
මාර්ග අනතුරු අද වනවිට අපේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම විශාල අර්බුදයක් බවට පත්ව ඇත. මෙම ගැටලුව වසරින් වසර සංකීර්ණ වනවා හැරුණු විට සමනය වීමක් දැකිය නොහැකිය.
අද ජනමාධ්‍යවලින් පවා කෙරෙන්නේ මාර්ග අනතුරු පිළිබඳ හුදු වාර්තා කිරීමක් පමණකි. මෙම අනතුරෙන් මෙතරම් ප්‍රමාණයක් මියගියාය, තුවාල ලැබුවාය ආදී වශයෙන් මතුපිටින් කරන වාර්තාකරණයක් පමණක් සිදුවන බවක් දැකගත හැකිය. මෙය පුවතකට පමණක් සීමා නොවී ඒවා පිටුපස ඇති සංවේදී කතා පුවත පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මාධ්‍යවල වගකීම වේ. එය සිදුවූයේ කෙසේද? කා අතින්ද? එය එසේ සිදුවූයේ ඇයිද, වළක්වා ගත හැකිව නොතිබුණේද ආදී වශයෙන් ඒ පිළිබඳ ගැඹුරට ගොස් සාකච්ඡා කිරීම මාධ්‍යවේදියාගේ කාර්යභාරය විය යුතුය. ඒ තුළින් මාර්ග අනතුරු වළක්වා ගැනීමට මහඟු දායකත්වයක් ලබා දීමට පුළුවන.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලොව පුරා මහා මාර්ග අනතුරැවලින් මිය යන සංඛ්‍යාව දෛනිකව 3400 වෙයි. වසරකට මුළු ලොව පුරා මේ හේතුවෙන් මියයන සංඛ්‍යාව මිලියන 142ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්බුද වාර්තාකරණය පිළිබඳ ‘පුලිට්සර්’ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සංස්කාරක ටොමි හන්ඩ්ලේ පවසයි. වසර 36කට අධික කාලයක් මේ පිළිබඳ ලබාගත් අත්දැකීම් සමුදායක් ඔහු සතුය.
ඔහු අනතුරු හඟවා සිටින්නේ මෙම ප්‍රවණතාව ආපසු හැරවීම සඳහා පියවර නොගතහොත් වසර 2030 වනවිට එම සංඛ්‍යාව මිලියන 19ක් දක්වා වර්ධනය වනු ඇති බවය.
යම් කෙනකුගේ මරණයට හේතුව කිසියම් ක්ෂුද්‍ර ජීවි විශේෂයක් නම්, වෛරසයක් හෝ කිසියම් භයානක නව රෝගයක් නම් එය පිළිබඳ මාධ්‍ය පුළුල් ලෙස සාකච්ඡා කරනවා ඇත. එහෙත් සියල්ලන්ටම බලපාන මාරක රිය ගැටුම් පිළිබඳ කිසිවක් සිදු නොවීම කනගාටුදායකය. එහෙත් අද මේ පිළිබඳ පවසන මාධ්‍ය වාර්තා අනුව පිටතින් පෙනෙන්නට ඇති හේතු කෙටියෙන් වාර්තා කර මියගිය අයගේ නම්, ගම්, වයස ආදිය මඟින් අවාසනාවන්ත හදිසි අනතුරක් ලෙස වාර්තා කරනවා හැර ඉන් ඔබ්බට කිසිවක් සිදු නොවේ.
එසේ වුවද රිය ගැටුම් යනු මාර්ගයේ සිදුවන අවාසනාවන්ත ක්‍රියාදාමයක්ම නොවන අතර ඒවා කිසියම් ආකාරයකින් වළක්වා ගැනීමට හැකි සිදුවීම් වෙයි. මේවා නිසා අනතුරේ වින්දිතයන්ට පමණක් නොව මුළු මහත් සමාජයටම සමස්ත විපත්තියක් සිදු වේ. සංවර්ධනය වන රටවල වර්ධනය වන රිය ගැටුම් හා ඉහළ යන මරණ සංඛ්‍යාව පරම්පරා ගණනකට බලපෑම් ඇති කළ හැකි දුප්පත්කම වර්ධනය කරන අර්බුදයක් ලෙසට ආර්ථික විශේෂඥයෝ සලකති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සොයා ගැනීම් අනුව මාර්ග තදබදයෙන් සියයට 50ක් දක්නට ලැබෙන්නේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභි රටවලය. එසේම මාර්ගස්ථ මරණවලින් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන්නේ ද එම රටවලිනි. මේ ගැන දක්වන අවධානය කොතරම් අවම ද යත්, අප්‍රිකාවේ සහ සමහර ආසියානු රටවල බොහෝ දෙනා සිතන්නේ රිය අනතුරු දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන බවය.

අලුතින්ම අනාවරණය වූ කරුණු අනුව ලොව පුරා හදිසි මරණ සිදුවීමට හේතුවන ප්‍රධානම කරුණු අතර රිය ගැටුම්වලට හිමිව ඇත්තේ නව වැනි ස්ථානයයි. එය ලෝකයේ මැලේරියාවෙන් සහ දියවැඩියාවෙන් මියයන සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවකි. එය ලොව පුරා එච්. අයි. වී. වෛරසයෙන් සිදුවන මරණ ගණනට ඉතාම ආසන්න වෙයි. ලොව වසර අවුරුදු 15 – 29 අතර තරුණයන්ගේ මරණවලට ප්‍රධානතම හේතුව රිය ගැටුම් බව සොයාගෙන තිබේ. මෙයින් අදහස් වන්නේ රිය අනතුරු වැඩි වූ රටකට අවශ්‍ය ශ්‍රම බලකායේ විශාල කොටසක් මේ හේතුවෙන් ආර්ථිකයට අහිමි වන බවය. එසේම මගී ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂණවලට අනුව මහමග මියයන පිරිසෙන් අඩක්ම පදිකයන් බයිසිකල්කරුවන් ත්‍රිරෝද රථ සහ යතුරු පැදිකරුවන් වැනි අවදානම් වැඩි අවදානම් සහිතව මාර්ග භාවිත කරන්නන්ය.
මරණ සිදුවීමට වඩා වැඩි කොටසක් රිය අනතුරු නිසා වසරකට තුවාල ලබන බව සංඛ්‍යා ලේඛනවලින් සනාථ වේ. මේ හේතුවෙන් ලොව පුරා මිලියන 20 – 50 අතර ජනතාවක් වසරකට තුවාල ලබති. එහෙත් මෙම තුවාල වීම් වාර්තා වන්නේ අඩු වශයෙනි. මේ නිසා මෙවැනි වක්‍ර හානි පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගැනීම දුෂ්කර වී තිබේ. දළ වශයෙන් කළ සොයා බැලීම්වලින් සනාථ වී ඇත්තේ රිය ගැටුම්වලින් එක් අයකු මිය යන විට 15 දෙනකුට රෝහල් ගතවිය යුතු තරමේ තුවාල ද තවත් 70 දෙනකුට සුළු තුවාල ද සිදුවන බවයි.
කොඳු ඇට පෙළ බිඳී යාම රිය ගැටුම් නිසා බොහෝ විට සිදුවේ. ඒ නිසා ඇතැමුන්ට මුළු ජීවිත කාලය තුළම එක්තැන්ව සිටීමට සිදුවේ. මෙලෙස කොඳු ඇට පෙළ බිඳීම නිසා මියයන අයගේ ප්‍රවණතාව සාමාන්‍ය ජනතාවට වඩා දෙගුණයේ සිට 5 ගුණය දක්වා වැඩිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනුයේ අප්‍රිකානු කලාපය තුළ කොඳු ඇට පෙළේ බිඳීමට ප්‍රධානම හේතුව රිය ගැටුම් වන අතර එය සියයට 70ට ආසන්න බවය. එසේම නිරිත දිග ආසියාවේ සියයට 40ක් ද, බටහිර පැසිෆික් කළාපයේ සියයට 35 දක්වා ද අගයක් ගනී.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පවසන්නේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල තුවාල නිසා රෝහල ගත වන්නන්ගෙන් සියයට 30 – 86 අතර පිරිසක් රිය ගැටුම් හේතුවෙන් තුවාල ලබන බවය. රිය ගැටුම් නිසා තුවාල ලබන රෝගියකුට රෝහල්ගත වී සිටීමට සිදුවන සාමාන්‍ය දින ගණන 20කි. ඇතැම් රටවල රිය අනතුරුවලින් තුවාල ලබන රෝගීන් සඳහා ශල්‍යාගාර වාට්ටුවල ඇඳන්වලින් සියයට 48ක් වෙන්වෙන අතර ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකවලට වැඩිපුර පැමිණෙන්නේ එම රෝගීන් වේ. එක්ස් කිරණ, භෞතචිකිත්සක හා පුනරුත්ථාපන සේවා ද මෙවැනි රෝගීන් සඳහා පවත්වාගෙන යාමේදී විශාල වියදමක් ද අතිරේක වැඩ කන්දරාවක් දැරීමට ද සිදුවේ.
මාර්ග අනතුරු පිළිබඳ ගැටලුව අද ශ්‍රී ලංකාවට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. මාර්ග අනතුරු මරණ පිළිබඳ අසන්නට නොලැබෙන දිනයක් නොමැති තරම්ය. පොලීසිය පවසන පරිදි මාර්ග අනතුරු වැඩි වීමට ප්‍රධානතම හේතුවක් වනුයේ පාරට වැටෙන රථ වාහන සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාමය.
රථ වාහන පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පවසන්නේ 1902 වසරේදී ශ්‍රී ලංකාවට මුල්ම මෝටර් රිය ගෙනා අතර 911 වනවිට එම සංඛ්‍යාව 4805ක් දක්වා ඉහළ ගිය බවය. 2008 වසර වනවිට රටට පැමිණි මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ 35කි. 2018 වනවිට එම ගණන ලක්ෂ 75 දක්වා වැඩි වී අතර මෙම ප්‍රමාණය රටේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදේ. එසේ වුවද රටට ආනයනය කරන රථ සංඛ්‍යාව දිගටම වැඩි වෙමින් පවතී. 2018 රටට පැමිණි මුළු සංඛ්‍යාවෙන් ලක්ෂ 41ක් යතුරුපැදි වන අතර ලක්ෂ 11ක් ත්‍රිරෝද රථ වෙයි. වැඩිපුරම මාර්ග අනතුරුවලට ලක්වන්නේ මෙම රථ බව ඔහු අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ වසරකට සිදුව ඇති අනතුරු සංඛ්‍යාව 2962ක් වන අතර මියයන ගණන 3147ක් විය. විශාල ඛේදවාචකය වන්නේ මෙම මියයන සංඛ්‍යාවෙන් හරි අඩක්ම වාහන හිමියන් හෝ වාහන ධාවනය නොකළ අය වීමය. එසේම ඔවුන් පවුලේ ආදායම උපයන එකම පුද්ගලයා වීම ද විශේෂයන් සලකා බැලිය යුතුය. ඒ අනුව පවුල්වල සාමාජිකයන් ලක්ෂ ගණනකගේ යැපීම් මාර්ගවලට මෙම රිය අනතුරු නිසා කණකොකා හඬනු ඇත.
2018 ඔක්තෝම්බර් අග දක්වා රිය අනතුරුවල වින්දිතයන් සංඛ්‍යාව මෙසේය.
බරපතළ තුවාල 8666
සුළු තුවාල 13102
හානි 12866
මුළු සංඛ්‍යාව 34634
රජයේ රෝහල්වලට පැමිණෙන අය අතර මගීන් සහ දුප්පත් අය අධිකය. සමහරුන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබන නිසා නිසි සංඛ්‍යාලේඛන සොයා ගත නොහැකිය. එයට හේතුව ඇතැම් සමාගම්වලින් පොලිස් වාර්තා රහිතව රක්ෂණ වන්දි ගෙවීම නිසාය. එසේ වුවද මරණ සහ බරපතළ තුවාලවල නිවැරදි වාර්තා පොලීසියට ලැබෙයි. පොලීසියට වාර්තා වීම අඩු වන්නේ සුළු තුවාල සහ දේපල හානි වේ.
දිනකට රිය අනතුරු නිසා 8 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වෙන අතර මෙම සංඛ්‍යාව මසකට 3000ක් යැයි කිය හැකිය. රිය අනතුරුවලට ප්‍රධානම හේතුවක් වනුයේ බීමත් රියැදුරන් වන අතර 2018 – 10 – 31 දින වනවිට බීමත් රියැදුරන් 84574කට නඩු පවරා තිබෙන බව පොලිස් අධිකාරීවරයා කියයි. කෙනකුගේ රුධිර මිලි ලීටර් 100කට මද්‍යසාර මිලි ලීටර් 80කට වැඩි ප්‍රමාණයක් තිබෙන විට මත්ද්‍රව්‍යවල ප්‍රතික්‍රියාවලට යටත් වේ යන වරද යටතේ නඩු පවරණ අතර මේ සඳහා වෛද්‍යවරයකුගේ වාර්තාවක් අත්‍යවශ්‍ය නොවන අතර පොලීසියට ද තාක්ෂණ විධි භාවිතය අනුව අධිකරණයේ නඩු පැවරිය හැකි බවද ඔහු පැවසිය. පසුගිය දිනවල විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් රිය පදවා මරණයක් සිදු කිරීම පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කර ඇති අතර, එහිදී ඇය බීමත්ව නොසිටි බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත්ව තිබූ නමුත් පොලිස් විමර්ශනවලදී හෙළි වූ කරැණු අනුව ඇයට එරෙහිව පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ නිසා බීමත්ව රිය පැදවීම පිළිබඳ වෛද්‍ය වාර්තා නොමැතිව වුවද කටයුතු කිරීමට පොලීසියට හැකි බවද ඔහු පැවසීය.
පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ 1951 අංක 14 දරන මෝටර් රථ වාහන පනත අනුව සහ අපරාධ නඩු විවාහ සංග්‍රහය අනුව ද මාර්ග අනතුරු පිළිබඳ නඩු කටයුතු කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවය. කෙසේ වුවද පොලිසිය සෘජුව සහ විවිධ ආයතනවල අනුග්‍රහය ලබමින් රියැදුරන් දැනුවත් කිරීමට නොයෙක් වැඩසටහන් දියත් කර ඇති බවද ඔහු අවධාරණය කළේය. තමාගේ සහ දේපළවල ආරක්ෂාව මෙන්ම තෙවන පාර්ශවය වන සෙසු වාහන සහ ජීවිතවල ද පදිකයන්ගේ ද ආරක්ෂාව සලකා රියැදුරන් නීතිගරුකව කටයුතු කිරීම තුළින් මාර්ග අනතුරු අවම කළ හැකි බව ඔහු කියයි. එසේ හැකිව මෙය නීතිය මඟින් පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවන බව ද ඔහු කීය.
රිය ගැටුමකදී මියයාමේ සම්භාවිතාව රඳා පවතින්නේ පුද්ගලයන් ජීවත් වන පරිසරය, ඔවුන්ගේ වයස සහ හෙල්මටය පැළැඳීම හෝ නොපැළැඳීම යන කරුණු මතය. එසේම රටේ මාර්ගවල තත්ත්වය ද, වාහන සංඛ්‍යාව ද වාහන අනතුරුවලට විශේෂයෙන් බලපායි. අපේ රටේ අධිවේගී මාර්ගවල පවා විවිධ අනතුරු සිදුවීමේ ප්‍රවණතාව ඇත. ඒ නිසා අධිවේගී මාර්ග තැනුවා යැයි අනතුරු මුළුමනින් පිස දැමීමට අපහසුය. රිය අනතුරු අවම කිරීම සඳහා රියැදුරන්ගේ කැපවීම පොලීසිය අපේක්ෂා කරයි.
►යසවර්ධන රුද්රිගු
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය 18 දා ජනමාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ සම්මන්ත්‍රණයේ දේශන සහ ලේඛන අනුසාරයෙන් මෙම ලිපිය සැකසුණි.)