
බුදුන් වහන්සේගේ ආගමනයෙන් පහස ලද යාපනය නාගදීප විහාරයට මේ දිනවල පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ පාසල් නිවාඩු කාලය හේතුවෙනි. දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් යාපනය නාගදීප විහාරයට ගමන් කරන්නේ යාපා පටුනේ තල්අරණේ ඇති සුන්දරත්වයද විඳගනිමිනි. යුද්ධය අවසන් වූ පසු සංවර්ධනය වන යාපා පටුනේ සංවර්ධනය නිරීක්ෂණය කරන සංචාරකයන්ගේ ප්‍රධාන සංධිස්ථානයක් වී ඇත්තේ නාගදීප විහාර වන්දනාවය.
යාපනයට පිටින් පැමිණෙන සංචාරකයන් එසේත් නැතිනම් බැතිමතුන්ගෙන් වැඩිම පිරිසක් ගමන් කරන්නේ නාගදීප විහාරයටය. එසේ නාගදීප විහාරයට යන බැතිමතුන්ට ගමන් පහසුව වෙනුවෙන් යාපනය නගරයේ සිට නාගදීපය දක්වා ඇති ප්‍රධාන මංසන්ධිවල නාගදීප නාම පුවරු ඉදිකර ඇති අයුරු දැකගත හැකි විය.
මෙසේ පැමිණෙන බැතිමතුන්ට පසුගියදා කනගාටුදායක සිදුවීමකට මුහුණ පෑමට සිදුවිය ඒ යාපනය කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකොට ඇති නාගදීප නාමපුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රීසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුදබිමේ ඡායාරූපය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති අයුරුය.

රාත්‍රී කාලයේ සිදු කොට ඇති මෙම ක්‍රියාව සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නැති වුවද අදාළ ක්‍රියාව යාපනයට පිවිසි බැතිමතුන් සේම යාපනයේ සිටින දමිළ බැතිමතුන්ද දැඩි ලෙස හෙළා දුටුවහ.
යාපනයේ වැසියන් කියා සිටියේ මෙම ක්‍රියාව ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්ගේ කටයුත්තක් බවටය. පසුගිය පළාත් සභා පාලන සමයේදීද හිටපු උතුරු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් ඇතුළු දෙමළ දේශපාලනඥයන් විසින් උතුරු පළාත් සභාවේදී විරෝධතා පළ කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවටත් එය නයිනතිව් වශයෙන් හැඳින්විය යුතු බවටත්ය. එමෙන්ම නාගදීප විහාරය ඉදිරිපිට ඉදිකිරීමට නියමිතව තිබූ බුදු පිළිමයටද දැඩි ලෙස විරෝධය පෑම සිදු විය.
නමුත් දේශපාලඥයන් එසේ කියා සිටියද යාපනයේ ජීවත්වන ජනතාව නාගදීපය හෝ නයිනතිව් යන වචනය ඔවුන්ට කැමති අයුරින් පාවිච්චි කරති. නාගදීපයේ සිටින ජනතාවට එය ගැටලුවක් නැත්නම් එහි අමාරුව ඇත්තේ කාටදැයි යාපනයේ ජනතාව අතර අදාළ රතු තීන්ත ප්‍රහාරය පිළිබඳව කතාබහට ලක්ව ඇත.
නාගදීපය යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසිකම සන්ධිස්ථානයන්ගෙන් එකකි. එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේද බෞද්ධ බැතිමතුන්ගේ ආගමනයත් සමඟය. එය යාපනයේ ජනතාවද හොඳාකාරව දන්නා කරුණකි. නමුත් ජාතීවාදී හැඟීම් ඇති ඇතැම් පුද්ගලයන් හෝ සංවිධාන විසින් මේ ගන්නා උත්සහය උපන් තැනම විනාශ කිරීම අප කාගේත් වගකීමකි.
වන්නි රොමේෂ් මධුෂංඛ