2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ෆොටෝෂොප් අපරාධකාරයෝ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 108

"ඡායාරූප විකෘති කිරීම, මුදල් නෝට්ටු අච්චු ගැසීම, හැඳුනුම්පත් මුද්‍රණය, සහතික පත්‍ර හෝ ලියකියවිලි ව්‍යාජ විදිහට සැකසීම, බොරු අත්සන් යෙදීම නැතිනම් නිල මුද්‍රා තැබීම වගේ ජාවාරම් පිළිබඳව තොරතුරු නිතර වාර්තා වෙනවා. මිනිස්සු ඇස් දෙකෙන් දකිනවා. දකින දේ විශ්වාස කරනවා. මේ ගැන දැනුම අවබෝධය නැති නිසා මිනිස්සු මුලාවෙනවා. කරදරේ වැටෙනවා."

මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා කූඨ පුද්ගලයන් මුදල් ඉපයීම, මිනිසුන් බියගැන්වීම, මානසිකව පීඩාවට පත් කිරීම, පෞරුෂත්වය බිඳ දැමීම කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම, හා චරිත ඝාතනය වැනි අපරාධ සිදුකරන ප්‍රවණතාවක් තිබෙන බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් විය යුතු යැයි ප්‍රවීන ඡායාරූප සංස්කරණ ශිල්පියකු හා උපදේශකවරයකු වන සඳුන් ප්‍රියංකර කස්තුරිආරච්චි මහතා අවධාරණය කරයි.

පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟ ඡායාරූප සංස්කරණය සඳහා භාවිතයට ගන්නා ප්‍රධාන මෙවලම වන ෆොටෝෂොප් මෘදුකාංගය හරහා බොහෝ පිරිස් මෙම අපරාධ සිදුකරන්නට පෙළඹෙන බවත් මෙය භාවිතයෙන් දක්ෂ නිර්මාණ ශිල්පියකුට එය ව්‍යාජ එකක් බව නොහැඟෙන පරිද්දෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවද කියයි. නව අංග මිශ්‍රකර වර්තමානයේ භාවිතයට ගන්නා ෆොටෝෂොප් මෘදුකාංගය මෙවැනි කටයුතු පහසු කිරීමට සමත්ව තිබෙන බවද කිවයුතුය.

අන්තර්ජාලය භාවිතා කිරීමේදී නොදැනුවත්කම හා නොසැලකිල්ල හේතුවෙන් ඇතැම් පිරිස් මෙවැනි ගැටලු සඳහා මැදිවන තත්ත්වයක් ඇති බවද එහිදී පුද්ගල ඡායාරූපවල පැහැය වෙනස් කිරීම සහ මුහුණ හා සිරුර වෙනස්කර බද්ධකොට ඉදිරිපත් කිරීම මගින් තවත් පාර්ශ්වයන් රැවටීම සහ වංචාවට ලක්කිරීමට කටයුතු කරන පිරිස් සිටින බවද පෙන්වා දෙයි. නිර්මාණකරුවන්ගේ දක්ෂතාවය මත එහි ව්‍යාජ බව හඳුනා ගැනීම අසීරුය. තාක්ෂණය හා පරිගණක මෘදුකාංග බිහිවන්නේ අකටයුතුකම් වෙනුවෙන් නොවුණත් ඇතැම් කූඨ පිරිස් එය ජාවාරමකට හරවාගෙන සිටින බව පැහැදිලිය.

මෙම තාක්ෂණය ඔස්සේ ජාතික හැඳුනුම්පත්‍රය, රියැදුරු බලපත්‍ර, වැදගත් ලිපිලේඛන සහ පෞද්ගලික ආයතනවල හැඳුනුම්පත්‍ර ආදියද නිර්මාණය වන බව නොරහසකි. එහිදී ෆොටෝෂොප් මෘදුකාංගය හරහා ඡායාරූපයකට අමතර අකුරු, ඉලක්කම්, අත්සන, ලාංඡන සහ නිලමුද්‍රා පවා නිර්මාණය කරන්නට ජාවාරම්කරුවෝ වෙහෙසෙති. මෙමගින් ඕනෑම රුවක් හෝ අකුරු ඉලක්කම් ඉවත් කිරීම, ඇතුළත් කිරීම සඳහා හැකියාව තිබේ.

"අන්තර්ජාලය භාවිතයේදී දකින්න ලැබෙනවා රටේ රාජ්‍ය නායකයන්ගේ මූණ සහ සිරුර විකෘති කළ ඡායාරෑප. මේවා ඔවුන්ගේ පෞරුෂත්වයට විශාල හානියක්. ඇතැම් අසභ්‍ය හෝ නිරැවත් ඡායාරූපවලට තරුණ තරුණියන්ගේ මූණ බද්ධ කරලා ප්‍රසිද්ධ කරනවා. මේක වැරදි පූර්වාදර්ශයක්. එවැනි සිදුවීම් හේතුවෙන් සියදිවි හානිකරගත් තරුණියන් පිළිබඳවත් තොරතුරු තිබෙනවා. දැනුම ඇති අය තත්ත්වය අවබෝධ කරගත්තත් බොහෝ පිරිසකට ඒ දැනුම නෑ. ඒ නිසා එවැනි දේකට මුහුණ දුන් කෙනෙක් පවුලේ ඥාතීන් හිතවතුන් වුවත් අසරණ වෙනවා." යැයි ඡායාරූප සංස්කරණ ශිල්පි හා උපදේශක සඳුන් කස්තුරිආරච්චි මහතා පවසයි.

මෙම මෘදුකාංගය භාවිතයෙන් ව්‍යාජ ලොතරුයිපත් මුද්‍රණය, මුදල් නෝට්ටු මුද්‍රණය වැනි ජාවාරම් නීතියේ රැහැනට කොටු වී තිබුණි. එහෙත් ඒ වනතෙක් ජාවාරමට කොටු වූ මිනිසුන් ගණනාවකි. ඔවුන් එසේ අසු වී ඇත්තේ නොදැනුවත් බව නිසාය. මෙවැනි ජාවාරම්කරුවන් අන්තර්ජාලය හරහා බොහෝ තොරතුරු රැස්කර ගන්නා බව නොරහසකි. එය ඔවුන්ගේ කූඨ ජාවාරම් සාර්ථක කර ගැනීමට පහසු මඟක් වී ඇත.

"මුදල් නෝට්ටුවක් බැංකුවකට දුන්නම පරීක්ෂා කරනවා. නමුත් බස් රථයක කොන්දොස්තර මහතාට දුන්නම පරීක්ෂාවක් නෑ. ව්‍යාජ රියදුරු බලපත්‍රයක් හෝ රක්ෂණ සහතිකයක් පාරේ ඉන්න රථවාහන පොලිස් නිලධාරියකුට ඉදිරිපත් කළොත් විශ්වාස කරන්න වෙනවා. එහෙම වෙන්නේ ඒ අයට නිවැරදි අවබෝධයක් නොවුණු විටදි. ඔවුන් දැනුමින් සන්නද්ධ වෙලා ඉන්නවා නම් පහසුවෙන් ව්‍යාජ සහතිකය හඳුනා ගන්නවා. මේ විදිහට ඕනෑම කෙනෙකුගේ අත්සනක් ස්කෑන් මාර්ගයෙන් ලබාගෙන පිටපත් කිරීමට අවශ්‍ය පරිදි සැකසීමට පුළුවන්. මේ ගැන විමසිල්ලෙන් බලන කෙනෙකුට හඳුනා ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් එහෙම කරන අවස්ථා විරලයි. සාමාන්‍යයෙන් සහතික පත්‍රයක අත්සනක් යෙදුවා නම් පෑන් තුඩට එය තරමක් කිඳා බහිනවා. එම්බෝස් කියන්නේ ඒකටයි. සූක්ෂ්ම විදිහට බැලුවොත් ඒ තත්ත්වය පැහැදිලි වෙනවා. ඒ වගේම ෆොටෝ ෂොප් භාවිතයෙන් එම්බෝස් නිල මුද්‍රාව සැකසීම කරන්න බෑ. ඒ වගේ සහතික පත්‍රයක් හඳුනාගත හැකියි."

පසුගිය දිනවලදී අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වූ "පිදුරංගල ඡායාරූපය" පිළිබඳව විශාල කතිකාවක් ඇතිවිය. අවසානයේ එය ෆොටෝෂොප් නිර්මාණයක් බවද වාර්තා විය. බොහෝ පිරිස් විසින් මෙවැනි ඡායාරූප හා වෙනත් ලිපිලේඛනවල අව්‍යාජ බව නොදන්නේ දැනුවත් බව මඳකම හේතුවෙනි. රාජ්‍ය ආයතනයකින් ලබාදෙන සහතික පත්‍රයක හඳුනාගැනීමේ අංකයක් ඇතත් කෙනෙකු සතු එවැන්නක් ක්ෂණයකින් හඳුනාගැනීමට හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නැත. එවැනි තත්ත්වයක් භාවිත වන්නේ නම් ඉතා අල්ප වශයෙනි. එහෙත් ෆොටෝෂොප් භාවිතා කරන කූඨ නිර්මාණ ශිල්පීන් හා ජාවාරම්කරුවන් තව කෙනෙකුට අඩුවක් දැකීමට අවස්ථාවක් දෙන්නේ නැති තරමය. සත්‍ය පිටපතක් වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් උනන්දු වෙති.
"පරිගණකය සහ අන්තර්ජාලය භාවිත නොකරන පිරිස් මෙවැනි ව්‍යාජ දේ විශ්වාස කරනවා. තාක්ෂණය මගින් මේ වගේ කරනවා කියලා හිතන්නේ නෑ. විශේෂයෙන්ම මුහුණු පොත භාවිත කරන තරුණියන් තැන නොතැන නොබලා ඡායාරූප පළකරනවා. විවිධ හැඩතලවලට පෙනී සිට ඒවා ප්‍රසිද්ධ කරනවා. එවැනි විවිධ ඡායාරූප කූඨ නිර්මාණ ශිල්පියකුට ව්‍යාජ රූපයක් නිර්මාණය කරන්නට හොඳ අවස්ථාවක් වෙනවා. එවැනි පිරිසට මෙවැනි ඡායාරෑප පිටිවහලක් වෙනවා. එහෙම නොකිරීම ඉතාම වැදගත්. වර්තමානයේ පරිගණකය මුද්‍රණ යන්ත්‍රයක් සමඟ ෆොටෝ ෂොප් මෘදුකාංගය භාවිතයෙන් සිදුකරන ජාවාරම් අපරාධ කෙරෙනවා. ඒ පිළිබඳව සමාජයේ අවධානය අඩුයි."

මෙසේ නිර්මාණය කරන ව්‍යාජ ලිපි ලේඛන හඳුනා ගැනීමට සාමාන්‍ය ජනතාව අපොහොසත්ය. කාර්යාලවල හෝ ක්ෂේත්‍රයේ රාජකාරියේ නිරත රාජ්‍ය හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහසුකම් අඩුය. එබැවින් එවැනි අංශ සඳහා අවශ්‍ය උපකරණ සමග දැනුම බෙදාදිය යුතුය. දැනුම ලබාදුන් පසුව නිලධාරීන් යමක් දෙස බලන කෝණය වෙනස්ය. එහිදී යමක සත්‍ය අසත්‍යතාව නිවැරදිව අවබෝධ කර ගැනීමට කටයුතු කරනු ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

මෙන්න පරිගණක අපරාධ
දත්ත ඇතුළත් කිරීමේදී සිදුවන්නා වූ වංචනික ක්‍රියා
පරිගණකයකින් පිටත්වන දත්තයන් වෙනස් කිරීමේදී සිදුවන වංචනික ක්‍රියා
දත්ත ආශ්‍රිත වංචනික ක්‍රියා
පරිගණක වැඩසටහන්වලට අදාළ වංචනික ක්‍රියා

පරිගණක අපරාධ විමර්ශනයේදී භාවිත කරනු ලබන පනත්
​2003 අංක 36 දරන බුද්ධිමය දේපොළ පනත
2006 අංක 19 ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු පනත
2006 අංක 30 ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන සංශෝධිත පනත