
යහපාලන ආණ්ඩුව පත්වූ දා සිට රාජපක්ෂ කඳවුරත් වෙනත් විපක්ෂයේ බලවේගත් එල්ල කළ ප්‍රධාන චෝදනාවක් වූයේ මෙරට ඉඩම් සින්නක්කර අයිතිය සමග විදේශ රටවලට විකුණන බවය. එහිදී ප්‍රධාන වශයෙන් කියවුණේ හම්බන්තොට වරාය චීනයට පවරාදීම ගැනය. ඊට තමන් පවා විරැද්ධ වූ බව පසුව ජනාධිපතිවරයා කීය.
කෙසේ වෙතත් විපක්ෂය එලෙස චෝදනා කරන විට යහපාලන රජය පවසා සිටියේ මෙරට ඉඩම් කුණු කොල්ලයට විකුණා දැම්මේ මහින්ද රාජපක්ෂ බව කියාය. විශේෂයෙන් ෂැන්ග්‍රීලා ඉඩම සඳහා හමුදා මූලස්ථානය ලබාදීමත් එසේම පෝර්ට් සිටිය සම්පූර්ණයෙන් චීනයට පවරා දීමත් යන චෝදනා රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රබල වශයෙන් එල්ල වූ චෝදනා විය.
ඉතාම සියුම් ලෙස ණය ආධාර ලබාදෙමින් චීනය රට තුළට පැමිණෙමින් සිටින මොහොතේ ඉන්දියාව ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ටික ඉල්ලා සිටියේය. එහෙත් එය ලබාදීමට එරෙහිව ආ ජනතා විරෝධය නිසා එම යෝජනා ලප් තැනම ලොප් විය.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම ප්‍රබල රටවල් ගණනාවක් මෙරට ඉඩම් අල්ලා ගැනිමේ බල පොරයක නියැලී සිටියේය. ඒ බව විටින් විට එන දේශපාලන ප්‍රතිචාර හමුවේ තහවුරු කර ගැනීමට හැකිවිය.
මේ කියන්නට යන්නේ අදටත් ප්‍රශ්නාර්ථයක් වූ එබඳුම ව්‍යාපෘතියක් ගැනය. මෙම ව්‍යාපෘතිය අදටත් කුමන රටකට සැකසුවේද යන්න නිශ්චිතවම සටහන් වීමක් නොමැත. එපමණක් නොව නිල නොවන තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය එක්තරා ප්‍රබල රටකට සැකසුවත් එහි නම නොපවසන්නේ එය නිල වශයෙන් වාර්තා නොවන නිසාය.

එපමණක් නොව මෙම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීම සඳහා නිල නොවන රටෙන් කණ්ඩායමක් පසුගිය කාලයේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනකු හමුවී සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත. මේ සඳහා කැබිනට් පත්‍රිකාව සකසා නොමැති වුවද පිටු 1500කට ආසන්නව ව්‍යාපෘති වාර්තාවක් සකසා ඇත.
සම්පූර්ණයෙන් ජනපදයක් ලෙස ගොඩ නැගෙන අදාළ ව්‍යාපෘතියේ භූමිය ලෙස තෝරාගෙන ඇත්තේ ත්‍රීකුණාමල වරාය අවට අක්කර ගණනක භූමියකි. එම භූමිය කේන්ද්‍ර කරගනිමින් සකසන මෙම කොලනිය තුළ නිවාස, පාසල්, විශ්ව විද්‍යාල පවා දක්නට හැක.
කෙසේ වෙතත් ඉහත කී ලැයිස්තුව දැකගත හැකි ඕනෑම අයකුට සිතෙන්නේ මෙහි ඇති වැරැද්දක් නැති බවය. එහෙත් ඊට එහා බරපතළ දේශපාලන මෙන්ම ස්වෛරීභාවයට හානියක් වන කොටසක් මේ ව්‍යාපෘතිය තුළ ඇත.
එනම් එකක් ආරක්ෂක හමුදා කඳවුරක් වීමය. අනෙක ගුවන් තොටුපළක් සහ වරායක් වීමය. ඊට සමගාමීව දුම්රිය මාර්ගයක්ද ඇත. මේ සියල්ල සකසා තිබෙන්නේ එකී ව්‍යාපෘතියේ කොටසක් ලෙසටය. එම කොටස Special zone ලෙස නම් කර ඇති අතර එම කලාපය එය ලබාදෙන භූමියෙන් හරි අඩක ප්‍රමාණයකට විහිදී ඇත.
කෙසේ වෙතත් අතීතයේ සිට අප දන්නේ ත්‍රීකුණාමල භුමිය ඓතිහාසික මෙන්ම භූගෝලීය මට්ටමිනුත් වටිනා ස්ථානයක් ලෙසය. එවන් ස්ථානයක මේ ආකාරයේ special zone සකසා ලබාදීම ගැන පුදුම විය යුතුය.
මෙම ව්‍යාපෘතිය සැකසීම සඳහා අදාළ අංශ සමඟ බලධාරින් සාකච්ඡා සිදු කළත් ජනාධිපතිවරයා කිසිදු කාරණයක් ඒ පිළිබඳව දැන සිට නැත. කෙසේ වෙතත් එය දැනගන්නට වූ සැණින් අදාළ ව්‍යාපෘතිය නවතා දමා තිබේ.
මේ ආකාරයෙන් භූමියෙන් විශාල කොටසක් හමුදා කඳවුරකටත්, වරායකටත්, ගුවන්තොටුපළකටත් ලබා දීමට උත්සාහ කළේ කවුද යන්න අනාගතයේදී හෙළිදරව් විය හැක. එසේම මුලින් මෙම ව්‍යාපෘතිය සකසා පසුව ඉඩම ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් සැකසීමත් සඳහා තවත් ප්‍රබලයන් කිහිප දෙනෙක් විසින් කටයුතු කර තිබේ. විශාල කොමිස් මුදලක් මේ හරහා සිදුවන නිසා මේ සඳහා බොහෝ දෙනකු දිවි හිමියෙන් කැප වී වැඩකොට ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ ව්‍යාපෘතියට මුදල් වැය කරන්නේ විදේශීය රටකින් බව දැනගන්නට ඇත. ඒ රට සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් නොවූවත් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ වාර්තාවක් අපට ද දැක ගන්නට හැකි විය. එම වාර්තාවට අනුව දැක ගැනීමට හැකිවන්නේ ත්‍රීකුණාමලය වරායට අමතරව සිදුකෙරෙන වෙනම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත. මෙම ව්‍යාපෘතිය පිටුපස ප්‍රබල දේශපාලනඥයන් සිටින බවටද සඳහන් වෙයි. ඒ සියල්ල අනාවරණය කර ගැනීමේ අරමුණින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි සඳහන් වේ.
මේ ආකාරයෙන් රටේ භූමිය කොටස් වශයෙන් පවරා දීම පිළිබඳව විවිධ ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග ගත්තත් ඒවා සැමවිටම ක්‍රියාත්මක වුණේ නැත. ඒ සෑම අවස්ථවකම අදාළ ඉඩම් සින්නක්කරව හෝ 99 අවුරැදු බද්දට ලබාදී තිබුණි. මේ ව්‍යාපෘතිය ද එවැනිම එකකි. එහෙත් මෙහි භයානයකත්වය වන්නේ කලාපීය ආරක්ෂාවේ කේන්ද්‍රය වූ ත්‍රීකුණාමලය තුළ මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රීයාත්මක වීමය. ඒ නිසා මේ ගැන වැඩි අවධානයෙන් බැලිය යුතු නොවේද? මෙහි සත්‍ය රටට හෙළි කළ යුතු නොවේද?
අසංක කළුබෝවිල