
හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයට විදුහල්පති ධුරය ලබමින් අජිත් ප්‍රේමකුමාර මහතා පැමිණෙන්නේ 2010 වසරේ මැයි මස දාහත්වෙනිදාය. එය ඔහුගේ ප්‍රථම විදුහල්පති පත්වීම විය. 1993 වසරේ සිට ඔහු ගුරු වෘත්තියේ නියැලුණේය.
විදුහල්පති ධුරය ලබමින් පාසලට පැමිණි ඔහුට දැකගත හැකි වූයේ ගරාවැටුණු පාසලකි. එක වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති පැවතියද පාසලේ අධ්‍යාපනය ලැබුවේ දරුවන් පනස්එක් දෙනෙක් පමණි. ඒ අතරිනුත් එක වසරේ පන්තියේ එකද දරුවෙකුවත් නොසිටියේය. එම අවුරුද්දේ දී එක වසර පන්තියට එක දරුවෙක්වත් ඇතුළත් වී නැත. එයින්ම ප්‍රේමකුමාර මහතාට පාසල පිළිබඳව අවබෝධයක් ඇතිවුණි. ඒ වනවිටත් ගුරැගොඩ කනිෂ්ඨ විද්‍යාලය පැවතුණේ වැසීයාමේ අවදානමකය.
දරුවන්ගේ පැමිණීමද සතුටුදායක මට්ටමේ නොතිබුණි. දිනපතා පැමිණීම 30-32 අතර විය. පාසලටම ඉගැන්වීම සඳහා පත්වීම් ලබා තිබුණේ ගුරුවරු නව දෙනෙකු පමණි. ඇතැම් දිනවලදී ඇතැම් පන්ති පාළුවට ගොස් තිබුණි. බොහෝ දිනවලදී දරුවන් දෙන්නා හෝ තුන්දෙනා වැනි අඩු සංඛ්‍යාවකින් යුතු පන්ති ද පැවැත්වුණි.
ගුරු වෘත්තියේ වසර ගණනාවක්ම සේවයේ යෙදී පළපුරුද්දක් සහ අධ්‍යාපන දැනුමක් තිබූ විදුහල්පතිවරයා බොහෝ විට කුමන හෝ පන්ති කාමරයක ගුරුවරයා ලෙසින් ඉගැන්වීම් කටයුතුවල නිරත විය. මේ නිසාම ගරාවැටුණු විදුහල්පති කාමරයට වඩා අජිත් ප්‍රේමකුමාර මහතා පන්ති කාමරයක ගුරැ මේසයක අසුන් ගත්තේය. දරුවන්ගේ සංඛ්‍යාව අඩුකම නිසාම විදුහල්පති ඇතුළු ගුරු කණ්ඩායමට ඉගෙන්වීම් කටයුතු එතරම් අපහසු නොවිණි. එම වසරේදී ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතර දෙනකු පමණි. සාමාන්‍ය පාසල්වල මෙන් සෑම විෂයයක් ඉගැන්වීම සඳහා ගුරුවරු නොසිටියහ. මේ නිසාම පන්තියේ සෑම දරුවෙකුටම පොදු විෂයයක් කිරීමට සිදුවිය. පාසලේ නර්තන ගුරැවරයෙක්ද සිටිනා විට සෑම දරැවෙකුට නර්තනය පමණක් හැදෑරිය යුතුය. මේ නිසාම ඇතැම්විට චිත්‍ර කලාවට දක්ෂ දරැවන්ට පවා තම හැකියාව යටපත්කොට නර්තන විෂයට එක්වීමට සිදුවිණි. ලංකාවේ බොහෝ පාසල්වල එකම විෂයයට ගුරුවරු දෙතුන් දෙනා සිටිය ද ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට ඒ පහසුකම් නොලැබුණි.
මෙම පාසලට සවිමත් එකද ගොඩනැගිල්ලක් හෝ නොතිබිණි. ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි තුනක් තිබුණද ඒ සියල්ලම අබලන් විය. එක් ගොඩනැගිල්ලක් කඩාවැටීමට ඉතාමත් ආසන්නව පැවතුණි. මුක්කු ගසා තාවකාලික පැලැස්තර යොදවා තිබුණ ද ඉතා අවදානම් තත්ත්වයකට විදුහල්පති ඇතුළු ගුරැ මණ්ඩලය මුහුණ දුන්නෝය. කිසිම ගොඩනැගිල්ලක පන්ති කාමර වෙන්කර නොතිබුණි. තනි හෝල්එකක් ලෙස සකසා තිබුණු ගොඩනැගිල්ල දරැවන්ගේ පුටු මේස ආදියෙන් පන්ති කාමර ලෙස වෙන් කෙරිණි.

ගුරුවරු තමන්ට අයිති රාජකාරිය කරගෙන ගියහ. දරුවන්ට ද ඉගෙනීමට ඕනකමක් උනන්දුවක් නොතිබුණි. එන්නන් වාලේ පොත්ටික අතේ ගෙන පාසලට එන දරුවන් බොහෝ විට කාලය ගෙව්වේ ක්‍රීඩා පිට්ටනියේ හෝ ලඳු කැලෑවලය. හොරණ නගරයේ සිට කිලෝමීටර් තුනක් දුරින් තිබුණ ද මෙම විදුහල එකල පැවතියේ වැසීයාමේ දැඩි අවදානමකය. ඇතැම් හොරණ පාසල්වලට එක වසර පන්ති හතරක් පහක් පමණ තියෙද්දීත් හොරණ නගරයට ඉතා ආසන්නයේ පිහිටි මෙම පාසලට එකල අත්ව තිබූ ඉරණම සැබැවින්ම ශෝචනීය විය.
අජිත් ප්‍රේමකුමාර විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය එවකට ප්‍රයෝජනයක් ගතහැකි සීමිත ගොඩනැගිලි කොටස් පන්ති කාමරවලට වෙන්කළේය. ඒ අනුව ප්‍රාථමිකය වෙනුවෙන් පන්ති කාමර පහක් වෙන්කෙරිණි. එයින් තිබුණු ඉඩ ඇහිරිණි. මෙහිදී විදුහල්පතිට හරි අපූරු අදහසක් පහළ වීය. පන්ති ක්‍රමය වෙනුවට ඔහු විෂය ඒකක ක්‍රමයට ඉඩ වෙන්කළේය.
විෂය ඒකක ඇතිකිරීමෙන් ගණිත විෂයට එක් තැනක්, ඉංග්‍රීසි විෂයට තවත් තැනක් ආදී ලෙස විෂය ඒකක පාසල තුළ ව්‍යාප්ත කළේය. දරුවෝ ඒ අදාළ විෂය සඳහා අදාළ ඒකකය වෙත ගියහ. සිංහල ගුරුතුමිය හය වසර පන්තිය බාරව කටයුතු කරයි නම් හය වසරේ දරුවන් උදෑසන එම සිංහල ඒකකයට පැමිණ නාම ලේඛනය ලකුණු කොට පසුව කාලසටහනට අනුව අදාළ ඒකකයට ගියහ. ඒ අනුව සෑම විෂයකටම අදාළ ඒකකයක් පාසල තුළ නිර්මාණය විය.
ගුරැගොඩ කනිෂ්ඨ විද්‍යාලය අක්කර හතරහමාරක ප්‍රමාණයකින් යුක්ත විය. ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් තිබුණත් මෙය අතිශයින්ම හුදකලා පාසලකි. නගරයෙන් කොන්වුණු අසරණ දරුවන් ඉගෙනුම ලැබූ පාසලක් ලෙසින් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය සමහරැ හැඳින්වූහ.

එකල දරුවන්ට ඇඳුම් පැළඳුම් පොත්පත් පහසුකම් කිසිවක් නොතිබුණි. අජිත් ප්‍රේමකුමර විදුහල්පති පත්වීම පාසලට එන කාලෙදී ප්‍රාථමික පන්තිවල දරුවන් විසිනව දෙනෙක් අධ්‍යාපනය ලබමින් සිටියහ. රජයෙන් නොමිලේ නිල ඇඳුම් සඳහා රෙදි ලබාදුන්නද නිල ඇඳුම මසා දරුවන්ට ඇන්දවීමට තරම් වත්කමක් මෙම දරැවන්ගේ මව්පියන්ට නොතිබුණි. නිල ඇඳුම් මැසීමට අඩුම තරමේ රුපියල් තුන්සීයක්වත් වැඩිවේ. දරුවන් දෙදෙනකු අධ්‍යාපනය ලබන පවුලක දෙමව්පියන්ට ඒ වියදම දැරිය නොහැක. ඒ නිසා දෙමව්පියන් බොහෝ දුරට එක දරුවකු වෙනුවෙන් නිල ඇඳුම් මැසීමට අනෙක් දරුවාගේ රෙදි කෑල්ල උගසට තබයි. මේ නිසා දරැවන්ගේ ඇඳුම් පැළඳුම් ඉතා දුර්වර්ණ විය. බොහෝ දරුවන්ට එක නිල ඇඳුම දිනපතාම සෝද සෝදා ඇදීමට පවා සිදුවිණි. ඇතැම් දරුවෝ එකම නිල ඇඳුම් නොසෝදා දින දෙක තුන ඇඳගෙන එති. මේ නිසා කහට ගැසුණි, දුර්වර්ණ නිලඇඳුම් ඇඳගත් දරුවන් පිරිසක් පාසල පුරා දැකගත හැකිවිය. සුදෝසුදු ඇඳුම වෙනුවට නිල ඇඳුම අවර්ණ විය. බොහෝ දරුවන්ගේ මව්පියෝ කුලී වැඩකරමින් ජීවිකාව කළ අය වූහ.
කහට ගැසුණු දුඹුරු පැහැති නිල ඇඳුම අලුත් කිරීමට විදුහල්පති තීරණය කළේය. ඇඳුමේ පැහැය නෙපෙනෙන්නට දරුවන්ට නිල් පාට පොඩි කෝට්එකක් හඳුන්වා දුන්නේය. එම කෝට් එක අවසානයේ දී ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ නිල ඇඳුම විය.
අදටත් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික දරුවන්ගේ නිල ඇඳුම වන්නේද මෙයයි. එදා මෙන් ඇඟේ කුණු ගඳ නොවූවද සුදෝ සුදු නිල ඇඳුම් අද ඇන්දද ඒ පුංචි කෝට්එක ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ නිල ඇඳුම වී හමාරය.
පාසලේ ඒකක ක්‍රමයට වෙන්වෙද්දී ඇතැම් ඒකක සඳහා පන්ති කාමර මදිවිය. විදුහල්පති ප්‍රාථමික පන්තිවල දරුවන් “සෙල්ලම් ගෙවල්”වලට සෑදු ගෙවල් ද පන්ති කාමර සඳහා යොදා ගත්තේය. එහෙත් මේවායේ බල්ලන් සහ බලු මැක්කන් ඇතිවී ඒ තාවකාලික නිවෙස්වල පන්ති පවත්වන්නට ද නොහැකි විය. මේ නිසා “හිස් ලොරියක” පන්ති පවත්වන්න තිබුණා නම් සිතුවිල්ල විදුහල්පතිවරයාට පහළවිය. දිනක් විදුහල්පති ලංගම ඩිපෝවට ගොස් මඳක් විමසිල්ලෙන් බැලීය. කසිදු වැඩකට ගත නොහැකි අබලන් බස් රථ කිහිපයක් ඔහුගේ නෙත ගැටුණි. එවකට ප්‍රවාහන ඇමැතිගෙන් අවසරය ගෙන හොරණ ඩිපෝවේ අත්හැර දමා තිබූ බස් රථයක් පාසල් භූමියට ඇදගෙන ආවේය.
පාසලට බස් රථයක් ගෙන ආවිට පාසල් දරුවෝ අසීමිතව සතුටු වූහ. සැවොම බස් රථයේ නැග විනෝද වූහ. අබලන් බස් රථය පුංචි දරුවන්ගේ හිතට සතුට ගෙනාවේය. දරුවෝ ඔවුන්ට අවශ්‍ය ලෙස බස් රථය වෙනස් කර එය පන්ති කාමරයක් බවට පරිවර්තනය කරගත්තෝය.
බස් රථය දෙමළ ඒකකය සහ බුද්ධ ධර්මය ඒකකය සඳහා වෙන්වුණි.
දිනෙන් දින විදුහල්පති අජිත් ප්‍රේමකුමාර මහතා මෙම පාසල දියුණු කරලීමට මහන්සි ගත්තේය. ඒ සඳහා ගුරු මණ්ඩලයේ ද සහයෝගය ලැබුණේය. ඔහු ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කළ කාලය තුළ ගොඩනැගිලි හතරක් ගොඩනැගුවේය. ඒ සඳහා සමාජ සේවා ආයතනයක් උදව් කළේය. ප්‍රධාන නවීන පන්ති කාමර හතරක්, කුඩා ප්‍රධාන ශාලාවක්, වැසිකිළි පද්ධතියක් මෙන්ම අලුතින් සෑදු පන්ති කාමරවලට චීනයෙන් ගෙන්වූ ඩෙක්ස් පුටු යෙදීම ආදී බොහෝ කටයුතු සිදුකළේය. අද වෙද්දී ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය යනු හොරණ අධ්‍යාපන කලාපයේ දියුණු වෙමින් පවතින කීර්තිමත් ග්‍රාමීය පාසලකි.
අද වනවිට මෙම විද්‍යාලයේ දරුවන් දෙසීය පනහකටත් අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන අතර එක වසර පන්ති කීපයකට වැඩි දරැවන් ප්‍රමාණයක් වාර්ෂිකව පාසලට බඳවා ගැනේ.
සියල්ල දියුණු වෙද්දී දරුවන්ට අකුරු ඉගෙනීමට උපකාරී වූ ඔවුන්ට සතුට කැන්දූ අබලන් වූ බස් රථය තවමත් පාසල් භූමියේ දකින්නට ඇත. එය බොහෝ විට චිත්‍ර විෂය වෙනුවෙන් තවමත් වෙන්කර තිබේ.
වසර අටකටත් වැඩි කාලයක් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරමින් පාසලේ දියුණුවට විශාල කැපකිරීමක් කළ අජිත් ප්‍රේමකුමාර ගුරු පියාණන්ට තවත් මෙවැනි දුෂ්කර පාසල්කට සේවය කිරීමට ඇති කැමැත්ත නිසාම සිය කැමැත්තෙන් වෙනත් පාසලකට සේවා මාරුවක් ඉල්ලා සිටියේය. වර්තමානයේදී ඔහු හොරණ කලාපයේම කැකුණවිල ප්‍රාථමික විදුහලේ විදුහල්පති ලෙසින් සේවය කරයි.
එම පාසල ද එවකට ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය පැවති ආකාරයේ ඉතා දුෂ්කර පාසලකී. නමුත් උත්සාහයක් කැපකිරීමත් මත ඒ පාසලේ දරුවන්ටත් නොබෝ කලකින්ම දියුණු පාසලක නිදහසේ අධ්‍යාපනය ලබාදීමට හැකියාව ඇති බව ඔහුගේ අදහසයි.
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප බී.බී.සී. නිවුස් ඇසුරෙනි