ශ්‍රව්‍යාබාධිතයන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන ලද ශ්‍රව්‍යාබාධිත විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රටවල් පහක් පරාජයට පත්කොට ලෝක කුසලාන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබීම මෙරටට ලොකු ප්‍රවෘත්තියක් විය.
අප රටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලැබුණු අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවේ. නමුත් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමිවූයේ ඉතා අන්ත පරාජයන් රැසකි. ලෝක කුසලානයත් දිනූ අප රටට පිටපිටම අත්වූ පරාජයන් හමුවේ සිදුවූයේ තරගාවලි අතරමගදී මවු රටට ඒමටය.
ක්‍රිකට් ක්‍රීඩාව එපා කරවන කලක ක්‍රිකට් ලෝලීන් හුදෙකලා වූ මොහොතක ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් කණ්ඩායම අප රටට රැගෙන ආ ජයග්‍රහණයේ පණිවුඩයේ වැදගත්කම සුළුපටු නොවේ.
අවසන් මහ තරගයේදී ඉන්දියානු කණ්ඩායම ලකුණු තිස් හයක පරාජයක් අත්කර දෙමින් 20 - විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මෙම ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ජයලත් අපෝන්සු මහතාය. මෙවැනි ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමක් මුල්ම වරට ආරම්භ කරන ලද්දේ එක්දාස් නවසිය අනූ හතර වසරේදීය. අපෝන්සු මහතා කොළඹ මහානාම විදුහලේ ලෙදර් බෝල් ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළේය. කීප දිනක් ඔහු අපූරු සිදුවීමක් දුටුවේය. සැහැල්ලු පන්දු ක්‍රීඩකයන් අතරේ සිටි කුඩා මහානාම කොලු ගැටයෙක් ඉතා අපූරුවට ක්‍රිකට් ක්‍රීඩා කළේය. අපෝන්සු සර් කුඩා දරුවා ළඟට ගොස් කතා කළේය. නමුත් මෙම මහානාම කොලු ගැටයාට කතා කිරීමට නොහැක. ඔහු ශ්‍රව්‍යාබාධිත දරුවෙකි. ඔහු නමින් හේමජිත් වජිර කුමාරය.
මෙම ශ්‍රව්‍යාබාධිත දරුවාගෙන් අලුත් ක්‍රිකට් කණ්ඩායමක් ඇරඹීමට අපෝන්සු සර්ට අදහසක් පහළ විය. ඒ වනවිට හේමජිත් පාසැලේ දහතුනෙන් පහළ සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකි. හේමජිත්ගේ හැම කටයුත්තකදීම සෙවැණැල්ල මෙන් ඔහුගේ මව සිටියාය. ජයලත් අපෝන්සු සර්ට අපූරු සිතුවිල්ලක් පහළ වුණි. ඒ මෙවැනි ශ්‍රව්‍යාබාධිත ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් සෑදීමය. එයට හේමජිත්ගේ මව වන අනුලා රංජිනී මහත්මියගෙන් විශාල සහයෝගයක් ලැබුණි. අනුලා රංජිනී කලක් ශ්‍රව්‍යාබාධිත දරුවන්ට ඉගැන්වූ ගුරුතුමියකි. රත්මලාන අඳ ගොළු බිහිරි පාසැලෙත් එවැනි විශේෂිත පාසල් කිහිපයකත් සිටිනා දක්ෂ දරැවන් ඒකරාශී කොට ක්‍රිකට් කණ්ඩායමක් තෝරාගත්තේය.
“ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ රටේ විවිධ පළාත්වලින් ක්‍රීඩකයන් ඉන්නවා. යාපනය, මාතර, ගාල්ල, බලපිටිය, කොළඹ වැනි විවිධ පළාත්වල ක්‍රීඩකයන් මෙම කණ්ඩායම නියෝජනය කරනවා. මෙම කණ්ඩායමේ සියලුම පරිපාලන කටයුතු මෙහෙයවන්නේ හේමජිත් වජිර කුමාරයි.”
ජයලත් අපෝන්සු මහතා දේශයට පැවසීය.
ශ්‍රව්‍යාබාධිතයන්ගේ 20 - විස්ස ක්‍රිකට් තරගාවලියක් මෙලෙස පවත්වන ලද්දේ ප්‍රථම වරටය. මෙය සංවිධානය කරන ලද්දේ ඉන්දියාවයි. අප රටට ආරාධනාව ලැබීමත් සමඟම අප ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තම පුහුණුවීම් කටයුතු ආරම්භ කළේය.
මෙම කණ්ඩායමේ නායකයා වන්නේ අවුරුදු විසි එකක් වයසැති දිමුඳු මැල්කම්ය. ඔහු තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. යාපනයේ ජීවත් වන ක්‍රීඩකයා වේග පන්දු යවන්නෙකි. මෙම කුසලානය සඳහා රටවල් හතකට ආරාධනා ලැබුණ ද බංගලාදේශය සහ පාකිස්ථානයට ඇති වූ වීසා ගැටලුවක් හේතුවෙන් තරගයට සහභාගී නොවීය. මේ අනුව තරගාවලියට ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලිකයාව, නේපාලය සහභාගී විය. මෙහිදී ශ්‍රී ලංකා පිල හමුවේ ඉන්දියාව තරග තුනක්ම පරාජය විය. අවසන් මහ තරගය පවත්වන ලද්දේ නොවැම්බර් 30 වැනිදාය.
ශ්‍රව්‍යාබාධිත ක්‍රීඩකයන්ට ක්‍රීඩා පුහුණු කිරීම එතරම් පහසු නොවේ. ඒ පිළිබඳව ඉතා කල්පනාකාරී විය යුතුය. ක්‍රීඩා තරගයකදී ක්‍රීඩකයන්ගේ අවධානය ක්‍රීඩාවටම යොදා ගැනීම ඉතා වැදගත් වේ.
“මේ දරුවන්ට අපිට වඩා දස්කම් තියෙනවා. මේ අය ක්‍රිකට් ගහද්දි ඉන්නේ ක්‍රීඩාවේම විතරයි. අපි ක්‍රීඩාගාරයේ ඉඳන් කොච්චර කෑගැහුවත් ඒක එයාලට ඇහෙන්නේ නෑ. ඒ අයගේ අවධානය තියෙන්නේ බෝලෙටයි බැට් එකටයි. ඒ නිසා කතා කරන අයට වඩා ඒ අයට උගන්වන එක ලේසියි.” යැයි ජයලත් අපෝන්සු මහතා දේශයට පැවසීය.
“අනෙක් රටවල් සියල්ලම අපිට අභියෝගයක් වුණා. අවසන් පන්දු වාර දෙක ඇතුළත තමයි හැම දෙයක්ම තීරණය කෙරුවේ. එකපාරක් අපි ඕස්ට්‍රේලියාවට එකසිය හතළිස් ගාණක් ගැහුවා. ඊට පස්සේ මුල්ම පන්දු තුනේදී විතරක් ඒස්ට්‍රේලියාව අපිට හතලිස් අටක් ගැහුවා. අන්තිමට කොහොමහරි අපේ ක්‍රීඩකයන් ඒ තරගයත් ජයග්‍රහණය කළා. අපේ කණ්ඩායමේ පන්දු රුකීම ඉතා හොඳයි. සාමාන්‍ය කණ්ඩායමක් ක්‍රීඩා තරගයකට මුහුණ දෙද්දී අපිට ක්‍රීඩාගාරයේ ඉඳගෙන හරි කෑගහලා උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි මේ කණ්ඩායමට එහෙම බැහැ. ඒ නිසා ක්‍රීඩාංගණයට යාමට පෙර අපි ඒ හැම උපදෙසක්ම ඒ අයට ලබලා දෙනවා” යැයි ජයලත් අපෝන්සු මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
ශ්‍රව්‍යාබාධිත අප ක්‍රිකට් කණ්ඩායමක් විශාල ජයග්‍රහණයක් අත්පත් කර දුන්නේය. මෙම ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ ජයලත් අපෝන්සු මහතාට එක් ඉලක්කයක් බලාපොරොත්තුවෙන් ඇත. ඒ මෙම ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයකුට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරවීමය.
►දිශානි ජයමාලි කරුණාරත්න
“අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, පුතුන් රජුන් කරන්ටා” ලෙස සඳහන් ලතා වල්පොල මහත්මිය ගායනා කරන ජනප්‍රිය ගීතය පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ යථාර්ථයක් බවට පත්විය. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගිදා අවසන් වූ ශ්‍රව්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ශූරයන් බවට පත්වූ අතර එම ජයග්‍රහණය පිටුපස දැවැන්ත සෙවනැල්ලක් වූ ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මවක් වන අනුලා රංජනී මහත්මිය සිටින්නීය.
“මගේ පුතා ශ්‍රවණාබාධිත දරුවෙක් වුවත් ඔහු වයස 13න් පහළ සිට කොළඹ මහානාම විදුහලේ ක්‍රිකට් ක්‍රීඩා කළා. 1996 වසරේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන බව දැනගත්තා. මෙම තරගාවලියට මගේ දරුවා සහභාගි කරවීමේ අවශ්‍යතාවක් මට ඇති තිබුණා” විශේෂ අධ්‍යාපනය පිළිබඳ ආචාරිණියක් වන අනුලා රංජනී මහත්මිය ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භය මෙසේ ආවර්ජනය කළේය.
මොරටුවේ එක්ස්කෝ ආයතනය සමඟ එක්ව ඕස්ට්‍රේලියාවේ පැවැති පළමු ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තම දරුවන් සහභාගි කරවීමට අනුලා මහත්මිය ප්‍රමුඛ දෙමව්පියෝ සමත් වූහ. “එම තරගාවලියට දරැවන් සහභාගි කරන්න අපිට මුදල් සොයාගන්න වුණා. කණ්ඩායමේ දරුවන්ගෙ දෙමව්පියො ඒ මුදල් සොයා දුන්නා. මට මතකයි මමත් ගුවන් ප්‍රවේශපත් දෙකක් සොයා දුන්නා”
එම තරගාවලියට සහභාගි වීමෙන් පසුව අනුලා මහත්මිය ප්‍රමුඛ දෙමව්පියෝ 1996 වසරේ මැයි මස ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය පිහිටුවා එම සංගමය අබාධිතවූවන්ගේ ජාතික ක්‍රීඩා සම්මේලනයේ (පැරාලිම්පික්) ලියාපදිංචි කළහ. අනුලා රංජනී මහත්මිය ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ ආරම්භක සභාපතිනිය වශයෙන් වගකීම බාරගත්තාය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන හේමජිත් වජිරකුමාර මහතා අනුලා මහත්මියගේ පුත්‍රයාය. ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ දක්වා විදේශ තරගාවලි හයකට පමණ සහභාගි වී ඇති අතර 2017 වසරේ ඉන්දියාවේදී පැවැති ආසියානු තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේය.
“එදා 96 වසරේ පළමු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වනවිට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ ප්‍රධාන තනතුරුවල කටයුතු කරනවා. දැන් අපි කරන්නේ ඔවුන්ට සහයෝගය දැක්වීමයි.” ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ වර්තමාන සහභාතිවරයා ලෙස මොහොමඩ් නයිසර්, ලේකම්වරයා ලෙස හේමජිත් වජිරකුමාර සහ භාණ්ඩාගාරිකවරයා ලෙස තිලක් සුමනදාස කටයුතු කරති. මෙම තිදෙනා මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනවල රුකියාවල නිරතව සිටිති.
“අපේ සංචිතයේ ක්‍රීඩකයෝ 60ක් පමණ ඉන්නවා. ඉන් පුහුණු තරග පවත්වලා අපි 24ක් තෝරාගත්තා. එයින් තමයි මේ ජයග්‍රාහී කණ්ඩායම තෝරාගත්තේ” යැයි අනුලා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශය අනුග්‍රහය දැක්වීය. ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන දිනාගැනීමත් සමඟ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ සංගමයක් බවට පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන වරප්‍රසාද සහ පහසුකම්ද ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට ලබාදීමට එහිදී යෝජනා විය. අනුලා රංජනී මහත්මිය ශ්‍රව්‍යාබාධිත දරැවකුගේ මෑණියන් ලෙස ආරම්භ කළ මෙම ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දක්වා පැමිණීම වඩාත් අගනේය. ඒ දිරිය මෑණිය සදා අමරණීය වන්නීය.
►සටහන: යොහාන් භාසුර