
ලංකාවේ පුරාණ බලකොටු අතරින් විශාලතම මෙන්ම ජීවමාන තත්ත්වයෙන් පවතින බලකොටුව වශයෙන් ගාලු කොටුව වැදගත් වේ. එහි විශාලත්වය අක්කර 90කි. තුන් පැත්තකින් මුහුදෙන් වටවූ තුඩුවක ඉදිකර තිබෙන කොටුපවුරේ වට ප්‍රමාණය කී.මී. 3කට ආසන්නය. ගාලු කොටුවේ උසම ස්ථානය ලෙස සැලකෙන චන්ද්‍ර මුර අට්ටාලයේ උස අඩි 50-70 අතර වේ.
වර්ෂ 1505 දී ලංකාවට අහම්බෙන් පැමිණි පෘතුගීසින් ගාලු කොටුව ඉදිකර අවසන් කරන්නේ 1588දීය. එකල එය ඉදිකළේ මැටි සහ ගල් යොදාගෙනය. පෘතුගීසින් ඉදිකළ කොටුව මුර අට්ටාල 3ක් සහිත විය.
පෘතුගීසින් පරදවා ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන් තමන් යටතට ගන්නේ වර්ෂ 1658දීය. ඔවුන් එතරම් ශක්තිමත් නොවූ ගාලුකොටුව වඩාත් විශාල කර කළුගල් සහ හුණුගල් යොදා ඉදිකරති. ලන්දේසීන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයත් විසල් නිර්මාණ කිරීමේ හැකියාවත් අපට මේ කොටුව මගින් තීරණය කළහැක. කොටුව තුළ නාගරික නිවාස, ගබඩා, රජයේ ගොඩනැගිලි, හමුදා නිවස්න, දේවස්ථාන ආදිය ද ඕලන්දයෝ ඉදිකරති. මුර අට්ටාල 14කින් සමන්විත ගාලු කොටුවේ සන්ඨාර කුලුන, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, පැරණි ලන්දේසී රෝහල, කළු කොටුව, ඕලන්ද දේවස්ථානය ඇතුළු ආගමික ගොඩනැගිලි, පල්දෝරු හෙවත් උමං කාණු පද්ධතිය අදත් හොඳින් දැකගත හැකිය. පල්දෝරු පද්ධතිය පිරිසිදු වන්නේ මුහුදු රළවලිනි.
යටත්විජිත යුගයේ මතක සටහන් වර්තමානයට පිළිබිඹු කරන ගාලු කොටුව 1974 දී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහි ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම නිසා 1988 දී එය යුනෙස්කෝ ලෝක උරුම ස්මාරකයක් ලෙස පිළිගැනීමට ලක්විය. ඊට පසු ගාලුකොටුවට සංචාරක ආකර්ශනය ඉහළ ගියේය.
ලංකාවෙන් වෙන්වූ ඕලන්ද කොළනියක් වැනි පෙනුමක් ගන්නා ගාල්ල කොටුව විදේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. මේ නිසා කොටුව තුළ සංචාරක හෝටල් රාශියක් ද පිහිටා තිබේ. සැබවින්ම මේ සංචාරක හෝටල් සහ නවාතැන් ගාලු කොටුවේ පුරාවිද්‍යා උරුමයට තර්ජනයක් වන තරමට වර්ධනය වී තිබේ. කොටුවේ ගොඩනැගිලි, නිවාස අයිති ලාංකිකයන් ඒවා විශාල මිල ගණන්වලට විදේශිකයන්ට අලෙවි කිරීම කලක පටන් දක්නට ලැබෙන ක්‍රියාදාමයකි. මේ වනවිට ගාලුකොටුව අප රටේ ඉඩම් සහ දේපල වැඩිම මිලකට විකිණෙන ස්ථානයක් බවට පත්ව ඇත.
තැරුව්කරුවන්ගේ මැදිහත්වීම නිසා කොටුවේ ඉඩම් පර්චසයක් මේ වනවිට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂය දක්වා ඉහළ නැග තිබෙන බවද පැවසේ. නඩු තිබෙන ගොඩනැගිලි පවා විදේශිකයන් රවටා විකුණ ඇති අතර ඒවා මිලට ගත් අයද ගැටලු රැසකට මුහුණ පා සිටිති.

“මා දන්නා තරමින් විදේශිකයන්ට ලංකාවේ කිසිම දේපලක් සින්නක්කරව මිලිදී ගත නොහැකියි. ඔවුන් විවිධ උපාය මාර්ග යොදවා මේ දේපල මිලදී ගන්නවා වියහැකියි. ලාංකිකයෙක් යොදවා දේපල මිලදී ගෙන ඔහු හරහා 99 අවුරුදු බදු පදනමට හෝ පෞද්ගලික රහසිගත ගිවිසුමක් මත හෝ දේපල මිලදී ගන්න පුළුවන්. ඊට පසු ලබාගත් නිවසේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ විදේශිකයන් විසින්"
අපට එලෙස අදහස් දැක්වූයේ ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දසනායකය. මෙම පදනම ගාලු කොටුවේ උරුමය ආරක්ෂා කිරීමට තිබෙන රාජ්‍ය ආයතනයයි.
ගාලු උරුමය සභාපතිවරයා පැවසූ ලෙසට ගාල්ල කොටුවේ ගොඩනැගිලිවලට විදේශකයන්ගේ අයිතිය තිබෙන බවට නීත්‍යානුකූල රාජ්‍ය ලේඛන නැත. ගාල්ල දිස්ත්‍රික් ඉඩම් සහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන විදේශ බදු මුදල් අය කිරීමේ ලේඛනයට අනුව කොටුව ප්‍රදේශයේ ඉඩම් හෝ නිවාස සඳහා කිසිදු විදේශිකයකු එම කාර්යාලයට ගෙවීම් කරනැත. දැනට ගාල්ල කොටුව තුළ නිවාස 276ක්, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන 24ක් සහ පාසල් 2ක් පිහිටා තිබේ. 2006-2007 මැදභාගය දක්වා ව්‍යාපාරික ස්ථාන 111ක් ද ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත.
පසුගියදා වාර්තා වූයේ ගාලු කොටුවේ ගොඩනැගිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශිකයන් මිලදීගෙන ඇති බවය. එමෙන්ම කොටුවේ ලාංකික ජනගහනය තුන්දහසේ සිට එක්දහස් පන්සියය දක්වා අඩුවී තිබෙන බවය. ගාල්ල කොටුව තුළ තිබෙන සියලුම නිවාස ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශයම පුරාවිද්‍යා ස්මාරකවේ. එම ගොඩනැගිලි නවීකරණය කිරීම හෝ නව ඉදිකිරීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරය ලබාගත යුතුය. මෙම කොන්දේසි උල්ලංඝනය කළ 28කට එරෙහිව නාගරික සංවර්ධන අධිකාරිය නඩු පවරා තිබේ. ගාලු කොටුවේ නිවාසවල වාසය කරන ජනතාව සිටින්නේ කණස්සල්ලෙනි. ඒ තම හිමිකම යටතේ පවතින නිවාස පවා අලුත්වැඩියා කිරීමකට ඉඩක් නැති හෙයිනි. “ඇත්තටම අපි වහල්ලු වගේ. අනෙක් ප්‍රදේශවල පුරවැසියන්ට වගේ මේ පැරණි ගෙවල් කැමති විදිහට සංවර්ධනය කිරීමට අපට බැහැ. ඉතින් වැඩි මිලකට විකුණලා හෝ බද්දට දීලා කොටුවෙන් පිට ජීවත්වන්න අපි කැමතියි." කොටුවේ පදිංචිකරුවෙක් පැවසීය.

ගාලුකොටුව තුළ විදේශිකයන් සතු සංචාරක නිවාස, නවාතැන්, වෙළෙඳ ව්‍යාපාර ඇතුළු බොහෝ ගොඩනැගිලි තිබෙන බව ජනතාව පවසයි. “නිවාසවල අයිතිය පිළිබඳ ගාලු උරුමය පදනමට තීරණය කරන්න බැහැ. ඒක රජය තමයි තීරණය කළ යුත්තේ. ගාලු උරුමය පදනම අවධානය යොමු කරන්නේ ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම වෙනස් කිරීමකට ලක්කරනවාද යන්න ගැනයි. පැරණි ලංක්ෂණ වෙනස් නොකර සංරක්ෂණය කර පාවිච්චි කළහැකියි.
පෞරාණිකත්වය රැකගැනීමේ යාන්ත්‍රණයක් තිබෙනවා. ඕනෑම ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කරනවා නම් නගර සභාවට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර ගාලු උරුමය සැලසුම් අනු කමිටුවට යොමු කළ යුතුයි. එම කමිටුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. ගාලු උරුමය පදනමේ නියෝජිතයෙක් සහ නගර සභාවේ නියෝජිතයෙක්ද සිටිනවා. එහිදී සැලසුම නිසා පෞරාණික ස්වරූපයට හානියක් වන්නේද යන්න සලකා බැලෙනවා. නමුත් මේ යාන්ත්‍රණ මොනවා තිබුණත් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවන අවස්ථා තිබෙනවා., ගාලු උරුමය පදනමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
ගාල්ල යුනෙස්කෝ ලෝක උරුමයේ වටිනාකම කෙලෙසීමට පෞද්ගලික අංශය පමණක් නොව රාජ්‍ය ආයතනද මැදිහත්වීමේ සිදුවීමක් ටික කලකට පෙර වාර්තා විය. ඒ කොටුපවුර ඉදිරිපිට ක්‍රීඩාංගණයේ නව ගොඩනැගිලි ඉදිකිරීමට සැලසුම් කිරීම සමඟය. එම ඉදිකිරීමට දේශීය වශයෙන් මෙන්ම යුනෙස්කෝ සංවිධානයේද විරෝධතා එල්ලවිය. ඊට පසු එම සැලසුම හකුලා ගැනිණි. මේ ගැන සඳහන් කළ ගාලු උරුමය පදනමේ සභාපතිවරයා. “ලෝක උරුම අවදානම් ලැයිස්තුවට වැටීමේ අනතුරක් නම් නෑ. එහෙම බොරු මාධ්‍ය වාර්තාත් පළවී තිබුණා. ක්‍රීඩංගනයේ නවීකරණ නිසා මතුවී තිබුණු අවදානම දැන් නැහැ. 2018 ලෝක උරුමය කමිටුව රැස්වූ අවස්ථාවේත් ඒ ගැන සඳහන් කළේ නැහැ."
වාණිජකරණය වූ ලෝකයේ පෞරාණිකත්වයට ඉහළ මිලක් ලැබී තිබේ. මේ නිසා ගාලු කොටුවේ ඉඩම් හා දේපළ වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ ගොසිනි. එසේ වුවත් කුමන උපක්‍රමයක් යටතේ හෝ විදේශිකයන්ට මෙම පෞරාණික දේපළ අයිතිවීම නම් යහපත් නොවේ. ඔවුන් ඉන් උපරිම ලාභයක් ලබාගැනීමට ක්‍රියාකරනු මිස එහි ආරක්ෂාව ගැන නම් සැලකිලිමත් නොවනු ඇත. හරියට එදා ලන්දේසී පෙරදිග ඉන්දියා සමාගම (VOC) තම ලාභය ඉහළ නංවා ගැනීමට ලංකාව යොදාගත්තාක් මෙනි.
I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I චන්න කස්සප සහ අන්කර්ජාලයෙන්