
තියුණු අයුධවලින් පහරදී තුවාල සිදුකිරීම සහ ඝාතනය කිරීම මෙන්ම ඒ අතරතුර මංකොල්ලකෑම ඇතුළු සාහසික අපරාධ ගණනාවක් දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් පසුගිය දිනවල අසන්නට ලැබිණ. සමාජය බරපතළ ව්‍යසනයකට ගොදුරු වී ඇති බව පෙන්වමින් මෙවැනි සිද්ධීන් හරහා ගොඩනැගෙන අපරාධ රැල්ල භයානක තත්ත්වයකි.
ගම, නගරය හෝ ප්‍රදේශය වශයෙන් බේදයකින් තොරව ආයුධ භාවිතයෙන් මාරාන්තික තුවාල සිදුකිරීම හා ඝාතනය කිරීම දක්වා ඇතැම් පිරිස් පෙළඹී සිටින බව පෙනේ.
මේ ආකාරයේ ඝාතන සිදුවීම් හතරක් පසුගිය සතියේ වාර්තා වූයේ රත්නපුර, ජල්තර, කැස්බෑව සහ මහනුවර ප්‍රදේශවලිනි. එහිදී කාන්තාවක ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් ඝාතනය වූහ. රත්නපුර හා ජල්තර ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනකු බැගින් මහමගදීම ඝාතනය කර තිබිණි.
රත්නපුර ගොරකඇළ මංසන්ධියේදි ඉකුත් 9 දා රාත්‍රී 11.00ට පමණ තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකුට ජීවිත අහිමි විය. එසේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ ගොරකඇළ මණ්ඩදෙණිය, කිරිවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. ඩී. සනත් කුමාර (35) නැමැති දෙදරු පියෙක් හා සුරංග රසික (32) නැමැති අවිවාහකයෙකි.
පතල් කම්කරුවන් වශයෙන් කටයුතු කරමින් සිටි සනත් කුමාර සහ සුරංග රසික දෙදෙනා පසුගිය 9 වැනිදා පස්වරු 7.30ට පමණ ගොරකඇළ හන්දියට පැමිණ ඇත. සනත් කුමාර නැමැත්තා නිවසින් පිටත්ව ගොස් ඇත්තේ අලුත් පාසල් වාරය ඇරඹීමට මත්තෙන් තම දරුවාට අවශ්‍ය පොත්පත් මිලදීගෙන ඒම සඳහාය. ඔහු හා පැමිණි සුරංග සනත්ගේ මිතුරකු වන එකම පතලේ සේවය කරන අයෙකි. ඔහුගේ මව පියා ජීවතුන් අතර නොමැති අතර ඔහුට බාල නැගණියන් දෙදෙනෙක් පමණක් සිටිති.
ගොරකඇළ හන්දියට පැමිණ සිටි මිතුරන් දෙන්නාට පහර දී තිබුණේ එදින රාත්‍රී 11ට පමණය. තුවාල ලබා සිටි දෙනා ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කර ඇතත් ඒ වන විටද දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය සිදු කළ විමර්ශනවලදී ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතනය වූ දෙදරු පියාගේ මස්සිනා වන අමිල ප්‍රියංකර නැමැත්තෙකි. අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතනය වූ දෙදරු පියා සහ සැකකාර පුද්ගලයා එක්ව විවිධ මංකොල්ලකෑම් සිදුකර ඇත. මේ අපරාධ සම්බන්ධයෙන් දෙදෙනාට එරෙහිව නඩු ගණනාවක් පවතී. කෙසේ වෙතත් දෙදෙනා අතර කලක පටන් ආරවුල් හටගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ ගැටුම් හේතුවෙන් පොලීසියේ පැමිණිලි ගණනාවක් සටහන් වී ඇති අතර විභාග වෙමින් පවතින නඩු ගණනාවක් ද වේ.
මරණකරු විසින් මාස කිහිපයකට ඉහතදී සැකකරුට පහර දී තුවාල සිදුකිරීම පිළිබඳ ඔහුගේ බිරිය විසින් පැමිණිලි කර තිබේ. සැකකරු විසින් සනත් කුමාරට පිහියෙන් ඇනීමේ සිද්ධියක් පිළිබඳව මෙන්ම සැකකරු හා මරණකරු එක්ව රුපියල් 43000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද නඩු වැටී තිබේ. සැකකරු විසින් මරණකරුට පොල්ලකින් පහර දීමක්, සැකකරුගේ බිරියට ඇසිඩ් ගැසීම හා සැකකරුගේ බිරියට එරෙහි ගංජා නඩුවක් ඇතුළු නඩු රාශියක් පවතී. එසේම දෙපිරිස පොලීසියට කැඳවා කරුණු විමසමින් සිටියදී දෙපාර්ශවය ඇති කරගත් ගැටුමක් නිසා දෙපාර්ශවයටම එරෙහිව රත්නපුර පොලීසියේ සුළු පැමිණිලි අංශය විසින් නඩුවක් පවරා තිබුණි.
නඩු සියල්ල ලබන වසරේ ජනවාරි, පෙබරවාරි මාසවලදී විභාග කිරීමට නියමිතව තිබී ඇත. අසල්වැසි නිවාස දෙකක පදිංචිව සිටින දෙපාර්ශවය අතර කාලයක සිට පවතින ආරවුල් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති බව සැක කෙරේ. සනත් කුමාරගේ ඝාතනය පිළිබඳ තොරතුරු හෙළි කරනු ඇතැයි සැකයෙන් ඔහු හා ගිය රසික කුමාර යන අයද ඝාතනය කර ඇති බවට කරැණු හෙළි වී තිබෙන බව රත්නපුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ටී. එම්. පී. ඩී. තිලකරත්න මහතා පැවසීය. මේ වනවිට සැකකරු, බිරිය හා දරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
මේ අතර පසුගිය 10 වැනිදා හංවැල්ල ජල්තර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තිබිණ. මෙය ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි දෙකක් අතර වූ ගැටුමක් බවට හංවැල්ල පොලීසිය අනාවරණය කරගෙන තිබුණේය.
එසේම පසුගිය 9 වැනිදා තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් කාර්යාල කළමනාකාරවරියක ඝාතනය කර තිබුණේ කැස්බෑව මාවිත්තර ප්‍රදේශයේ නිවසක සිටියදීය. මෙසේ ඝාතනයට ලක්වූ කාන්තාව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයට අනුබද්ධ ජල අපද්‍රව්‍ය කළමනාකරණ පෞද්ගලික ව්‍යාපෘතියක වැල්ලවත්ත ශාඛාවේ කාර්යාල කළමනාකාරවරියක වශයෙන් සේවය කළ තැනැත්තියකි.
ඝාතනයෙන් පසු ඇයට අයත් රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය සොරාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර මියගිය කාන්තාවගේ ඥාති පුත්‍රයෙක් එක් සැකකරුවෙකි. යම් මුදලක් ඉල්ලා එය නොමැති බව පැවසීම නිසා උරණ වීමෙන් මේ ඝාතනය සිදුකර ඇති බවට ද කරැණු හෙළි වී ඇත.
මේ අතර මහනුවර දංගොල්ල ප්‍රදේශයේදී වැඩිමහල් සොහොයුරාට තියුණු ආයුධයකින් පහර දී ගල්වලින් හිසට ගසා ඝාතනය කිරීමේ අපරාධයට ඔහුගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ ඝාතනය සඳහා බාල සොහොයුරාට තවත් ඥාති සොයුරෙක් සහාය වී ඇතැයි ද වාර්තා විය.
මියගිය තැනැත්තා යුද හමුදාවට බැඳී පුහුණුව ලබන අතරතුර ඇති වූ මානසික ආබාධයක් නිසා ඉන් ඉවත්ව සිට ඇත. රෝගී තත්ත්වය නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය ඔහු සිය සොහොයුරා හා තවත් දෙදෙනකු සමඟ උඩපේරාදෙණිය ප්‍රදේශයේදී මත්පැන් පානය කර තිබේ. එහිදී ඇති වූ ආරවුලක් මත ඝාතනය සිදුකර ඇතැයි අනාවරණය වී තිබුණි.
මේ අපරාධ සම්බන්ධයෙන් රත්නපුර, හංවැල්ල, පිළියන්දල හා මහනුවර පොලිස්ථාන මඟින් වැඩිදුර විමර්ශන පවත්වයි.
►සමන්ත ප්‍රදීප් විල්තෙර