2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

කුකුළු මස් කර්මාන්තයට සෙනසුරු දසාව!

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 317

"මේ අර්බුදය දැන් අවුරුදු දෙක තුනක ඉඳන් තියෙන දෙයක්. රටේ බ්‍රොයිලර් කුකුල් මස් නිෂ්පාදනය රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියි. ඇතැම් අවස්ථාවලදී කුකුළුමස්වල මිල තාවකාලිකව ගොවියාට සාධාරණ මිලක් ලැබුණාට බොහෝ වෙලාවට ගොවියාට ලාබ දායක මිලක් තීරණය වෙන්නේ නැහැ."

කුකුළු මස් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු රසික සමන්ප්‍රිය මහතා දේශයට පැවසීය.

මේ නිසා සිදුවන්නේ නිෂ්පාදන පිරිවැය දිනෙන් දින වැඩිවීමය. මෙම වැඩිවීමට සාපේක්ෂව නිෂ්පාදනවල මිල ඉහළයාමක් සිදුනොවේ. ලංකාවට බ්‍රොයිලර් කුකුළු මස් නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු, ඖෂධ වැනි අමුද්‍රව්‍යන්ගෙන් 60% - 70%ත් අතර ප්‍රතිශතයක් ලැබෙන්නේ ආනයනයෙනි.

පසුගිය කාලය තුළදී ඩොලරයේ මිල ඉහළ යාමක් රටේ බඩ ඉරිඟු නිෂ්පාදනය අඩුවීමත් සමඟ කුකුළු කෑමවල මිල අධික ලෙස ඉහළ ගියේය. එම ඉහළ යාමට සාපේක්ෂව නිෂ්පාදනවල මිල ඉහළයෑමක් සිදුනොවන බව කුකුළු මස් නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

"පිටරටින් ආනයනය කරන බඩ ඉරිඟු, කුකුළු කෑමවල ඉහළ යාම නිසා ගොවියන්ට විශාල පාඩුවක් සිදුවෙලා තියෙනවා. පසුගිය අවුරුදු කිහිපයේදී සුළු පරිමාණ ගොවියා කඩා වැටුණා. දැන් මධ්‍යම පරිමාණ විතරක් නෙමේ මහ පරිපාණ ගොවියන් පවා මේ පාඩුව දරාගන්නට බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා." යැයි රසික සමන්ප්‍රිය වැඩිදුරටත් පැවසීය.

වර්තමානයේදී කුකුළු මස් නිෂ්පාදනය කරන ගොවීන්ගේ නිෂ්චිත ගණනය කිරීමක් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මේ වනවිට පාඩු ලැබීමත් සමඟ සුළු පරිමාණ ගොවීහු මේ නිෂ්පාදනයෙන් ඉවත් වී සිටිති. මේ නිසා වැඩි වශයෙන් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ මධ්‍ය පරිමාණ ගොවීන් පමණි. නමුත් ඔවුන්ට ද මෙම රැකියාව නිසි පරිදි කරගෙන යාමට නොහැකි වාතාවරණයක් මේ වනවිට උදාවෙමින් පවතී.

“මීට අවුරුදු දහයකට එහා අතීතයක් එක්ක බලද්දී ගොවීන්ට ඒසී කුඩු හඳුන්වා දුන්නා. වායු සමීකරණ කූඩුවල කුකුළන් පහළොස්දාහක් අධික ප්‍රමාණයක කූඩු තමයි හදන්නේ. ඒ කූඩු හදන ප්‍රවණතාවය අද වෙද්දී වැඩිවෙලා තියනවා. එයින් නිෂ්පාදන පිරිවැය අඩුවීමක් ඇතිවී නිෂ්පාදකයාට වාසියක් ලැබෙනවා. එයින්ද අස්වැන්න එක පාර ලොකු ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්." රසික සමන්ප්‍රිය වැඩිදුරටත් දේශයට පැවසීය.

අද වෙද්දී කුකුළු මස් නිෂ්පාදන සඳහා සම්මත මිලක් නැත. සම සහිත කුකුළු මස් කිලෝ එකක් මිල රුපියල් තුන්සීය විස්සේ සිට රුපියල් හාරසීය දක්වා මිලක් වෙළෙඳපොළේ පවතී. එය බොහෝ විට නිෂ්පාදන පිරිවැයට සමාන වේ. කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ එය කෙසේවත් ගොවීන්ට දරාගත නොහැකි බවය.

“මේ සම්බන්ධව අපි බොහෝ සාකච්ඡා කරලා තියෙනවා. මේ සඳහා කළයුත්තේ ලංකාවේ නිෂ්පාදනය යම් මට්ටමින් අඩුකිරීමක් හෝ නිෂ්පාදකයාට යම්  බදු සහනයක් ලබාදීමයි. ලංකාවට අවශ්‍ය බඩ ඉරිඟුවලින් පමණක් සීයයට පනහකටත් වැඩි ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. ඒ ආනයන කරන බඩ ඉරිඟුවලින් කිලෝ එකකට රුපියල් දහයක බද්දක් රජය අය කරනවා. ඒක ගොවීන්ට දරාගන්නට බැහැ. ඉතින් අපි ඉල්ලා සිටින්නේ මේ බදු මිල අඩු කරන්න කියලයි." යැයි රසික සමන්ප්‍රිය වැඩිදුරටත් පැවසීය.

බිත්තර සහ කුකුළු මස් විදෙස් රටවලට අපනයනය කිරීමට නොහැකි වන්නේ එයට වියදම් වන මිලෙහි පවතින වැඩිවීම හේතුවෙනි.

“ලංකාවෙන් පිටරටවලට බිත්තර සහ කුකුල් මස් ඉතා අල්ප ප්‍රමාණයක් අපනයනය කළත් එය ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. නමුත් ඒකත් සමහර කාලවලදී පමණයි. කුකුළු මස්වලටත් වඩා බිත්තර පිටරට අපනයනය කරන්න ගොඩාක් අමාරුයි. මේ නිසා මෙය අපේ රට ඇතුළේ විතරයි පරිභෝජනය කරන්නේ." යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එම්.එම්.බී.ආර්. අලහකෝන් මහතා පවසයි.

එබැවින් ලංකාවට අවශ්‍ය මව් සත්ව ප්‍රමාණය පමණක් ආනයනය කිරීම ඉතාම වැදගත් වේ. ලංකාවට වසරකට අවශ්‍ය බිත්තර මව් සතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් හැත්තෑපන්දහසකි. නමුත් 2017 වසරේදී එක්ලක්ෂ විසිදාහසක් පමණ ලංකාවට ගෙන්වන ලදී. ඒ ගෙන්වීම තුළින් ලංකාවේ බිත්තර නිෂ්පාදනය වැඩිවීමක් වේ. දිනකට බිත්තර පරිභෝජනය ලක්ෂ 65කි. නමුත් නිෂ්පාදනය ලක්ෂ 85ත් 95ත් දක්වා වැඩි වීමක් පෙන්නුම් කෙරේ. ඒ තුළින් මෙම ක්ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට පත්වන බව බිත්තර නිෂ්පාදන සංගමය අවධානය කරයි.

“මෙම දැවැන්ත කඩාවැටීම 2016 සිට 2018 වසරේ ජූලි මස දක්වා පෙන්නුම් කළා. ඒ කඩාවැටීම තුළින් බොහෝ ගොවි මහතුන් බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වුණා. බොහෝ කුකුළු ගොවීන් අධික ලෙස ණයකාරයෝ වුණා. ඒ ණය ගෙවාගන්නට බැරිව අනාථ වුණා. මේ නිසා අද වෙද්දී මේ ප්‍රශ්න උඩුදුවලා තියෙනවා. ඊට අමතරව මොවුන් බ්‍රොයිලර් මව් සතුන් සීමාවකින් තොරව රටට ආනයනය කරනවා." යැයි ද අලහකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

කුකුළු ගොවීන්ට මිලදී ගැනීමට ඇති සත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහළ යාම ආහාර සඳහා පනවා ඇති බදු මුදල් වැඩිවීම ආදිය නිසා ගොවීන් මුහුණ දී සිටින විශාල අර්බුදයට පිළියම් යෙදීම නොපමාව සිදුවීම අත්‍යාවශ්‍ය බව මේ අනුව පෙනීයයි. 

 දිශානි ජයමාලි කරුණාරත්න