඕනෑම මොහොතක ඕනෑම ජගතෙකුගේ කනෙන් රිංගා යාමට තරම් දක්ෂයන් බව ගෙන්දගම් පොළවේ පය ගසා ජීවත් මිනිසුන් දැන සිටියද ගමෙන් නගරයට එන බොහෝ දෙනෙකු එය හරිහැටි දන්නේ නැත
තට්ටු ලෑල්ලෙන් මට්ටුවන මිනිසුන් ගැන සොයා බැලීමට තවමත් කිසිවෙකුත් නොමැති වීම පුදුමය දනවන කාරණාවකි.
හසිත් අංජන