
ලංකා ඉතිහාසයේ අත්අඩංගුවට පත් දෙවන විශාලතම හෙරොයින් මත්කුඩු තොගය පසුගිය බදාදා (5) රාත්‍රී 11.20 පමණ බේරුවල හා බලපිටිය අතර මුහුදු තීරයට නාවික සැතපුම් තුනක් පමණ ඈත මුහුදේදී කොටු කරගනු ලැබීය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙහෙයැවීමෙන් සිදුකෙරුණු එම වැටලීමේදී රුපියල් මිලියන 2778කට (කෝටි 277.8) අධික වටිනා හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොටුකර ගනු ලැබූහ. ඔවුන් සමඟ බෝට්ටුවක් ද අත්අඩංගුවට ගෙන තිබුණේ මත්කුඩු අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කරමින් තිබූ SAND මෙහෙයුම අතරතුරදීය.
පාකිස්තානයේ නිෂ්පාදිත සීනි උර 11ක් තුළ අසුරා තිබූ හෙරොයින් පාර්සල 214 බහුදින යාත්‍රාවක් මගින් මෙරටට එවා ඇත්තේ ප්‍රසිද්ධ පාතාල සාමාජිකයකුව සිට වසර ගණනාවකට පෙර රටින් පලාගොස් සිටින කිඹුලා ඇළ ගුණා නැමැත්තා විසින් බවට තොරතුරැ වාර්තා වී තිබේ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ යෝජනාවකට අනුව ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා රට පුරා ඇති මත්කුඩු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබිණ. ඒ අතර ලැබුණු බුද්ධි අංශ තොරතුරු අතරට වාර්තා වී තිබුණේ බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ සිට රහසිගතව විදේශවලට මෙරටින් ගංජා රැගෙන යන බවත් ට්‍රෝලර් යාත්‍රා මගින් රටට මත්කුඩු රැගෙන එනබවක්ය. මේ සම්බන්ධයෙන් ලද තොරතුරු නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් දින ගණනාවක් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිට ඇත. ඒ අතර බුද්ධි තොරතුරක් ලැබී තිබුණේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට ලංකාවේ බේරුවල දෙසට ඩිංගි යාත්‍රාවක් මගින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් ඇති බවය.
සැණෙකින් ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය ඇතුළු අංශවල සහාය ලබාගෙන නාවික හමුදා යාත්‍රාවකින් බේරුවල ඈත මුහුදට යාත්‍රා කළේය. මෙහෙයුම සිදුකෙරෙන අතරතුර එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ සහ විදේශ බුද්ධි අංශ කීපයකද සහාය ලැබී තිබුණි.
බුද්ධි අංශ තොරතුරු අනුව නාවික හමුදා යාත්‍රාවකින් පිටත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් මහ මුහුදේ සෝදිසි මෙහෙයුමක නිරතව සිට ඇත. ඒ අවස්ථාවේ සැක සහිත මුහුදු කලාපයේ දකින්නට ලැබී තිබුණේ එක් ඩිංගි යාත්‍රාවක් පමණක් හුදකලාව ලංකාව දෙසට යාත්‍රා කරන බවය. ඒ පිළිබඳ සැකසිතූ නිලධාරීහු ඩිංගි යාත්‍රාව ආසන්නයට ගොස් එහි ගමන අඩාල කර පරීක්ෂාවකට ලක්කළහ. එම යාත්‍රාවේ රැඳීසිටියේ පුද්ගලයන් දෙදෙනකු පමණය. ඔවුන් දෙදෙනා අතර සුදු පැහැති සීනි උර කීපයක්ද දකින්න තිබිණ. ඒවා පරීක්ෂාවට ලක්කිරීමේදී ඒ තුළ සුරක්ෂිතව අසුරණ ලද තවත් කුඩා පාර්සල් රැසක් හමුවී ඇත. ඒවා හෙරොයින් බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා යාත්‍රාව හා හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට පත්ව සිටියේ අංක 298, හලවාගොඩ පාර, ගොඩැල්ල, බේරුවල ලිපිනයේ පදිංචි දිනයාදුර දිලිප් සුසන්ත (38) අංක 80, මරදාන පාර, බේරුවල පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ෆර්ෂාන් (34) දෙදෙනාය.
සැකකාර ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකර තිබුණේ ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේදී ට්‍රෝලර් යාත්‍රාවකින් ඔවුන්ගේ ඩිංගි යාත්‍රාවට හොරොයින් තොගය පැට වූ බවය. එම හෙරොයින් තොගය බේරුවල ධීවර වරාය අසලට රැගෙන යන ලෙසට උපදෙස් ලැබුණු බැවින් ඒ සඳහා තමන් ක්‍රියාත්මක වූ බවද ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකරගනු ලැබීය.
අත්අඩංගුවට පත්වූ දිලිප් සුසන්ත නැමැත්තා හෙළිකර තිබුණේ ඔහුගේ සොහොයුරකට අයත් ට්‍රෝලර් යාත්‍රාවකින් එම හෙරොයින් තොගය බාරගත් බවය. මේ අනුව විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් විශ්වාස කරන්නේ මේ පිරිස ඍජුවම ජාවාරමට සම්බන්ධ බවය. පාකිස්ථානයේ නම හා ලිපිනය මුද්‍රණය කරන ලද සීනි උරවල හෙරොයින් පාර්සල් බහා එවා තිබූ බැවින් පොලීසිය සැකකරන්නේ පාකිස්තානයේ සිට නැවකින් රැගෙන ආ හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ට්‍රෝලර් යාත්‍රාවට ලබාදී ලංකා මුහුදු සීමාවට රැගෙන විත් ඩිංගි යාත්‍රාවට මාරුකර ඇති බවය.
SAND (සෑන්ඩ්) මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින අතරතුර මෙම හෙරොයින් ජාවාරම්කරුවන් අතර ආරවුලක් ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් දෙකඩ වී තිබෙන පිරිස නිසා වැටලීම සාර්ථක කරගැනීමට අවස්ථාවක් උදාවූ බවක් පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කර රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටිති. ඒ අනුව දීර්ඝ විමර්ශන සිදුකරමින් ජාවාරමේ මහමොළකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් භාර නිලධාරීහු කටයුතු කරති. මේ වනවිට ජාවාරම සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාව හා ට්‍රෝලර් යාත්‍රාව සමඟ ජී.පී.එස්. යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සිම්පත් දෙකක් සමඟ විදුලි පන්දමක් අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම්කරුවන් පිළිබඳ ලද තොරතුරකට අනුව යටියන්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන දිනයාදුර දුලිප් සමන්තා ද සිල්වා (44) අත්අඩංගුවට ගැනිණ. අංක 295/03, ගොඩැල්ල, මොරගල්ල, බේරුවල ලිපිනයේ පදිංචිකරුවෙක් වූ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී කැලණි ගඟට පැන පලායාමට උත්සාහ කර තිබිණි. මහත් පරිශ්‍රමයකින් අත්අඩංගුවට ගත් ඔහු සතුව රුපියල් ලක්ෂ 15ක මුදලක් තිබී ඇති අතර එය ඔහුට අයත් ගිණුමකින් යටියන්තොට ප්‍රදේශයේ බැංකුවකින් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
මීට පෙර විශාලතම මත්කුඩු තොගය රේගුව මගින් අත්අඩංගුවට ගනුලැබුවේ 2013.08.30 වැනි දිනය. ඒ ඔරුගොඩවත්ත කන්ටේනර් බහලුම් අංගනයේ තිබූ හෙරොයින් කිලෝ 261යි. 2017.05.11 වැනිදා පුත්තලම ප්‍රදේශයේ හෙරොයින් කිලෝ 211 අත්අඩංගුවට ගත් අතර එය අත්අඩංගුවට පත් තුන්වැනියට විශාලම කුඩු තොගයයි. 2016-04-01 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් හෙරොයින් කිලේ 111ක්ද 2018-07-07 දින හෙරොයින් කිලෝ ග්‍රෑම් 103ක්ද අත්අඩංගුවට ගනුලැබ තිබේ.
ඔක්තෝබර් 22 දින ආරම්භ කළ SAND මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 248කට අධිකය. එහිදී සැකකරුවන් 6702ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
2018 වර්ෂයේ මේ දක්වා හෙරොයින් කිලෝ 430 ග්‍රෑම් 507ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සැකකරුවන් සංඛ්‍යාව 37304 කි. මේවායේ වටිනාකම රුපියල් 5166ට අධික බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2008 වසර සිට 2018 නොවැම්බර් 15 තෙක් මහාධිකරණවලින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව පුද්ගලයන් 96 දෙනකුට මරණ දඬුවම නියම කර ඇති බවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදුන් පිරිස 275ක් බවත් මරණ දඬුවම හිමි වූ කාන්තාවන් 8ක් සහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ කාන්තාවන් 34 දෙනකු සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.
කතාව - සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - සුමුදු හේවාපතිරණ