2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අසාරථකවීම් රැසක් මැද සාර්ථකත්වය සොයා ගිය අලි බාබා

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 606

අලිබාබා සහ හොරු 40 කතාව අසා පුරුදු හැමෝටම 21වැනි සියවසේදි අලුත්ම අලිබාබා කෙනෙක් ගැන අහන්නට ලැබුණි. තමන්ගේ මිතුරන් 18 දෙනකු සමඟ අලුත්ම වැඩකට බැස්ස චීනයේ බිහිවුණ මේ අලුත්ම අලිබාබා අරාබියේ හිටි මුල් හාදයාටත් වඩා ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඉතා ටික කාලයකින්ම ප්‍රසිද්ධ වුණ, ඉක්මණින්ම ප්‍රකෝටිපතියෙක් බවට පත්වුණ, අසාර්ථකවීම් රැසක් මැද සාර්ථකත්වය වෙනුවෙන් වූ අරගලය අත්නොහැර දුක් විඳිනා ජීවිතේ ජයගත් අපේ කාලේ සැබෑ වීරයෙකි. ඔහු චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා වගේම ලෝකයේ  ධනවතුන් අතර 19වැනියා හැටියට ප්‍රසිද්ධ “ජැක් මා” ය.

දැන් ලොව දැවැන්තම විද්‍යුත් වාණිජ වෙළෙඳපොළ“අලි බාබා”  සහ “අලි - පේ” කියන විද්‍යුත් ගෙවීම් බැංකුවේ හිමිකාරත්වය ඔහු සතුය. ඇත්තටම අලිබාබා කියන නාමය මේවන විට ෆේස්බුක් නාමයටත් වඩා වැඩි කීර්තිනාමයක් හිමිකරගෙන හමාරය. ඒවගේම ලෝකයම හෙල්ලූ  eBay සහ Amazon කියන අන්තර්ජාලගත වාණිජමය වෙළෙඳපොළ දෙකම එකට එකතු වුවත් මේ අලිබාබා වෙළෙඳපොළේ හුවමාරු වන ගනුදෙනු අහලකටවත් එන්නට ඔවුන්ට නොහැකිය. ජැක්මා ගොඩනඟා ගත් ඔහුටම අනන්‍ය ජීවන විලාසිතාව අපට හෙළිකර දෙන්නේ නව දැක්මක් සහිත සැබෑ මිනිසකුගේ ජයග්‍රහණය පිළිබඳ කතාවකි.

ඔහු ඉපදුණේ චීනයේ ගිණිකොණ දෙසට වන්නට පිහිටි පුංචි ගමකය. ඒ කාලේ ඔහුගේ මුල් නම මා යුන්ය. ජැක්මාගේ මව්පියන් සංගීතවේදීන් ලෙස සේවය කළ අයයි. නමුත් ඔවුන්ට අඩුම තරමේ මධ්‍යම පාන්තික ආදායමක්වත් උපයන්නට හැකි විදිහට මුදලක් ලැබුණේ නැත. ජැක්මා කුඩා කාලයේ සිටම උත්සාහ දැරුවේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නටය. තමන් ලබා උපන් හැටියට වැටී තිබූ ආර්ථීක ආගාධයෙන් ගොඩ එන්නට ඇති එකම මඟ අධ්‍යාපනය බව ඇදහූ ඔහු ඒ අංශයෙන් නැගිට්ටේ ද වැටි වැටීය. ඒ  අරගලය ද සුළුපටු නොවේ.

අද ලස්සෙට කොඩි දමා සිටිය ද ජැක්මා තමන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලේ අවසාන විභාගය දෙවරක් අසමත් වූවෙකි. කෙසේ හෝ එය සමත් වූ පසුව ද්විතීයික අධ්‍යපනය සදහා ඇතුළත් වූ පාසලේ අවසන් විභාගය තෙවරක්ම අසමත් වූයේය. අවසානයේ පාසල් අධ්‍යාපනය අවසන් කළ ඔහු උසස් අධ්‍යාපනයට අත ගැසුවේය. එහිදී ද ජැක්මා ඉංග්‍රීසි උපාධිය හැදෑරීම සඳහා තෝරාගත් විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ විභාගය ද  දෙවරක්ම අසමත් විය. මේ කාලය තුළ ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයට යොමු කළ අයදුම්පත් දසවතාවක්ම ප්‍රතික්ෂේප වී තිබුණි.

1972 න් පසු චීනය තුළ සංචාරක ව්‍යාපාරය දියුණුවත් සමඟ සංචාරකයන් ජැක්මා ජීවත්වන ප්‍රදේශයට ද  ඔවුන්  වැළ නොකැඩී එන්නට විය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අවුරුදු 12ක් වයසැති ජැක්මා බයිසිකලයක නැගී සංචාරක හෝටල වෙත ගොස් ස්වේච්ඡා මග පෙන්වන්නකු හැටියට කටයුතු කරන්නට වූයේ තමන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්නටය. මා යූන් ලෙසින් වූ ඔහුගේ මුල් නමට අලුතෙන්ම ජැක් කියන කොටස එකතු කළේ ඔහු සංචාරය කිරීමේදී මඟ පෙන්වන්නට ගිය කණ්ඩායමක සිටි තරුණියක විසිනි. ඒ ඇයට චීන නම් උච්චාරණය කිරීමට අපහසු වූ නිසාය. අන්තිමේ ජැක් මා නම ලෝකයම දන්නා ජනකාන්ත නමක් බවට පත්විය.

ජැක්මා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සාමාන්‍ය උපාධියක් ද හැදෑරූ අයෙකි. ඉන්පසු එම විශ්වවිද්‍යාලයේම ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස සේවය ඇරැඹූ ඔහු ලැබූ මුල්ම පඩිය  මාසයකට ඩොලර් දොලහකි. දැන් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 40කි.

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සමයේ ජැක්මා විවිධ රැකියා සඳහා ඉල්ලුම් කළ අතර එක දිගටම සම්මුඛ පරීක්ෂණ 30 කින් අසමත් වූයේය. KFC ව්‍යාපාරය චීනයට පැමිණීමත් සමඟ ඔහු එහි සේවයට ඉල්ලුම් කරේ ඉතාම කැමැත්තකින් සහ පුදුම උනන්දුවකිනි. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටි අයදුම්කරුවන් 24 දෙනෙක්ගෙන් 23ක්ම සේවයට බඳවා ගත් KFC සමාගම ජැක්මාව ප්‍රතික්ෂේප කළේය. වරක් ජැක්මා චීන පොලීසියට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කළේය. නවක කණ්ඩායම සමඟ එහි අවසාන පරීක්ෂණය දක්වා ගිය නමුත් එම අවසන් පරීක්ෂණයෙන් ද අසමත් වුණේ ඔහු පමණි.

මේ අතර 1995 වසරේදී ජැක්මා හට අමෙරිකාවේ සියැටෙල් වෙත සංචාරය කිරීමට අවස්ථාවක් ලැබුණි. එහිදී ඔහුට ජීවිතයේ ප්‍රථම වරට පරිගනකය හා අන්ර්ජාලය පරිශීලනය කරන්නට අවස්ථාව ලැබුණි. ඒ කාලයේ චීනය තුළ පරිගනක භාවිතය ඉතාම විරලය. පරිගනකවල මිල ඉතා විශාල අගයක් ගැනීම නිසා රටේ බොහෝ දෙනකුට පරිගනක තිබුණේ නැත. අමෙරිකාවේදී ප්‍රථම වරට අන්තර්ජාලය පරිශීලනය කළ ජැක්මා එහි සෙවීම් යන්ත්‍රයේ මුලින්ම සර්ච් කලේ බියර් කියන වචනයයි. ඒ සඳහා විශාල සෙවුම් ප්‍රමාණයක් ලොව සතර වටින්ම ලැබී තිබුණි. නමුත් එහි චීනයට සම්බන්ද කිසිදු බියර් වර්ගයක් ගැන සඳහන්ව තිබුණේ නැත.

අන්තර්ජාලයේ ඔහු දෙවැනියට සර්ච් කළ වචනය ඔහුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කළේය. ඒ වචනය චීනයයි. නමුත් ඒ වන විට චීනය සම්බන්ධ එක සෙවුමක්වත් දක්නට තිබුණේ නැත. නමුත් ජැක් මා ඉතා නුදුරේදීම පරිගණක හා අන්තර්ජාලය චීනයේ මිනිසුන් ඉතා හොඳින් වැළඳ ගන්නා අලුත් සංකල්පයක් බව වටහා ගත්තේය. දුර දිග  සිතීමෙන් අනතුරුව චීනය තුළ අන්තර්ජාල සම්බන්ධ විද්‍යුත් වාණිජමය වෙළෙඳපොළක් ආරම්භ කිරීමට මේ සුදුසුම කාලය බව ඔහුට හැඟී ගියේය. වහාම චීනයට ගිය ජැක් තම සමීපතම මිතුරන් දහ හත්දෙනකුගේ මුදල් සහ බැංකු ආයෝජනවලින් ලබාගත් ඩොලර් 60000කින් යොදා “අලිබබා” ව්‍යාපාරය ආරම්භ කළ අතර අද වන විට ඩොලර් බිලියන 420ක් වටිනා “අලිබබා”  දෙවැනි වන්නේ ලොව සුපතල වෝල් මාට් සමාගමට පමණි.

ජැක්මා ඉතාමත් කැමැත්තෙන් කළ රස්සාව ඉංග්‍රිසි ගුරුකමයි. නමුත් ඒ රැකියාව යාන්තම් හිඟානොකා යැපෙන්නට සෑහෙන නම්බුකාර රස්සාවකි. ජැක්මා අමුතු විදිහට හිතන්නෙකි. ඔහුගේ සිතිවිලි රටාව ඔහු වරෙක කී කතාවකින්ම පැහැදිලි කර ගත හැකිය. ඔහු කීවේ “ඔබ අවුරුදු 35දිත් තවමත් දුප්පත්නම් එහි වරද මුළුමනින්ම ඔබ අතේය” කියාය.ඒ අනුව පරිගණක සහ අන්තර්ජාලය ගැන මූලික අදහස හිතට වැටුණු සැණින්ම ඒ වනවිට 31 හැවිරිදිව සිටි ජැක්මා  දුප්පත් කම සමඟ වයස 35ට  ළඟා නොවන්නට සිතුවේය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු වැඩි කල් නොගොස්ම ප්‍රකෝටිපතියකු වූයේය.

හොංකොංවල ෂෑන්ග්ෂෝ හි කාමර 6ක බංගලාවක් ඔහු සතුය. ඔහුට හොංකොංවලම බ්‍රෑන්ක්සයිඩ් ක්‍රෙස්ට්හි ඇති වර්ග අඩි 7000ක වපසරියක පිහිටි පෙන්ට්හවුසියකි. එය ඩොලර් මිලියන 38ක වටිනාකමකින් යුතුය. වර්ගඅඩි 9890ක් වූ තවත් හොංකොං බංගලාවක වටිනාකම ඩොලර් මිලියන 193කි. නිව්යෝර්ක්වල ඔහු සතුව ඩොලර් මිලියන23ක් වටිනා අක්කර28000ක ඉඩම් යායකි. ප්‍රංශයේ වයින් ප්‍රාන්තය ලෙස හැඳින්වෙන බොර්ඩ්‍යූක්ස් හි  හෙක්ටයාර් 85ක වයින් වත්තකි. එහි 18වැනි සියවසට අයත් බලකොටු මාලිගයක් ද වේ. හැන්ෂෝවල අක්කර 54ක පිහිටි අලිබාබා මූලස්ථානයේ සේවකයන් 14000ක් වෙති. 

ඔහු සතු අලිබාබා නිෂ්පාදනයක් වන Roewe RX5 SUV ඉන්ටර්නෙට් කාර් රථය ඩොලර් මිලියන 160ක්ය. BMW 760Li රථය ඩොලර් 290000කි. ඩොලර් 492602 ක Maybach62 s රථයක් ද වේ. ඔහු සතුව සුපිරි ගුවන් යානයකි. Gulf stern 550 වර්ගයේ එය තුළ ආසන 19කි. සාකච්ජා කාමරයකි. එය ඩොලර් මිලියන 61.5කි. ඔහු වසරකදි දින 3ක් ප්‍රසිද්ධ පංති 6ක් පවත්වයි. ඒ ඔහු ඉතා කැමතිම තායිචී ව්‍යායාමයන් ගැනය. මේ සියලු සැප සම්පත් තිබුණ ද ඒ අතහැර අල්පේජ්ජ ජීවිතයකට යන්නට වුවද ඔහු පසු බට වන්නේ නැත.

නියම වෙලාවට නියම තීරණ ගැනීම තම ව්‍යාපාර සාර්ථක වීමට බලපෑ බව කියන  ජැක්මා සිය ව්‍යාපාරයෙන් ඉවත්වීමේ තීරණය ද නියම වේලාවට ගෙන තිබේ. තමාගේ කැමැත්ත යළි ගුරුවරයකු වීම යැයි විශ්‍රාම යමින් ජැක් මා පවසා ඇත. 

►සුගත් පී කුලතුංග ආරච්චි