2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

නව දෙනකුට මරු කැඳවූ පැය 24

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

එකම දිනයක ගතවූ පැය 24 තුළදී ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනකුට තුවාල සිදුව තිබිණ. පසුගිය 9 වැනිදා, ඉරිදා දවස ඇතුළත රත්මලාන, ගල්කිස්ස, කොට්ටාව, කැලණිය, බදුල්ල හා පදියතලාව ප්‍රදේශවලදී එම අනතුරු සිදුව තිබිණ. මේ අතර බරපතළ රිය අනතුරු කිහිපයක් සිදුකරමින් පලාගිය බීමත් රියැදුරකුගේ අවිනීත රිය ධාවනය නිසා පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව රථවාහන පොලීසිය වාර්තා කළේය.

ගල්කිස්ස අධිකරණය අසල හා රත්මලාන අයි.ඕ.සී. ඉන්ධන හල ආසන්නයේදී එකම මෝටර් රථයක් මගින් සිදුකළ එම අනතුර වාර්තා වී තිබුණේ ඉකුත් 9 වැනිදා අලුයම 12ත් 12.10ත් අතරතුරදීය.

සිද්ධිය වූ මධ්‍යම රාත්‍රියේ ගාලු පාරේ එතරම් වාහන තදබදයක් නොවීය. කොළඹ දෙස සිට වේගයෙන් ධාවනය කරන මෝටර් රථයක් මොරටුව දෙසට පැමිණියේ මේ මොහොතේදීය. ප්‍රධාන විදුලි පහන් දල්වාගත් මෝටර් රථයක් ගාලු පාරේ වම් තීරුවේ ධාවනය වන අතරතුර ගල්කිස්ස අධිකරණ සංකීර්ණය අසල මාර්ගයේ වම්පසට වන්නට කතාබස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකි. පාලනයකින් තොරව ආ මෝටර් රථය පෙර කී පුද්ගලයන් දෙදෙනා හප්පා යටකරගෙන නොනවත්වාම ධාවනය කළේය. බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි දෙදෙනා රෝහල්ගත කරන්නට අසලට රැස්වූ පිරිස් ක්‍රියාකර තිබුණි. ඒ වනවිටත් බරපතළ තත්ත්වයෙන් පසුවූ අයෙක් ජීවිතක්ෂයට පත්ව සිටි අතර එසේ අනතුරට පත්ව තිබුණේ මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයන් දෙදෙනකු බවට අනාවරණය වී තිබිණ.

අනතුර සිදුකර නොනවත්වා පලාගිය මෝටර් රථය රත්මලාන ප්‍රදේශය පසුකරමින් තිබුණි. අධික වේගයෙන් ධාවනය වූ රථය ඒ වනවිටත් ධාවනය වූයේ මාර්ගයේ විරුද්ධ මංතීරුව ඔස්සේය. මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කාර් රථයක සහ යතුරුපැදි දෙකක මෝටර් රථය ගැටුණේ ඔවුන්ට මොහොතක් හෝ සිතන්නට ඉඩ නොතබාය. එක මොහොතේම අධික ශබ්දයක් නංවමින් එකිනෙක ගැටුණු රථ කිහිපය අතර මෝටර් රථය උඩට විසිවී ගොස් මාර්ගයෙන් ඉවතට පැන නතර වූයේ තවත් මාරක රිය අනතුරක් ලෙස වාර්තා තබමිනි. රත්මලාන අයි.ඕ.සී. ඉන්ධන හල ආසන්නයේ සිදුවූ අනතුර අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබුණේ වැදගත් සාක්ෂියක සටහනක් ඉතිරි කරමිනි. අනතුර හේතුවෙන් මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයේ රියැදුරු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව සිටි අතර අනතුරින් තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවකුද ජීවිතක්ෂයට පත්ව සිටියේය. එසේම කාර් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක්, එක් යතුරුපැදිකරුවෙක් හා අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ රියැදුරු තුවාල ලබා සිට ඇත. 

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකර පලායමින් සිටියදී තවත් අනතුරක් සිදුකරමින් සැකකාර රියැදුරැ ඇතුළු පුද්ගලයන් අට දෙනකුට තුවාල සිදුකළ අනතුරින් පසුව තුවාල ලැබූ පිරිස් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

අනතුරින් මියගිය අය අතර අනුරාධපුර පණ්ඩුලගම දිල්හාන් කුමාර එදිරිසිංහ (18), දෙහිවල පඤ්ඤාලෝක මාවතේ මොහොමඩ් ගව්ස් (54), දෙහිවල නැදිමාල පැරකුම්බා මාවතේ සප්‍රාස් කාදර් (21) යන තිදෙනා වෙති. ගල්කිස්ස අධිකරණය අසල අනතුර සිදුවන්නට ටික වේලාවකට පෙර ත්‍රිරෝද රථ දෙකක් ගැටී අනතුරක් සිදුව ඇති අතර එහි රැස්ව සිටි පුද්ගලයන් දෙදෙනකු යටකරගෙන යාමෙන් බීමත් රියැදුරා පළමු අනතුර සිදුකර තිබිණ. අනතුර හේතුවෙන් විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයේ සිටි දරුවන් දෙදෙනකුද තුවාල ලැබූ බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුකළ බීමත් රියැදුරා බේරුවල යුසුම් මාවතේ පදිංචි මොහොමඩ් මුර්ෂි අලී (28) නැමැති ව්‍යාපාරිකයෙකි. ගල්කිස්ස පොලීසියේ දැනුම්දීම මත කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ගිය නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් රමණි කුලතිලක මහත්මිය සැකකරු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර