
මේ ගමෙහි පොල් රුප්පා අතරින් ඓතිහාසික මාවත් වැටී තිබුණේය. එහි අස් රිය, ගොන් කරත්ත, බර කරත්තද මෙහි ගමන් ගත්තේය. මඟ දෙපස වූයේ පොල් රුප්පාවන්ය. ගමෙහි එක් මායිමක් මහා සාගරය විසින් ලකුණු කරනු ලැබ තිබුණි. එකල්හිද රා කර්මාන්ත මෙගමෙහි ඇරඹී තිබුණි. රේන්ද රාළ එකල ගම්මානයේ රා කර්මාන්තයේ මූලිකයාය. රා කර්මාන්තය සඳහා වූ රජයේ කොන්ත්‍රාත්තුව ඔහුට හිමිවිය. එම නිසා රේන්ද ගස් මැද්දෙව්වේ ඔහු විසිනි.
මෙකල ස්කාගාරයක් අවට ප්‍රදේශයේ නොවූයෙන් කල්දේරම් මඩුවල අරක්කු නිෂ්පාදනය සිදුවිය. එය රජයේ අවසර බලපත්‍ර සහිතව සිදුවිය. එම අරක්කු රජය විසින් මිලදී ගනු ලැබුවේය. ස්ප්‍රීතු තැනීමට ගනු ලැබුවේ ඉතා පැරැණිම මෙවලම්ය. ගම්මානයේ කල්දේරම් මඩුව තිබූ තැන අත්තිවාරමේ නටබුන්, ගොඩැල්ලේ කන්ද පහළ නන්දිරිස් මුදලාලිගේ වත්තක මෑතක් වනතුරුම ඉතිරිව තිබුණි. එනමුදු රෙන්දරාළ පිළිබඳව හා කල්දේරම් මඩුව පිළිබඳව මතකයන් අටසිය ගණන්වල අග්ගිස්සටත් නවසිය ගණන්වල මුල්භාගයටත් දිවයන බැවින් පැරැන්නන්ගේ මතක පොතින්ද ඒ තතු වියැකී ගොසිණි.
එක්දහස් නමසිය පනහ දශකය මේ ප්‍රදේශයේ රා කර්මාන්තයට තීරණාත්මක වසරක් විය. එදා රා කර්මාන්තට චිරප්‍රසිද්ධව සිටි නන්දිරිස් මුදලාලි මහතා මෙම කර්මාන්ත අත ගැසුවේ එම වකවානුවේය. කර්මාන්තය ඔහුගේ පවුලේ උරැමයක් විය. අද ගම්මානයේ රා කර්මාන්ත වෙනුවෙන් භාවිත වන එකදු පොල්ගසක් හෝ නැතත් එකල පොල්ගස් තුන්දහසක් පමණ ඈඳා රා කර්මාන්ත යහමින් කරගෙන ගිය අයුරු ඔහු අපට කියයි. අද ගාලුපාරට මායිම්ව ඇති මොරගල්ල ස්කාගාරයක් ඇඹුණේද මේ වකවානුවේය. එකල ප්‍රකට ව්‍යාපාරිකයකු වූ සේන ජයසූරිය මහතා මෙම ව්‍යාපාරයේ හිමිකරුවා විය. බේරැවල පටන් බෙන්තර ඉඳුරුව දක්වා තිබුණු එකම ස්කාගාරයත් මෙයය. අප කියන මුදලාලි මහතා මේ ස්කාගාරයේ ප්‍රමුතම කොන්ත්‍රාත්කරු විය.

ගම්මානයම එකල පොල් යායකි. වැට කොටු මායිම් සීමාසහිත විය. එකින් එකට ඈඳා තිබූ පොල් ගස් ගම පුරා විය. මේ කර්මාන්තයෙන් ගම්මු බොහෝ දෙනෙක් යැපුණෝය. රා පීප්ප පටවාගත් ගොන් කරත්ත සුදුවැල්ලෙන් හා මැටියෙන් තැනුණු ගමේ අතුරු මාවත් පුරා ගමන් ගත්තේය. සරම කැහැපට ගසා මන්නා පෙට්ටිය ඉන බැඳ ලබුකැටය එල්ලාගෙන නිරුවත් උඩු කයින් රාජකාරියට යන රා මදින්නන්ද සැමට හුරුපුරුදු දසුනක් විය. රා පීප්පද ගමේ තැන තැන විය. රා වැක්කෙරුවේ ගැටවරයෝය. ගමේ වැඩිහිටි ඇත්තෝ දවසේ රාජකාරිය නිමවා රා පීප්පයක් අසලදී රහසේම රා පොල්කටුවල රස බැලූහ.
සේවකයන් තිස් දෙනෙක් පමණ මුදලාලි මහතා යටතේ සේවය කළහ. මදින්නෝ රා වක්කරන්නෝ සහ කරත්තකරුවෝ ඒ අතර වූහ. කරත්ත හතක් පමණද රාජකාරියට යොදවා තිබුණි. එම නිසාම සියලු සේවකයන් සඳහා කෑම බීම පහසුකම් සලසනු ලැබීය. රා මදින්නන් අතරින් දක්ෂයන් සොයාගැනීම පහසු වූයේ නැත. හොඳ මදින්නන් රැගෙන ඒමට මීගමුව, හලාවත වැනි ප්‍රදේශවලට පවා යාමට සිදුවිය. එමෙන්ම එකල අලුත්ගම බොන්දුපිට නම් ගම්මානයේද දක්ෂ මදින්නන් සිටි ගමක් බව කියැවේ. පොල් රුප්පාවල තැන තැන වාඩි ගසා තිබුණි. ගමේ මෙන්ම අවට ගම්මානවලද ගස් ඈඳීම නන්දිරිස් මුදලාලිගේ ව්‍යාපාරයේ කොටසක් විය.

අතීතයේ රා කර්මාන්ත හා සැබැඳි රසබර පුවත් අද කතාබහේදී මතුව ආවේය. ගාල්ලෙන් බිහිවූ මෙරට ප්‍රකට විප්ලවකාරී දේශපාලනඥයකු මෙන්ම අගමැතිවරයකු වූ විජයානන්ද දහනායක මහතා පාර්ලිමේන්තු ගොස් බසයෙන් ගම රට යන ගමනේදී මොරගල්ලෙන් බසින බව ගමේ පැරැන්නෝ කියති. ඒ රා වීදුරුවක රස බැලීමටය. එනිසාම අව්‍යාජ ගැමියකු ලෙස ප්‍රකට දහනායක මහතා පිළිබඳව මතක තවමත් ගම්මානයේ පැරැන්නන් සතුව තිබේ. අද දේශපාලන සිටින ඇතැම් පරිණත දේශපාලන චරිත නන්දිරිස් මුදලාලිලා මහතාගේ හමුවී ගල් ඉස්සන් සමඟ රා බී ගිය අවස්ථා ගැනද මතක ඉතිරිව තිබේ.
ගස් ඈඳීම පිළිබඳව මතකය මීළඟට අවදි කරමු. එක යායට පොල් ගස් සිය ගණන් වන පොල්වතුවල ගස් මැදීමට එකින් එක ගස්වල නැගීම කිසිසේත්ම කළ නොහැක්කකි. එබැවින් එකින් එක ගස් ඈඳීම සිදුකළ යුතුවෙයි. ගස් දෙකකට නගින දෙදෙනෙකු විසින් ලණුවලින් එකින් එක ගස් ඈඳනු ලබයි. එය සුළුපටු රාජකාරියක් නොවීය ගස් යට සිටින පිරිසද ඊට සහාය දැක්වූහ. ඒ ලණුවලට බුරුල ලබාදෙමිනි. මෙසේ එකින් එක ඈඳා අතුරු මග සකසා ගන්නා පොල් කට්ටියක දෙපසින් ගස් දෙකක හැර බැඳීම සිදුවිය. හැර බැඳීම යනු පොල්ගසට නැගීම පහසු වීමට පොල් ලෙලි ගසට තබා ඉනි මඟක් සේ බැඳීමයි. මෙසේ ගස් ඈඳා ගැනීමෙන් පසු ගස් මැදීමේ රාජකාරි පහසුවෙයි. එක් ගසකින් ගොඩ වූ පසු අතුරු මග ඔස්සේ අනෙක් ගස්වලටත් ගොඩවීමට ගැකිය. මල තැලූ පසු පසු මුට්ටියට පිරෙන රා ගස් කට්ටිය මදින පුද්ගලයා තම ඉනෙහි ඇති ලබු කැටයට දමා යොතක් මගින් පහළට බානු ලබයි. එවිට පහළ සිටින තැනත්තා එම රා එකතු කරගනී. මෙසේ ගසින් ගසට අතුරැ මග ඔස්සේ ගමන් කරමින් රාජකාරි කරගත හැකිය.
මෙසේ ඈඳනු ලැබූ පොල් කොටු රාශියක් මේ ගම්මානයේ එකල විය. ඒවා එක් එක් මදින්නන්ට භාර දී තිබුණි. එක්දහස් නමසිය පනස් ගණන්වල රා කර්මාන්ත පුවත් මෙසේ විය. එකල රා කර්මාන්තය හා සැබැඳි තවත් කතන්දර බොහෝය. එම තතුවිත්ති සමඟ මල තැලීමේ සිට ස්කාගාරය රා පීප්ප රැගෙන යාම දක්වා කතාව ලබන සතියට.
►චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය: සෙනේරියා රණසිංහ නන්දිරිස් සිල්වා මහතා / රානි අබේලතා මහත්මිය