2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

යළිත් හොල්මං කරන තලා දැමූ මැලේරියාව

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

මැලේරියා මෙරටින් තුරන් කර දමනු ලැබීය. නිසැක වශයෙන්ම ඔබ එම ප්‍රකාශය කොතැනදී හෝ අසා ඇත. නමුත් අද අපි පෙරළා පැනයක් නගමු. මැලේරියා වසංගතය ශ්‍රී ලංකාව තුළ නැවත හිස එසවිය නොහැකිද? ඔව්. එසේ වීමේ අවදානමක් තිබේ. මේ සටහන ඒ පිළිබඳව ඔබේ දැනුවත් වීම සඳහාය.

මැලේරියා වසංගතය කොතරම් භයානක වීදයත් මදකට එහි ලාංකික ඉතිහාසය සිහිපත් කරමු. කැලෑ උණ නමින් හැඳින්වූ මැලේරියා වසංගතය එක්දහස් නවසිය තිස් ගණන්වලදී මෙරට ඉතා දරුණු ලෙස පැතිර ගියේය. එවක මෙරට ජනගහනය ලක්ෂ 53ක් වූ අතර ලක්ෂ 58ක් රෝගීන් වාර්තා විය. එකම පුද්ගලයාට දෙතුන්වරක් රෝගය වැළඳීමෙන් මෙසේ රෝගීන් වාර්තා වුවද මරණ 80,000 ක් පමණ විය. මෙම තත්ත්වය ඉතා දරුණු ලෙස 1934දී බස්නාහිර පළාතෙන් වර්තා විය. මැලේරියා වසංගතය ලෝකයේද හඳුන්වනු ලබන්නේ රටක ආර්ථිකය හා සමාජය අඩපණ කරන භයානක වසංගතයක් ලෙසයි. 1963 වනවිට රෝගීන් 17 දෙනෙකු දක්වා අවම කරමින් මෙරටින් සාර්ථකව මැලේරියා තුරන් කිරීමට කටයුතු කර තිබේ. මෙහිදී සිදුවුයේ මැලේරියා වසංගතය හේතුවන පරපෝෂිතයා මෙරටින් තුරන් කිරීමයි. නමුත් රෝගය බෝ කරන මදුරුවෝ මෙරට තවත් ජීවත්වෙති. ඒ අනුව මෙරට පරපෝෂිතයන් නොවූවත් විදේශයන් හරහා පරපෝෂිතයන් පැමිණීමේ අවදානමක් තිබේ.

මෙරට දේශීය වශයෙන් මැලේරියා රෝගියකු අවසන් වශයෙන් හමුවී ඇත්තේ 2012 ඔක්තෝබර් මාසයේදීය. නමුත් මැලේරියා පරපෝෂිතයා ශරීර ගත වී විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පනස් දෙනෙකු පමණ වසරකට හමුවේ. එය සාමාන්‍ය අගයකි. මෙම පනස්දෙනා නැවත මෙරට බරපතළ මැලේරියා වසංගතයක් ඇති කිරීමට ප්‍රමාණවත්ය.

2018 ජනවාරි 01දා සිට 2018 දෙසැම්බර් 03 වනදා දක්වා මෙරට විදේශයන්හි සිට පැමිණි මැලේරියා වැළඳුණු රෝගීන්ගේ දත්ත සමූහයක් මෙලෙස ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව රෝගීන් 41 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 30 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වන අතර විදේශිකයන් 11 දෙනෙකි. ඉන්දියාවේ සිට පැමිණි රෝගීන් 16 දෙනෙක් වෙති. සුඩානය මැඩගස්කරය ආදී අප්‍රිකානු හා මැදපෙරදිග රටවල් 15 සිය පැමිණි පිරිස් අතරින් සෙසු රෝගීන් වාර්තා වී තිබේ. විශේෂන්ම විදේශයන්හි සිට පැමිණි ශ්‍රමිකයෝ එම රටවලදී මදුරු දෂ්ඨයන්ට ගොදුරු වී පරපෝෂිතයන් ශරීර ගතවී මෙරටට පැමිණතිබේ. ඊට අමතරව ඉන්දියාව හා අප්‍රිකානු රටවල් හරහා මෙරටට පැමිණෙන සංචාරකයන් හරහාද මෙම රෝගීන්ගේ පැමිණීමේ අවදානම ඉහළය.

මැලේරියාව පතුරුවන්නේ වන්නේ ඇනෝෆිල්ස් ගණයට අයත් මදුරු විශේෂයයි. ඒ අනුව විදේශයක සිට පැමිණෙන මදුරු දෂ්ඨනයක් හරහා මේ පරපෝෂිතයා ශරීර ගතවූ රෝගීන්ට දේශීයව සිටින මෙම මදුරුවන් දෂ්ඨකළ විට එම මදුරුවා තුළට මෙම පරපෝෂිතයන් ඇතුළුවෙයි. එම පරපෝෂිතයන් ඇතුළු වූ මදුරුවා නැවත යම් පුද්ගලයකුට දෂ්ඨ කළ විටදී මෙම රෝගය පැතිර යාම ආරම්භ වෙයි. මදුරු දෂ්ඨයෙන් පළමු දින කිහිපයේදී පරපෝෂිතයා සිටින්නේ රෝගියාගේ අක්මාවේය. සතියක් පමණ ගතවීමෙන් පසු පරපෝෂිතයන් අක්මාවෙන් ලේ වලට පැමිණෙයි. ලේ වලට පැමිණෙන පරපෝෂිතයන් ලේ සෛල විනාශ කරමින් වැඩෙන විට රෝගියාට උණ නම් රෝග ලක්ෂණය මතුවෙයි. මෙම කාලය වනවිට මෙම පරපෝෂිතයන් නැවත මදුරුවෙකුට ඇතුළු වීමට සුදුසු ලෙස හැඩ ගැසෙයි. මෙම තත්ත්වයට පත්වීමට සතියක් දෙකක් පමණ ගතවේ. විදේශන්හි සිට පැමිණ රෝගීන් සතියක් ඇතුළත දී හඳුනාගැනීම හැකි නම් වසංගතය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාවක් තිබේ.

මැලේරියා පිළිබඳව ඉතිහාසය පුවතට සාපේක්ෂව එම ගණත්ව වලින්ම වර්තමානයේ එම මදුරු විශේෂ දක්නට නැත. එහෙත් ගණත්වයන් කෙසේ වෙතත් දිවයිනේ බස්නාහිර පළාත් ඇතුළු සියලුම දිස්ත්‍රික්කවලින් මෙම මදුරු විශේෂ වාර්තා වෙයි. එය අවදානම් සහගත තත්ත්වයකි. පෙරදී නම් ඇනෝෆිලස් කියුලිසිපීට්ස් මදුරු වැඩි වශයෙන් හමුවූයේ ගම්බද කැලෑබද ප්‍රදේශවලිනි. එහෙත් යාපනය මන්නාරම් ආදී ප්‍රදේශවල ඉන්දියාවේ සිට පැමිණි මදුරු විශේෂයක්ද හමුවී තිබේ. එම විශේෂ නාගරිකවද බෝවෙයි. යම්හෙයකින් ලංකාව තුළ නැවත මැලේරියාව හිස එසෙව්වහොත් එය පාලනය ඉතා අපහසු වනුඇත. නාගරිකවත් මෙම වසංගත තත්ත්වය පැතිරයාමට ඉඩ තිබේ. තවද ඉහත දී මැලේරියා වැළඳුණු විට දින තුනෙන් තුනට හෝ හතරෙන් හතරට උණගන්න බව කියවුණු නමුත් අද එම තත්ත්වය දක්නට ඇත්තේ කලාතුරකිනි.

ඒ අනුව මැලේරියාව යනු මාරාන්තික රෝගයක් පමණක් නොව විනාශකාරී රෝගයකි. මිනිස්සුන්ට එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීමටද නොහැකි වී මාස ගණනාවක් යනතුරු අබල දුබල තත්ත්වය පත් කරති. එවිට රෝගී පවුල්වල මෙන්ම රටේද සමාජයට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙයි. උදාහරණයක් ලෙස යම් හෙයින් කොළඹ වැනි නගරයක් මැලේරියා වසංගතයට ගොදුරු වුවහොත් ඇතිවිය හැකි හානිය අති විශාලය.

මැලේරියා රෝගය බරපතළ ලෙස නොමැති තත්ත්වයක් තුළ වෛද්‍යවරුන්ටත් සාමාන්‍ය ජනතාවටත් මෙම රෝගය පිළිබඳව අමතක වීගෙන යයි. එම නිසාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළත් මහජන අතරත් මේ පිළිබඳව නිතර නිතර දැනුවත්කිරීම් සිදුකළ යුතුව තිබේ. ඒ සඳහා වන වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාත්මකය. පිටරටක සිට මැලේරියා පරපෝෂිතයා ශරීරගත වී මෙරටට පැමිණ රෝගීන් බැලූ බැල්මට හඳුනාගැනීමේ හැකියාවක් නැත. බරපතළ උණ රෝගී තත්ත්වයකින් යමෙකු ප්‍රතිකාර ගැනීමට පැමිණි විට විදෙස් ගතව සිට පැමිණ අයෙක්දැයි විමසා බලා මැලේරියා සඳහාද ලේ පටලයක් ලබා ගැනීම සිදුකළ යුතුව තිබේ. එමෙන්ම විදෙස්ගතව සිට පැමිණි අයෙක්හට උණ රෝගී තත්ත්වයක් ඇතිවූ විට ඒ සම්බන්ධ වෛද්‍යවරුන් දැනුවත් කර පරීක්ෂාවක් සිදුකර ගැනීම වටී. තවද සාමාන්‍ය ජනයා මදුරුවන්ගේන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂක භාවිත කිරීම වැදගත් වේ. ඒ අනුව වෛද්‍යවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව දැනුවත් වීම අතිශය වැදගත් වේ.

වර්තමානයේදී පවා ලෝක ජනගහනයෙන් තුනෙන් එකට වඩා පිරිසකට මැලේරියා රෝගය වැළඳීමේ අවදානම තිබේ. එම ජනගහනය බිලියන තුනට ආසන්න ප්‍රමාණයකි. 2010 වර්ෂයේ පමණක් මිලියන භාගයක් ලක්ෂ හයහමාරකට ආසන්න ප්‍රමාණයකට මැලේරියා වසංගතයන් හේතුවෙන් ජීවිතය අහිමි වී තිබේ. තවත් ලොවපුරා රටවල් අනූනවයක මැලේරියා රෝගය ව්‍යාප්තව පවතී. එහෙත් රටක් ලෙස අප මැලේරියා රෝගය තුරන් කිරීමට සමත්වීමු. එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක් විය. සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම, මහජන මැදිහත්වීම, දැනුවත් කිරීම් එදා ඊට හේතුව විය. ඊට අමතරව ස්වභාවධර්මයාගේ ආශීර්වාදයත් රටක් ලෙස අපහට ලැබෙන්නට ඇත. එහෙත් අද නැවත අවදානමක් මතුව තිබේ. ඒ නිසාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළත් මහජනයා අතරත් අවදානමට පෙර සූදානමක් තිබීම වැදගත් වනු ඇත.

(මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා හා සිදුකරනු ලැබූ සංවාදයක් ඇසුරිණි.)

I සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා