2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

පොඩි ගාණෙං ලෙඩා ඇතුළේ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

මල්ලි නොම්මරයක් ඕනද... ඉක්මනටම යන්න පුළුවන් වැඩේ කරන් පෝලිම්වල රස්තියාදු වෙන්න ඕන නැහැ... රුපියල් තුන්සීයක් දෙන්න නොම්බරයක් දෙන්නම්... රස්තියාදු වෙන්න ඕන නැහැනේ මල්ලි පොඩි ගානෙන් වැඩේ කරගත්තා ඉක්මනටම ගියා. බෙහෙත් චැනල් ඔක්කොම නිකන්නේ මල්ලි. බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව වැඩේ කරන් ඉක්මනටම යන්න පුළුවන්.... හිතලා බලන්න වෙලාවක් නෑ. ඉක්මනට උත්තරයක් දෙන්න ලොක්කා ඔයා ගන්නවනම් අපිට ඕනතරම් බිස්නස් කරන්න කට්ටිය ඉන්නවා....

නෑ...නෑ... අපිට ඕන. කීයක් ඕනද?

දෙකක් දෙන්න.

ලියුම්කරු තමන්ගේ ඥාතියකු සමඟ කොළඹ මහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය වෙත ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම ලියුම්කරුට දැකිය හැකිවිය.

එය ලබාගත් සැණින් එම පුද්ගලයා බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සඳහා ඉක්මනින් පිටත්ව ගියේ තවත් බොහෝ පිරිසක් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් එම ස්ථානයේ රැඳී සිටියදීය. 

කොළඹ මහ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ ඇති වූ මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට ලියුම්කරැ උත්සුක වූයේ එම පෙර කී සිදුවීමත් සමඟය.

කොළඹ නගරයේ සිදුවන ඕනෑම හොඳ නරක දෙයක් දන්නා හිතවත් ත්‍රිරෝද රථ රියැදුරකුට ලියුම්කරු මෙම සිදුවීම පැවසූ අතර ඔහු කියා සිටියේ එවැනි පුද්ගලයන් ගණනාවක් මෙවැනි ප්‍රධාන රෝහල් අසල ගැවසෙන අතර එවැන්නකු සොයා ගැනීම අපහසුවක් නොවන බවයි. එවැනි අයකු හමුවුවහොත් ලියුම්කරැට දන්වන බවද එම ත්‍රිරෝද රථ රියැදුරා ලියුම්කරැට පොරොන්දු විය.

මල්ලි ඩයල් එකක් ඉන්නවා ඔයා හොයපු ජාතියේ. මම පොර සෙට් කරන්නම්. ඔයා ගුණසිංහපුර බස්ටෑන්ඩ් එක ළඟට එන්න. එම සිදුවීම දන්වා සතියකට පමණ පසු ලියුම්කරැ හා හිතවත් ත්‍රිරෝද රථ රියැදුරැ ලියුම්කරැට දැන්වීය. ඔහු පැවසූ වෙලාවට පසු එම ස්ථානයට ගිය ලියුම්කරැට අදාළ පුද්ගලයා හඳුන්වාදීමෙන් අනතුරැව ත්‍රිරෝද රථ රියැදුරැ පිටත්ව ගියේය.

මොනවද ලොක්කා අහන්න තියෙන්නේ?

දැන් කොච්චර කාලෙක ඉඳන් මේ වැඩේ කරනවද?

දැන් අවුරුදු පහ හයක්ම මේක කරනවා දෙයියනේ කියලා. ඉතිං අද වෙනකම් මාට්ටු වෙලා නැහැ.

මේ විදියට නම්බර් ගන්න කට්ටිය ඉන්නවද?

කට්ටිය ඕන තරම් ඉන්නවා... අනික මිනිස්සු කැමතියිනේ ආපු වැඩේ ඉක්මනට කරගෙන යන්න.

ඉතිං මෙහෙම මුල් ගණන්වල නම්බර් දෙනකොට අවුලක් වෙන්නේ නැද්ද?

කවුද ලොක්කා කිව්වේ නම්බර් එක දෙක දෙනවා කියලා... අපි දෙන්නේ 10න් පස්සේ නම්බර්. ඒත් ඒවා එක ළඟ දෙන්නේ නැහැ. අතරින් පතර නම්බර් කෑලි විස්සක් තිහක් විතර තමයි දෙන්නේ.... අනික එකපාරක් අපෙන් නම්බර් එකක් ගත්ත කෙනෙක් ඊළඟ පාර චැනල් එකට එද්දි පාන්දර එන්නේ නැහැ. අපිට කෝල් එකක් දාලා කියනවා ටිකක් දුර නම්බර් එකක් අරං තියන්න කියලා. ඒ අය ඉතිං කීයක් කිව්වත් බඩු ගන්නවා. අනික ඒ අය ආවේ නැතත් අපිට අවුලක් නෑ... මොකද බඩු දෙන්න ඕනතරම් අය ඉන්නවා.

එක නම්බර් එකක් කීයටද දෙන්නේ?

එකක් දෙන්නේ තුන්සීයයි. කෑලි විස්සක් තිහක් දෙනවා දවසට. ඇතුළේ නම්බර් දෙන තැන අපේ බුවාල දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ අයටත් කීයක් හරි සම්තිං එකක් දෙන්න එපැයි.

ඕපීඩී එකට එන අයට විතරයිද මෙහෙම නම්බර් දෙන්නේ?

නෑ... නෑ...  ඇස් වාට්ටුවට එන අයටත් බඩු දෙනවා. මේකත් ලේසි වැඩක් නෙවෙයි. පාන්දර හතරේ විතර ඉඳන් කට්ට කන්න ඕන වැඩක්.

ඉතිං මෙහෙම දෙන එකෙන් දුර ඉඳලා බෙහෙත් ගන්න එන අයට අසාධාරණයක් වෙන්නේ නැද්ද?

එහෙම වෙනවා ඇති... හැබැයි ඒ මුල් දවසේ විතරයි. මොකද අපිත් පාන්දර කුකුලත් අතේ තියන් තමයි ඕකට එන්නෙ. එතකොට දුර ඉඳන් ආපු ලෙඩ්ඩු ටකල් කරලා බෝලේ බස්සනවා. එතකොට අර මුල් දවසේ මහ රූ ඉඳන් බෙහෙත් ගන්න ඉන්න අය දෙවෙනි දවසේ වෙලාවට ඇවිල්ලා බෙහෙත් අරං යනවා...

ඉතිං ඒ ඒ නම්බර් වලට හරියටම ඒ වෙලාවටම බෙහෙත් දෙනවද කියලා කොහොමද දන්නේ?

ඇතුළේ ඉන්න අය ටයිම් එක දන්නවනේ ලොක්කා. කොයි ඩොකා කොයි වෙලාවටද කියලා. දැන් අපිත් එළියේ ඉඳන් ටයිම් එක දන්නවා. දැන් ඉස්සර වගේ මිනිස්සු පස්සේ ගිහිං පෝලිම් ගානේ ගිහින් චාටර් කන්න ඕන නෑ. ඔක්කොම ෆෝන් එකෙන් තමයි ලයින් එක දාන්නේ.

කොළඹ විතරයිද මේක කරන්නේ?

මම නම් කොළඹ විතරයි කරන්නේ. ඒත් මම දන්න ඩයල් ලංකාවේ හැම ඉස්පිරිතාලෙම කරනවා. හැබැයි හැමතැනම කොළඹ වගේ නෑ කොළඹටනේ ලොක්කා ඔක්කොම එන්නේ ඒකනෙ මහ ඉස්පිරිතාලේ කියන්නේ.... තුන්සීයක් දීලා නම්බර් එකක් ගත්තට පාඩු නෑනේ චැනල් බෙහෙත් ඔක්කොම නිකන්නේ. ප්‍රයිවට් තැනකින් ගන්න ගියා නම් කීයක් යනවද? අනික මෙහෙ ඇවිල්ලා බොරුවට රෑ ඉඳලා නිදිමරන් ඉන්න ඕන නැහැනේ. තුන්සීයට පාඩු නෑනේ වැඩේ...

බොහෝ දුර බැහැර සිට කොළඹ මහ රෝහල වෙත පැමිණෙන අසරණ රෝගීන් බොහෝමයක් සිටිති. වේල් තුනෙන් එක වේලක කුස පුරවා ගනිමින් මහ රෑ සිට නිදිවරමින් ඔවුන් පැමිණෙන්නේ හැකි ඉක්මනින් සිය රෝගයට ප්‍රතිකාර ලබා පිටව යා හැකියැයි යන බලාපොරොත්තුවෙන් වුවද මෙවැනි සිදුවීම් ඔවුන්ගේ එම බලාපොරොත්තු සුන්කර දමයි.

I හසිත් අංජන