2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

මුස්ලිම් ජනතාවට සිංහල භාෂාව උගන්වන්න හදන බේරුවල නගරාධිපති

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

බේරුවල නාගරික බල ප්‍රදේශයේ 80% ක් පමණ වෙසෙන්නේ මුස්ලිම් ජනයාය. සිංහල ජනතාව 18% පමණකි. සෙසු පිරිස 2% කි.  පසුගියදා බේරැවල නගර සභාවේ විශේෂිත යෝජනාවක් සම්මත විය. ඉන් කියවුණේ ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනයාගේ මවු භාෂාව සිංහල භාෂාව වියයුතු බවයි. මේ යෝජනාවේ වූ විශේෂත්වය නිසාවෙන්ම දේශයේ අප බේරුවල නගරාධිපතිවරයා මුණගැසුණේ මේ පිළිබඳව වැඩි විස්තර දැන කියාගන්නටය. මසායිම් මොහොමඩ් නම් ඔහු බේරැවල නගරාධිපති ධූරයට පත්වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩාමක් මඟිනි. ඔහු කතාව ඇරඹුවේය.

“ඒ කාලේ ඉඳලා මෙහෙ මුස්ලිම් ජනතාව  සිංහල භාෂාව ඉගෙන ගැනීමේ දුර්වලතාවයක් පෙන්නුම් කරනවා. සිංහල භෂාවට නැඹුරැ වීමක් නෑ. දෙමළ භාෂාව තමයි ඔක්කොම කතා කරන්නේ. ඒකත් මේ සංහිඳියාව නැතිවෙන්න ප්‍රධන කාරණයක් වුණා කියලා අපි තේරුම් ගත්තා. හැම ප්‍රශ්නයකම මුල තියෙන්නේ භාෂා ප්‍රශ්නය. මුස්ලිම් ජනතාව සිංහල භාෂාව කතාකරනවා නම් අනාගයෙදී ගොඩක් ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා"

නගරාධිපතිවරයා පවසන පරිදි බේරැවල නගර සභා බල ප්‍රදේශයේ මුස්ලිම් ජනයා සිංහල භාෂාව කතා කිරීමට දුර්වල වීමට  හේතුව මෙසේය. වර්තමානයේ කොට්ටාශ නවයකින් සමන්විත වෙන බේරැවල නගරසභාව එදා නිර්මාණය වන්නේ එස්. ඩබ්ලිව්. අර්. ඩී බණ්ඩාරනායක මහතාගේ  වඩුගොඩපිටිය කොමිසම හරහාය.  සමස්ත ලංකාවේම පළාත් පාලන ආයතන අතරින් මුස්ලිම් ජනයා බහුතරය වෙසෙන්නේ බේරැවල නගර සීමාවේය.  මුස්ලිම් ජාතික නගරාධිපතිවරයකු පත්වෙන ලෙස මෙම නගරසභාව පිහිටුවා තිබේ. බේරැවල ආසනය එදා බහු ආසනයක් බවට පත්වූයේ ද එම හේතුව නිසාවෙනි. ඒ හේතුවෙන්ම අතීතයේ සිටම බේරැවල ඇතැම් මුස්ලිම් ජනයා සිංහල භාෂාව ඉගැන්වීමට දුර්වලතාවක් පෙන්නුම් කර තිබේ.

“මේ නිසාම මම යෝජනා කරා පසුගිය සභා වාරයේදී සිංහල භාෂාව මුස්ලිම්වරුන්ගේ මව් භාෂාව විය යුතුයි කියලා. ඒ යෝජනාව ජන්දයෙන් සම්මත වුණා. ඔක්කොම මේ වැඩේට හරි කැමතියි. ප්‍රභූ පංතියත්, අපේ හාමුදුරුවරුත්, අපේ මව්ලවි තුමන්ලත් මේ වැඩේට හරි කැමතියි. මට සුභ පැතුවා. ඒ වගේම රාජ්‍ය මැති ඇමතිවරැන් සුභ පැතුවා. හැමෝම කිව්වා මේක ඉදිරියට ගෙන යන්න කියලා. අපිට මේක තනියම කරන්න බෑ මුළු රටේම සහයෝගය ලැබෙන්න ඕනෑ  මසයිම් මොහොමඩ්‍ මහතා පවසන පරිදි දසතින් ප්‍රසංසා ගලා එයි. මහින්ද රාජපක්ෂ මහතා ද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද නගරසභාව වෙත ප්‍රසංසා කර තිබේ. ලංකාවාසී සියලු මුස්ලිම් ජනයාට මෙම යොජනාව සමඟ එක්වන ලෙස බේරැවල  නගරාධිපතිවරයා ආරාධනා කරයි. එහෙත් එය එකවර සිදුකළ නොහැක්කක් බව ඔහු පිළිගන්නා අතර ක්‍රමයෙන් ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතු බව ඒ මහතා පවසයි.

“මේ සඳහා මුස්ලිම් ජනතාවට සිංහල පාසල්වල දොර විවර විය යුතුයි. ගොඩක් වෙලාවට මුස්ලිම් ජනතාවට සිංහල පාසල්වල දොර වැහිලා තියෙන්නේ. මේ ප්‍රශ්නයට පළවෙනි විසඳුම මේ හරහා හම්බ වෙනවා. ගොඩක් දෙමාපියෝ දැන් ආසයි තමන්ගේ දරැවන්ව සිංහල පාසල්වලට ඇතුළත් කරන්න"

බේරුවල නගරය ලාංකීය මුස්ලිම්වරැන්ගේ ඉතිහාසය සමඟ බැදී පවතී. ඉතිහාසයේ පටන් බේරැවල සිංහල මුස්ලිම් සංහිඳියාව ප්‍රායෝගිකව දක්නට ලැබුණි. මතුවටත් එය එලෙසින්ම පවත්වාගෙන යාමට තමන් උරදෙන බව මසායිම් මහතා පවසයි. මුස්ලිම් ජනයා දෙමළ බස කතා කිරීමට හුරැවීම හා සම්බන්ධ ඉතිහාහය ඔහු අපට කියයි. එය ඔහුගේ වදනින්ම මෙසේය.

“එදා අරාබි ජාතිකයෝ තමයි ලංකාවට ආපු පළවෙනි විදේශිකයෝ. ඊට පස්සේ තමා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඔක්කොම ආවේ. ලංකාවට ආව පළවෙනි අරාබිකාරයෝ ඇවිල්ලා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙළඳාම් කරලා තමා ලංකාවට ආවේ.

තමිල්නාඩුවල වෙළඳාම් කරන කොට දෙමළ භාෂාව ඉගෙනගත්තා ඒගොල්ලොත් ටික ටික. වෙළෙඳාමට ඒක විශාල රැකුලක් වුණා. ඊට පස්සේ එයාලා ලංකාවට එනකොට ලංකාවෙත් අද ඉංග්‍රීසි භාෂාවට තියන තැන දෙමළ භාෂාවට තිබුණා. ලංකාවට ඇවිල්ල එයාලා කසාද බැන්දේ සිංහල කුල කාන්තාවෝ. රජ මැති ඇමති ගොල්ලන්ගේ දුවලාව. ඒ අයත් අද ඉංග්‍රීසි භාෂාව වගේ එදා දෙමළ භාෂාව කතා කරා. ඒ නිසා දෙමළ භාෂාවම කතා කරන එක දිගටම සිද්ධ වුණා. අද සිංහග ජනතාව ක්‍රිස්තියානි ආගමේ ඉන්නවා. ඒගොල්ලෝ සිංහල භාෂාව තමා කතා කරන්නේ. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නෑ මේ රටේ ආගම වෙනස් වුණා කියලා. ඒ වගේම මුස්ලිම්වරැන්ටත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ ආගම වෙනස් වුණා කියලා එක භාෂාවක් කතා කරනවා නම්. අපි දැන් මේකට අඩිතාල දැම්මොත් අනාගතයේදී අවුරුදු පනහකින් විතර හොඳ තත්ත්වයක් උදාවෙනවා කියලා අපිට විශ්වාසක් තියනවා" 

සිංහල මුස්ලිම් සංහිඳියාව ඇතිකිරීමේලා ඔහු දකින සිහින පුළුල් වපසරියක පැතිර ඇති බව පෙනේ. අද තත්ත්වය ද මේ අතර දී ඔහු අපට කියයි. නගරසභාවට පැමිණෙන ඇතැම්  මුස්ලිම් කාන්තාවන්ට සිංහල ලියන්න කියවන්න තබා කතා කිරීමටවත් නොහැකිය. ඒ නිසා ඔවුහු විශාල අපහසුතාවයන්ට මුහුණ දෙති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පොලීසියේදි පවා මතුවන්නේ මේ ගැටලුවයි. ඇතමෙකුට බස් රථයක බෝඩ් ලෑල්ල පවා කියවා ගත නොහැක. අද වන විට ඊට අවශ්‍ය පහසුකම් යම් පමණකට සම්පාදනය කර ඇතත් ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය වේ. එම නිසාවෙන් පෙර පාසලේ සිටම මුස්ලිම් දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කිරීමට ඉඩ කඩ සැලසිය යුතුයැයි නගරාධිපතිවරයා සිහිපත් කරයි. 

“මගේ මාමා තමා හිටපු කතානායක බාකීර් මාකර්. ඒ කියන්නේ අපේ අම්මාගේ මල්ලි. මගේ තාත්තා අන්තරා වෙනකොට මට අවුරුදු පහයි. එතකොට අපේ මාමා අපිව එයාගේ ගෙදර ගෙනැල්ලා තියාගෙන තමා පෝෂණය කරේ ඉගැන්නුවේ. එතුමා එතොකොට  බේරැවල නගර සභාවේ නගරාධිපති වශයෙන් කටයුතු කළා. එතුමා හම්බවෙන්න එන සිංහල ජනතාව, අපි ගෙදර ඉස්සරහා සෙල්ලම් කරකර ඉන්න කොට අපිව වඩාගත්තා. ඒගොල්ලන්ගේ දහඩිය සුවඳ තමා අපි ආග්‍රහණය කළේ. එදා ඉඳලා ඒ ගමන තමා අපි ආවේ. බාකීර් මාකර් මහත්තයා තමා අපිට මේ ගමන පෙන්නුවේ. ඉම්ටියාස් බාකීර් මාකාර් ඇවිල්ලා මගේ මස්සිනා. ඒක තමා අපි සිංහල ජනතාව මෙච්චර කිට්ටු. මේ භාෂාවට මෙච්චර ලැදි."

තමන් ඉතිහාසය හා දේශපාලන බැඳීම පිළිබඳව මසායිම් මහතා එසේ සිහිපත් කරයි. අද වනවිට බේරැවල නගරසභා සංවර්ධන කටයුතු අතින් ද ඉදිරියෙන් සිටින බව ඔහු පවසයි. මාර්ග සංවර්ධන වෙනුවෙන් පමණක් කෝටි පහක් පමණ වියදම් කර තිබේ. වෙසක් පොසොන් සමයේදී ආගමික කටයුතුවලට බේරුවල නගරසභාවෙන් මුල්තැන ලබා දී තිබේ. වෙහෙර විහාර පවිත්‍ර කිරීම අදීය සභාවේ දායකත්වයක් ලබා දී තිබේ. බේරැවල නගර සභාවේ දායකත්වයෙන් කඨින පිංකමක් පවත්වා ඇත.

නගරාධිපති වරායාගේ මැදිහත්වීමෙන් බේරැවල නගරසභාව සිංහල මුස්ලිම් සමගිය වෙනුවෙන් දරණ උත්සහා ප්‍රසංසනීයය. මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව සිංහල භාෂාව විය යුතු යැයි ඉදිරිපත් වන යෝජනාවේ ද අපට සිතන්න යමක් ඉතුරැ කරයි. අප ඔහුගෙන් සමුගන්න විට ඔහු කියූ ප්‍රකාශයකින් අපි මෙම ලිපිය නිමා කරමු.

“මේ බරවෙලා ඉන්න පොළොව අපි ඔක්කොම ණයයි. මැරෙන්න ඉස්සෙල්ලා අපි මොනවා හරි කරලා මැරෙන්න ඕනා. ඒ චේතනාවන් තමා අපි ඔක්කොම වැඩ කරන්න ඕනා. මිනිස්සු ඇතුළේ ගට්ටන ඇති කරලා, වෛරය ඇති කරලා කුළල් කාගන්න තියලා. අපි ඒගොල්ලන්ගෙන් එකපැත්තකට අසාධාරණ කරලා,  අනික් පැත්තෙන් ඡන්දේ අරගෙන මේ රට දියුණු කරන්න බෑ. එහෙම දියුණු වෙච්ච රටක් කොහෙවත් නෑ." 

 චමිඳු නිසල් ද සිල්වා