
රත්නපුරේ මැණික් ගැරිල්ලත්, මීගමුවේ මාළු ඇල්ලිල්ලත්, උඩරට අල වගාව සහ ලූනු වගාවත් හොඳ ආදායම් ගෙන දෙන කර්මාන්ත ලෙස රටේ ප්‍රකටය. හැබෑවකි. මීට වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන් ඒ කතාව ඇත්තය. නමුත් අද මේ අල වගාව සහ ලූනු වගාව සම්බන්ධ තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස්ය. මෙම වගාවන් දෙකම කරගෙන යන ගොවියන් සෑම දෙනකුම අද සිටින්නේ තවදුරටත් මේ වගාව කරගෙන යනවාද නැතහොත් වෙනත් වගාවක් සඳහා පිවිසෙනවාද යන උභතෝකෝටිකයකය. නැතහොත් දෙගිඩියාවකය.
ගොවීන් පාරට බැස උද්ඝෝෂණය කරන්නේ අද ඊයේ සිට නොවේ. එමෙන්ම ගොවීන් පාරට බැස කරන උද්ඝෝෂණ මේ රටේ මිනිස්සුන්ට අරැමයක් ද නොවේ. පසුගිය දිනවලත් ගොවීහු පාරට බැස උද්ඝෝෂණ කළහ. ඒ දිනවල පැවති නියං තත්ත්වය සමඟ ගොවීන්ට වගා කිරීමට අවැසි ජලය ඉල්ලාය.
නමුත් උඩරට ගොවීන්ට මහ ලොකුවටම ජල ගැටලු නැත. එහෙත් එම ගොවීන් බොහෝ දෙනෙක් අද ගැටලු කන්දක් මැද අතරමං වී සිටිති. එම ගැටලු කන්ද පුපුරා ගිය තැන ඔවුන් සිය අස්වනු විකුණා ගැනීමට නොහැකිව ලත වෙනවා සේම එයට සාධාරණ මිලක් ඉල්ලා පාරට බැසීම හැර වෙනයමක් කළ හැකිදැයි සිතීම පාඨක ඔබට බාරය. නමුත් ඔවුන් එම පියවර ගැනීමට පෙර ඔවුන්ගේ ගැටලු විසඳීමට ආණ්ඩුවේ ලොක්කන් මැදිහත් විය යුතුය. එහෙත් අවාසනාවකට මෙන් තවමත් අප රටේ සිදුවෙමින් තිබෙන්නේ අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමය.
මේ අතර 10 වැනි බදාදා රජයට ලබාදුන් ලොකු ලූනු බීජවලට මුදල් ලබා දෙන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකු ලූනු ගොවීහු ද දඹුල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.
ඔවුන් එහිදී ප්‍රකාශ කළේ මීට මාස 07කට පමණ ඉහතදී රජයේ සහන වැඩපිළිවෙළ යටතේ දේශීය ලොකු ලූනු බීජ රජයට ලබාදුන් බවත් එහෙත් එම බීජ ලබාදුන් පිරිසට නොව තවත් පිරිසකට නිලධාරීන් විසින් එම චෙක් පත් ලබා දීම සිදු කළ බවත්ය.
අල ගොවීන් ද පවසන්නේ මෙහිම අනිත් පැත්තය. ඔවුන්ගෙන් අස්වැන්න ලබා දී සැලකිය යුතු කාලයත් ගත වී තිබුණ ද තවමත් ඒ සඳහා වන මුදල් තමන්ට රජය විසින් ලබා නොදී සිටින බවය.
මෙම මුදල් ලබා දීමේ ක්‍රමවේදයේදී ලොකු ලූනු බීජ ගොවියන් සහ අල ගොවියන් අතර ඇති වි තිබෙන නෝක්කාඩුවට සෘජුව වගකිව යුත්තේ රජය බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය.
මේ වනවිට ගොවීන්, ගොවීන් අතර සිදු වී තිබෙන මෙම මත ගැටුම සහ ඔවුන්ට සිදු වී ඇති අසාධාරණය විමසා බැලීමට අදාළ ගොවි සංගම් දෙකෙහි නියෝජිතයන්ගෙන් ද විමසීමක් කළෙමු.
අල ගොවීන්ගේ සංගමයේ සභාපති - ගුණවර්ධන
අර්තාපල් ගොවීන්ට ලොකු ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. නමුත් දැන් මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ යල කන්නයට අස්වැන්න නෙළුවට පස්සේ ඒ පලදාවට හොඳ මිලක් අපිට නොලැබීම. පාඩු පිට තමයි බඩු දාන්නේ. මේ සම්බන්ධව අපි උද්ඝෝෂණයකුත් කළා වැලිමඩ නගරයේ. ඊටපස්සේ ආණ්ඩුව තීරණය කළා රුපියල් 92 ගාණේ කිලෝවක් මිලදී ගන්න. ඒ පොරොන්දු වුණු ආකාරයට මිලදී ගත්තා. මුලින් මුලින් අපගේ පලදාවන්වලට නිසි ආකාරයට මුදල් ලැබුණා. නමුත් ඊටපස්සේ ඒ මිලදී ගැනීම්වලට මුදල් ලබාදුන්නේ නැහැ. මාසයක් පමණයි ගෙව්වේ. තාමත් මේ වෙනකම් ඉතිරි මුදල් ප්‍රමාණය ගොවීන්නට ලැබිලා නැහැ. ඒ නිසා අපි තවත් දවස් කීපයක් බලලා මුදල් ලබා නොදුන්නොත් නැවත උද්ඝෝෂණයකට යන්න බලාපොරොත්තු වෙනවා.
ශක්ති ලොකු ලූනු බීජ සංගමයේ උප සභාපති ප්‍රියන්ත
මේ අවුරුද්දේ මැයි මාසයේ ඒ වෙනකොට හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළු පිරිස අපිට සහතිකයක් ලබා දුන්නා. ලොකු ලූනු බීජවලට රුපියල් 9000ක මිලක් ලබා දෙනවා කියලා කිව්වා තක්සේරැ මුදලක් බීජ ඇට කිලෝ එකකට. ඒකට හේතුව වුණේ පලදාව ගිය වසර තුළ අඩුවීම නිසා ඒක ප්‍රවර්ධනය කරන්න ඕන නිසාවෙන් ඇත්තටම රුපියල් 9000ට වඩා මිලකට අපි මේ බීජ ඇට කිලෝව විකුණමින් තමයි හිටියේ. නමුත් රජයේ වැඩසටහනක් නිසා තමයි අපි මේකට එකඟ වුණේ ඊට පස්සේ මේ සල්ලි ලබාදීමට. දැන් ඒ අය සල්ලි එවලා තියෙන්නේ අපිට නෙවෙයි වෙනත් පිරිසකට. ඒ වගේම මේ ලැබෙන තොරතුරු බැලුවම අපිට ආරංචි වුණා ලූනු හදපු නැති ගොවියන්ටත් චෙක් තියනවා කියලා. නමුත් බීජ නිෂ්පාදනය කරන අපිට ඇවිල්ලා නැහැ. දැන් මෙහෙම බලනකොට අපිට කාගෙන්වත් පිළිසරණක් නැහැ. අපි අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නේ මේ ප්‍රශ්නය නිසා.
මෙම අදාළ සිදුවීම් ද්විත්වය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගෙන් ද විමසීමක් කළෙමු.
මේ ප්‍රශ්න දෙකම විසඳීමට රජයට හැකියාවක් තිබුණා. නමුත් තවමත් ඔවුන් මේ පිළිබඳව පියවරක් ගෙන නැහැ. මුලින්ම අල ගොවීන්ගේ ගැටලුව දිහා බලනවිට රජය මේ ගොවීන්ගෙන් අල මිලදී ගත්තා රුපියල් 92 ගාණේ. මේ විදිහට මිලදී ගත්තේ ලොකු අල ගෙඩි විතරයි. නමුත් දිගටම ඵලදාව මිලදී ගත්තට නිසි ලෙස ගොවීන්ට මුදල් ගෙවීමක් සිදු වුණේ නැහැ. ගොවියන් මේ පිළිබඳව ඇහුවම ඒ ඒ ආයතනවල සිටිනා නිලධාරීන් කළේ මේ ගොවියන්ව මඟහරින එක. දිගින් දිගටම මේ ප්‍රශ්නය ඇදී එන විට සමහර ගොවීන්ට ලක්ෂ දෙක තුන වශයෙන් අයවිය යුතු මුදලක් තිබුණා. මේ ගොවීන් බොහොම අසරණව බැංකුවලට ණය වෙලා තමයි මේ විදිහට වගා කටයුතු සිදු කරලා තිබුණේ. ඒ වගේම කෝටි 18කට ආසන්න මුදලක් රජය විසින් ගොවීන්ට ගෙවිය යුතුව තිබුණා. මේ ප්‍රශ්නය දැන් මාස 06කට අධික කාලයක් මුළුල්ලේ තිබෙන ප්‍රශ්නයක්.
ලොකු ලූනු ගොවීන්ගේ ප්‍රශ්නයත් මේ ආකාරයට තමයි සිදු වුණේ. පසුගිය කාලයේ මේ ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත් වෙන්න ගත්තා. පහසුකම් නැතිකම, අස්වනු විකිණීමට නොහැකි වීම තමයි මේවට ප්‍රධාන හේතුව වුණේ. මේ තත්ත්වය යටතේ සහනාධාර වැඩපිළිවෙළක් රජය විසින් ගොවියාට යෝජනා කළා. නමුත් ඒ වැඩපිළිවෙළ යටතේ රජයෙන් ගොවියාට 4500ක මුදලක් ලබා දීමටත් ඉතුරු මුදල ගොවීන් විසින් ලොකු ලූනු වගාකරැවන්ට ලබා දීමටත් තීරණය කෙරුණා. නමුත් සිදුවීම මෙය වුණත් රජය විසින් මේ මුදල් ගෙවීම පැහැර හැරිලා තියනවා. ඒ වගේම තමයි මේ ගොවීන්ට යම් සහනයක් ලැබිලා මුදලක් ලැබුණා. නමුත් ඒ මාස හයකට පෙර. ඒ අනුව ගොවීන් 1700කට වැඩි පිරිසක් අසරණ වෙලා ඉන්නේ. නමුත් තවමත් රජය විසින් මෙයට තවමත් නිසි ප්‍රතිචාරයක් දක්වලා නැති නිසා මේ අල ගොවීන් මෙන්ම ලූනු ගොවීනුත් ඉන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිව. මෙම ප්‍රශ්න දෙස බලනා ඕනෑම කෙනකුට කොතනක හෝ බරපතළ ගැටලුවක් ඇති බව දැන් අවබෝධ විය යුතුය. අවශ්‍යව ඇත්තේ මෙවැනි ගැටලු එක තැන පල්වන ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය කඩිනම් විසඳුමකි. එසේ නොවුණහොත් තව බොහෝ කාලයක් යෑමට පෙර මෙහි ඇති වූ ප්‍රතිඵල සියල්ල මුළු රටට එක සේ බෙදී යනු ඇත. ඉන් අසරණ වන්නේ සැප ඇත්තන් නොව දුප්පතුන් බවද මතක තබා ගන්නේ නම් අගනේය.
හසිත් අංජන